Home » » රජරට ආචාර්යවරුන් හට හෘද සාක්ෂියත් රජරට සිසුන් හට සාධාරණයත් දිනාගත යුතුව ඇත.

රජරට ආචාර්යවරුන් හට හෘද සාක්ෂියත් රජරට සිසුන් හට සාධාරණයත් දිනාගත යුතුව ඇත.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Friday, July 11, 2014 | 5:12 PM

මේ දිනවල රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් මැර සිසුන් ලෙස හංවඩු ගසන බංකොලොත් දේශපාලන ව්‍යාපාරයක් දියත් වන නිසාවෙන් ඒ පිළිබඳව සත්‍ය කතාව මාධ්‍යට නිරාවරණය කිරීමේ වගකීම අපට පැවරී ඇති බව අප සිතන්නෙමු.

මුලින්ම මෙහිදී අප විසින් අවධාරණය කල යුතු කරුණ වන්නේ අප විසින් කිසිඳු විටක ආචාර්යවරුන් සිර කරගෙන නොසිටි බවයි. මාධ්‍ය හරහා සිදු කරගෙන යනු ලබන ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරන අතළොස්සක් ආචාර්යවරුන්ගේ හෘද සාක්ෂියෙන් අසන්නට දෙයක් තිබේ. මේ  ඒ අවස්ථාව පිළිබඳ පසු විපරමකි. මදක් සිතා බලන මෙන් අප ඔබෙන් ඉල්ලා සිටින්නෙමු. 

අප විසින් පරිපාලන ගොඩනැගිල්ල වටලා සිටි අවස්ථාවේ ඔබ තුමන්ලා උපකුලපතිවරයාගේ කාමරය තුලින් වරින් වර පිටතට පැමිණියා නේද?

එසේ පැමිණෙන විට සිසුන් ඊට බාධා කලේ නෑ නේද?

ශිෂ්‍යයින් ඔබතුමන්ලාගේ ජංගම දුරකතන වලට ඇමතුම් ලබා දී "සර් අපිට ඔබතුමාලාව සිර කර සිටීමට අවශ්‍ය නැහැ. ඔබතුමන්ලා ඕනෑම වෙලාවක පිටතට පැමිණෙන්න” යැයි කීවා නේද?

එවිට ඔබතුමන්ලා “උපකුලපතිතුමා තනියෙන් නිසා අපිත් ඉන්නම්” කීවා නේද?

අප ඔබතුමන්ලා හට අපේ කැන්ටිමේ බත් පාර්සල් ගෙනත් දුන්නා නේද?
ඒවා ඔබතුමන්ලා ප්‍රතික්ෂේප කලා නේද?

ඉන්පසු අපට රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් ලෙස බුක්ති විඳිය හැකි උපරිම තත්ත්වයේ බත් එක (ලොරියේ)අක්කගේ කඩෙන් රුපියල් 60 බත් ගෙනත් දුන්නා නේද?

ඔබතුමන්ලා එයත් ප්‍රතික්ෂේප කලා නේද?

ඉන්පසු පීඨාධිපතිවරයෙකු ඇතුළු ආචාර්යවරුන් පිරිසක් උපකුලපති වරයාට චින්තන හෝටලයෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් සහ සෙසු පරිපාලන නිලධාරීන් දෙදෙනාට (විනයපාලකවරයා සහ ශාලාධිපතිවරයා) සහ ආචාර්යවරුන් හට සුදු පාට බත් පැකට් ගෙනාවා නේද?

ඒත් සමඟම මුදල් ගෙවා වතුර බෝතල් ගෙනාවා නේද?

සියලු දෙනාටම යෝගට් ගෙනාවා නේද?

ඔබ සියලු දෙනාම අපට නොපෙනෙනෙන්නට උපකුලපතිවරයාගේ කාමරය පිටුපසින් පෙනෙන කොටසට ගොස් ඒවා අනුභව කර කඩෙන් ගෙනා වතුර බෝතලයෙන් වතුර බී කට සෝදමින් පිටතට පැමිණියා නේද? (උපකුලපතිවරයා තමන්ගේ දත් පිරිසිදු කරන ආකාරයද අප දුටුවෙමු)

ඉන් පසු යෝගට් ටිකත් කෑවා නේද?

ඉතුරු බත් පැකට් ටික අර ඇතුලට ආව ගිය පොලිසියේ මහත්වරුන් කෑවා නේද?



රාත්‍රිය වන විට ඔබ තුමන්ලා කාමරය තුල විදුලි පහන් නිවා දමා කැරකෙන පුටුවල ඉඳගෙන මේසය උඩ කකුල් දෙක තබාගෙන නිදාගත්තා නේද?

ඒ අතර අප විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් උපකුලපතිවරයාගේ සැප දුක විමසා බැලීම සඳහා පැමිණියා නේද?

ඉන් පසු ඔබ තුමන්ලා පිටව යනවිට අප එයට බාධා කලේ නෑ නේද?

උපකුලපතිවරයා බැලීමට විටින් විට පැමිණි සියලු දෙනාම එතුමන්ට කන්න බොන්න දේවල් ගෙනාවා නේද?

පසු දින උදෑසන ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිතුමන් හා ලේකම් හාමුදුරුවෝ වඩින විට අප එයට බාධා කලේ නෑ නේද?

අප ඔවුන් සමග සාකච්ඡා කලා නේද?

(මේ එම සාකච්ඡාවේ වීඩියෝව)


අප විසින් රජරට ආචාර්යවරුන්ගේ සංගමය ඉදිරිපත් කල යෝජනා අපගේ නම්‍යශීලි මට්ටම ලෙස පිළිගත්තා නේද?

අපි ආචාර්යවරුන්ගේ සංගමයේ ඔබතුමන්ලා විශ්වාස කරමින් සියලු සිසුන් පරිපාලන ගොඩනැගිල්ල පිරිසිදු කරමින් එයින් එළියට පැමිණියා නේද?

නමුත් කුමන හෝ අපහසුතාවක් අප විසින් ඔබතුමාලාට සිදුවුයේ නම් සියලු සිසුන් ඒ වෙනුවෙන් ආචාර්යවරුන්ගෙන් සමාව ගැනීමට ඉදිරිපත් වන බව ප්‍රකාශ කලා නේද?

මෙය හුදෙක් ආචාර්යවරුන් ප්‍රශ්න කිරීමක් නොව එම දිනයේ සිදු වූ සිදුවීම විස්තර කිරීම සඳහා යෝදාගත් සත්‍ය දෙබසකි.(මෙහි දෙබස් සම්පුර්ණ කිරීම සඳහා ආචාර්යවරුන්ගේ හෘද සාක්ෂියෙන් ලැබෙන පිළිතුරු අවශ්‍ය වේ)

නමුත් මෙම ප්‍රශ්න සියල්ලටම ඇත්තේ එකම පිළිතුරකි. 

ඒ “ඔව්” යන්නයි.

අවසාන වශයෙන් කීමට ඇත්තේ අප දින 200 ක් මහ පාරේ සත්‍යග්‍රහයේ යෙදී සිටිමින් එයට නිසි පිළිතුරක් නොලැබුණු පීඩනයෙන් පරිපාලන ගොඩනැගිල්ල වැටලු අවස්ථාවේ පැය 23ක් යන තුරුත් විසදුමක් නොලැබුණු අවස්ථාවේදී කිසිදු හිරිහැරයක් නොකළ බව, එම අවස්ථාවේ සිටි ඔබ සහ අප හොදින් දන්නෙමු. පීඩනයේ උපරිම අවස්ථාවේදී සාමකාමිව අප ඔබතුමන්ලා හා සාකච්ඡා කර එකඟ වී පිටතට පැමිණීමෙන් පසු ඔබතුමන්ලාගේ ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයක් මතු වන්නේ කෙසේද?

එයට පිළිතුර අප දන්නෙමු. ඔබතුමන්ලා ආරක්ෂා කලේ ඔබ අප හා ගොඩනගා ගත් විශ්වාසය හෝ ඔබගේ හෘද සාක්ෂිය නොව වරක් ව්‍යවහාරික විද්‍යාපිඨයේ ආචාර්යවරියක් වැරදීමකින් කළු සාරියක් ඇඳීම නිසා උපකුලපතිවරයා විසින් විශ්වවිද්‍යාලය එපා කරවා ඉවත් කරනු ලැබුවා සේ ඔබටද එම නින්දිත ක්‍රියාව වත්මන් පරිපාලනය විසින් මතක් කර දුන් නිසා බව අප හොදින් දනිමු.

අනධ්‍යන සේවක සහෝදරවරුන්ටද කියන්නට යමක් ඇත. 

අප පරිපාලන ගොඩනැගිල්ල තුළ ලැගුම් ගත් අවස්ථාවේ ඔබලාගේ රාජකාරියට කිසිඳු හෝ බාධාවක් වුවාද?
උපකුලපතිවරයාගේ කාර්යාලය ඉදිරිපිට ඇති කාර්යාලයේ සිටි අනධ්‍යන සේවක සහෝදරයන් දෙදෙනාට රාත්‍රිය එළිවන තුරු රැදී සිටින ලෙස නියෝග කලේ කවුරුන්ද? උපකුලපතිවරයා නේද?

එම සහෝදරයන්ට එදින රාත්‍රී ආහාරය සපයා දුන්නේ කවුරුන්ද? දවසම බඩගින්නේ සිටි සිසුන් 10,15ක් පමණ එකතු වී කෑමට ගත් බත් පාර්සලය අප ඔබට දුන්නා නේද? එපමණක් නොව ඔවුන්ට තේ කෝප්පයක් පවා දීමට කටයුතු කළෙමු.

මේ සියල්ලට පිළිතුර “ඔව්” යන්නයි.

එදින සිසුන්ගෙන් කිසිඳු බාධාවක් නොවූ බව ඔබ හොඳාකාරවම දනී. එසේ නම් ඔබ මාධ්‍ය ඉදිරියේ කළ රඟපෑම කුමක්ද? එයට පිළිතුර අප දනිමු. ඔබගේ රැකියාව බේරා ගැනීම සඳහා පීඩිත පන්තියට විරුද්ධව පීඩිත පන්තියක් වන ඔබලා විසින්ම උද්ඝෝෂණයක් කරන්නට සිදුවීම කෙතරම් අවාසනාවන්තද? 

සිසුන් විසින් තමන් නිරාහාරව තැබුවා යැයි මාධ්‍යට පැවසු උපකුලපතිවරයා, පැය 23කට ආසන්න කාලයක් නිරාහාරව සිටියේ නම් සිනහවෙමින් පසුදින පරිපාලන ගොඩනැගිල්ලෙන් බැස එන්නේ කෙසේද? හරි හැටි ආහාරයක් නොමැතිව එදින උදෑසන වන විට අසනීප වුයේ සිසුන් ය. 
පාලකයන්ගේ දැඩි වුවමනාවට තමන්ගේ හෘද සාක්ෂිය දන් දෙන ඔබත් අසාධාරණයට ලක් වූ අප සියලුදෙනාමත් එකම පන්තියක සිටින මනුෂ්‍යයින් පිරිසක් බව මතක් කරනු කැමැත්තෙමු.

පාලකයන්ගේ දැඩි රූකඩ ක්‍රියාවන් හේතුවෙන්, ආචාර්යවරුනි ඔබලාට හෘද සාක්ෂියට අවංකව ඔබේ රාජකාරිය කල නොහැක. රජරට සිසුන් වන අපට සාධාරණය තවමත් ඉටු වුයේ නැත. ඔබටද අපටද ඇත්තේ එකම පාලකයාගෙන් එල්ල වන බලපෑම නොවේද? මදක් සිතා බලන මෙන් ඇරයුම් කරන්නෙමු. 


Share this article :

1 comments:

  1. video ekanam patta e arenda meke wena wadagath deyak nane.awanam iganaganda epa.wena magul karanne nathuwa.

    ReplyDelete