Home » » විශ්වවිද්‍යාලය අත්තනෝමතික ලෙස නැවත වසා දැමේ.

විශ්වවිද්‍යාලය අත්තනෝමතික ලෙස නැවත වසා දැමේ.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Wednesday, July 2, 2014 | 3:15 PM

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දේශන පැවැත්වීමෙන් වැළකි සිටීමට ගත් තීරණයක් නිසා දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කර ඇත. මෙම තීරණය ගන්නා මොහොත වන විටත් ව්‍යවහාරික විද්‍යා පීඨය තුළ දේශන පැවැත්වෙමින් තිබේ.

ඊයේ දිනයේද ව්‍යවහාරික විද්‍යා පීඨයේ දේශන පැවැත්වූ අතර සමාජීය විද්‍යා හා මානවශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරු කිහිපදෙනෙකුද දේශන පැවැත්වීමේ සුදානමක සිටි. නමුත් රජරට විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයේ ඉහල නිලධාරීන් කිහිප දෙනෙකුගේ මැදිහත් වීම මත අසාර්ථක වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය ලෙස තීරණය කර ඇත.

සිසුන් දින 200කට අධික කාලයක් අඛණ්ඩ අරගලයක නිරතව සිටියද කිසිදු මොහොතක ශිෂ්‍යයන්ගේ අධ්‍යයන කටයුතු වලට හෝ විභාග කටයුතු වලට බාධාවක් සිදුවන අයුරින් පන්ති වර්ජන කැඳවුයේ නැත. විශේෂ අවස්ථාවකදී ආචාර්ය මණ්ඩලයද දැනුවත් කර සිදුකල සංකේත පන්ති වර්ජනයක් ඇරෙන්නට වෙනත් කිසිදු බාධා කිරීමක් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු වලට හෝ පරිපාලන කටයුතු වලට සිදුවූයේ නැත. එවන් තත්ත්වයක් හමුවේ සිසුන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් සිසුන් මර්දනය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක කරන උපකුලපති ප්‍රමුඛ පරිපාලනයට විරුද්ධව විරෝධතාවක් දැක්වීම හේතුවෙන් ආචාර්ය සංගමය ලෙස දේශන නොපැවැත්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අපට ඇත්තේ පුදුමයකි.

ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රශ්න යට ගැසීමේ වුවමනාවෙන් උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලනය මෙම තීරණය ගෙන ඇත්තේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු සම්පුර්ණයෙන් අඩාල කරමිනි. එමනිසා දේශන පැවැත්වෙමින් තිබෙන මොහොතකත් සුළු පිරිසකගේ පටු වාසි උදෙසා මෙසේ අත්තනෝමතික ලෙස විශ්වවිද්‍යාලය වසා දැමීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු. එසේම පාලකයන් බේරා ගැනීම උදෙසා තම පන්තියේ මිනිසුන්ට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තම සමාජිකයින් පෙළඹවීම සම්බන්ධයෙන් ආචාර්ය සංගමයේ ලේකම් ඇතුළු නිලධාරීන්ටද අපගේ දැඩි අප්‍රසාදය පළ කර සිටින්නෙමු.


මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආචාර්ය සංගමය වෙත ලිඛිත ඉල්ලීමක් මහා ශිෂ්‍ය සංගමය ලෙස සිදු කලද ලිපිය භාරගැනීමට හෝ ආචාර්ය සංගමයේ නිලධාරියෙක් විශ්වවිද්‍යාල භුමියේ නොසිටි අතර දුරකථන ඇමතුම් වලට ද පිළිතුරු නොදෙන තත්ත්වයක් ඇත. 26 වන දින උපකුලපතිවරයා වටලා ගත් ශිෂ්‍ය ක්‍රියාමාර්ගය එකඟතා කිහිපයකින් අනතුරුව අත් හැරීමට තීරණය කළේ ආචාර්ය සංගමය මැදහත් පාර්ශවයක් ලෙස කටයුතු කල බැවිනි. නමුත් මේ වනවිට ඔවුන් පාලකයන් සමග එකට සිටගෙන ඇති බැවින් අපට ආචාර්ය සංගමය කෙරෙහි තැබූ විශ්වාසය පිළිබදව ද නැවත සිතීමට සිදු වී ඇත.   
Share this article :

0 comments:

Post a Comment