Home » » දෙමාපියන් කැඳවීම

දෙමාපියන් කැඳවීම

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Friday, July 25, 2014 | 4:24 PM

  "විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීම සම්බන්ධව දෙමාපියන් දැනුවත් කිරීමේ රැස්වීම " මේ ලිපි ශීර්ෂය යටතේ සිසු සිසුවියන් කිහිප දෙනෙකුගේ දෙමාපියන් වෙත කැඳවීම් ලිපි ලැබී තිබුනේ රජරට විශ්වවිද්‍යාලයේ නව ලේඛකාධිකාරී වරයාගේ අත්සනින් යුතුවය.
එම ලිපියේ සඳහන් පරිදි මේ වන විටත් වසා දමා ඇති විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමේ දිනය හා පසුගිය 26 හා 27 දෙදින තුල ඇති වූ නොසන්සුන් තත්ත්වය පිලිබඳ දෙමාපියන් සමඟ සාකච්ඡා කිරීමට අදාළ රැස්වීම කැඳවන බවයි.
අසාධාරණ පන්ති තහනම් 27 ක් මුල් කරගනිමින් රජරට සිසුන් ආරම්භ කල අරගලයට වසරකට වැඩි කලක් ගත වී ඇත. අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට (25) දින 228 කි. දේශන පැවැත්වෙමින් තිබු විශ්වවිද්‍යාලය වසා දමා අදට දින 22 කි. ශිෂ්‍ය සංගම් තහනම් කර අදට දින 22 කි.
පන්ති තහනම් ලබා දෙද්දී විශ්වවිද්‍යාල පරිපාලනය දෙමාපියන්ගෙන් ඇසුවේ නැත. සිසුන්ට පොලීසය පහරදී අත්අඩංගුවට ගද්දි ඒ ගැන දෙමාපියන්ගෙන් අසනවා තබා වරෙන්තුවක් වත් තිබුනේ නැත. වරදක් නොකළ සිසුවියන් තිදෙනෙකු හා සිසුන් 28 දෙනෙකු බන්ධනාගාර ගත කරද්දී දෙමාපියන්ගෙන් ඇසුවේ නැත.
දේශන පැවැත්වෙමින් තිබියදී විශ්වවිද්‍යාලය වසා දමන විට දේශන පැවැත්වූ ආචාර්යවරුන් සමඟ සාකච්ඡා කලේ නැත. දේශන වල සිටි සිසුන්ගෙන් ඇසුවේ නැත. විශ්වවිද්‍යාලය වසා දමන්නදැයි දෙමාපියන්ගෙන් ඇසුවේ නැත.
තමන් දහසකුත් එකක් බදු මුදල ගෙවා තිබියදී දරුවාගේ ඉගෙනුමට, නේවාසිකාගාරයට මුදල් අය කරද්දි ගෙවා ගන්නට පුලුවන්ද කියා දෙමාපියන්ගෙන් ඇසුවේ නැත.
මෙරටේ ජනතාවගේ අධ්‍යාපන අයිතිය විශ්වවිද්‍යාලය තුලම මිල කරන්න පෙර ජනතාවගෙන් ඒ ගැන ඇසුවේ නැත.
සුසන්ත බණ්ඩාර, ජනක, සිසිත සහෝදරවරු මරා දමන්නට දෙමාපියන් සමඟ සාකච්ඡාව කර කර සිටියේ නැත. සම සොඛ්‍ය සිසුන්ට ඇස් එලියට පනින්ට ගැහුවේ දෙමාපිය අවසරය අරගෙනද නොවේ. මහ රෑ අධිකරණ නියෝග රැගෙන සිසුන්ගේ ගෙවල් වලට රිංගුවේ සාකච්ඡා කොට අවසර අරගෙන නොවේ.
ලොක්කන්ගේ රූකඩ වලට අවුරුදු 20 , 25 කොල්ලන් කෙල්ලන් සමඟ සාකච්ඡා කරන්නට කොන්ද පන නැත. අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට ගිය විට ලොක්කා සැග වෙද්දී, අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට ගිය විට සොක්කාද කුඩුව තුලට වී දොර අගුලු ඔහුම දාගෙනය.
මෙරට නීතිය හසුරවන්නන්ටද අමතක වූ යමක් ඇත. විශ්වවිද්‍යාල වල සිටින්නේ අවුරුදු 18 ඉක්ම වූ වැඩිහිටි සිසුන්ය. පොලිසිය සිදු කරන අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් ගැන නොවිමසන ඔවුන් ඇප තබන්නට, උසාවියේ පෙනී සිටින්නට දෙමාපියන් ගෙන්වා විවිධ දේශනා පවත්වන්නේ විශ්වවිද්‍යාලයක් යනු කුමක්ද ? විශ්වවිද්‍යාල ශිෂ්‍යා යනු කවරෙක්ද යන්න පිළිබඳ හෝ අනවබෝධයකින් නොව ඉහලින් එන නියෝග මතය. නමුත් කවුරුන් කීවද සත්‍ය වෙනුවෙන් පෙනී සිටිමට කොන්දක් තිබිය යුතුය. නැතිනම් පුරුද්දට ස්වාමීනි කියන, ඔලුව නමන අය පවා  සමාජය ඉදිරියේ නීතියේ නිරුවත හෙළි කරන දිනය වැඩි ඈතක නොවනු ඇත.
තමන් ඇතුළු හෙන්චයියන් කිහිප දෙනෙකු ක්‍රියාත්මක කල ඉහලින් ආ න්‍යාය පත්‍රය ඇස් පනා පිට අසාර්ථක වද්දී නිරුවත වසා ගන්නට පාලකයන් විශ්වවිද්‍යාලය වසා දැමීය. දැන් එය විවෘත කිරීමට දෙමාපියන් සමඟ සාකච්ඡා පවත්වන්නේ සුදානම් කර ගත් බේගල් ඇද බා හිත සනසා ගන්නට බව දැන් බොහෝ දෙනා අවබෝධ කර ගෙන හමාරය. බොන්නට බැරි වතුර ගැන, කන්නට බැරි කෑම ගැන, දේශකවරු හිඟය, දේශන ශාලා හිඟය, සිසුන්ට එල්ල කල තර්ජන ගැන , මහපොළ මදි නිසා දුවට පුතාට රස්සාවක් කරන්න වෙන එක මේ කිසිදු දෙයක් මෙහෙදී සාකච්ඡා වන්නේ නැත.කොල්ලන්  කොණ්ඩා රැවුල් වැවීම ,කෙල්ලන් කොණ්ඩා කැපීම , කොටට ඇඳීම ගැන නම් කතා වනු ඇත....

අපද දෙමාපියන් ගෙන්වීම ගැන සිතිය යුතුය...
"අම්මා","වානේ පන්නරය ලැබූ හැටි" , "ගුරු ගීතය " කිය විය යුතු කතා බව පොඩි කාලෙම කිවේ අම්මාය. අද අප මේවා කියවනවාට අකමැති ද අම්මාය. අරගලය අම්මා සමඟ ද කල යුතුව ඇත. ඒ මගේ අම්මාට පමණක් නොව සමස්ත ලෝකයේම පීඩාවට පත්වන අම්මා වරු වෙනුවෙනි.


Share this article :

0 comments:

Post a Comment