Home » » පියයුරු පිළිකා

පියයුරු පිළිකා

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Wednesday, July 30, 2014 | 11:46 AM

කටුනායක ගුවන් තොටුපල බස් නැවතුම්පලින් වේයන්ගොඩ බස් රථයකට ගොඩ වුයේ මිතුරෙකුගේ සහෝදරියගේ නිවෙසට යාමේ අරමුණෙනි. කලාපේ සේවය හමාර කොට  කුකුල් කුඩු මෙන් වන තම බෝඩිමට යාමට යුහුසුළු වන තරුණ තරුණියන්ගෙන් බස් රථ පීරී යාම නිසා එක බස් රථයක් මඟ හරින්නට සිදු විය.
උදේ සිට සවස් වනතුරුම කාට හෝ කඹුරා තෙහට්ටුවට පත් වුවද ස්වකීය පෙම්වතා හෝ පෙම්වතිය හමුවේත් මිතුර මිතුරියන් අතරෙත් සුන්දර සිනාවන් මුව රඳවා ගත් යුවතියන් දෙසට නෙත් යොමු වුයේ නිරායාසයෙනි. බලා ගත් වන බලා සිටින යුවතියන් බොහෝ දෙනෙකු සිනාවෙන් පවා හෙම්බත් බව කියා පෑමට සමත් විය.
"අනේ නෝනා මහත්තයලා මං ගැන වැරදියට හිතන්න එපා, මට දවල් කාලේ මෙහෙම එන්න බෑ අව්ව සැරට මට කලන්තේ හැදෙනවා, එකයි මේ හවස් කාලේ මම මෙහෙම එන්නේ. දොස්තරලා මට බනිනවා මෙහෙම යන්න එපා තුවාලෙට විසබීජ යනවා බෙහෙත් ගත්තට වැඩක් වෙන්නේ නෑ කියලා, මේ තුවාලෙන් දැනුත් ලේ එනවා, මෙහෙම මේ මේවා පෙන්නන එකට මට සමාවෙන්න. එත් නෝනා මහත්තයෝ මට මෙහෙම එන්නේ නැතුව බෑ. මගේ දරුවෝ කන්නේ බොන්නේ මෙහෙම ඇවිල්ලා හොයා ගන්න සල්ලි වලින්, මහරගම ඉස්පිරිතාලෙට යන්නම සැහෙන වියදමක් යනවා, පොඩි උන්ගේ ඉස්කෝලෙට ඕන සල්ලි ගෙවා ගන්නෙත් හරිම අමරුවෙන් , දොස්තරලා එපා කිව්වත් මම එන්නේ ඒ නිසා..." පියයුරු පිළිකාවකින් පීඩා විදි  මේ අම්මා උඩුකය තම තුවාලය පෙන්වමින් බස් රථයේ අසුනක් අසුනක් ගානේ ගානේ ගොස් වැඳ වැඳ අයදින්නට වුයේ මුදල්ය...
ඇතැමෙකුට ඇය ව්‍යාපාරික කාන්තාවකි, තවත් අයෙකුට කරුමය පඩිසන් දුන් කරුමක්කාරියකි, අයෙකුට ලෙඩේ විකුණන් කන, දරුවන් විකුණන් කන කාලකන්නි ගැහැණියකි. තවත් කෙනෙකුට ඇය දහම තේරුම් ගැනීමට නිදර්ශකයකි. "පුතේ හොදට ඉගෙනන ගෙන සල්ලි හම්බෙන රස්සාවක් නොකලොත් ඕක තමා වෙන්නේ " මේ තවකෙනෙකු පුතුට දෙන පණිවිඩයයි.
තම අසනීපයට බෙහෙත් ගන්නට යන්නට, බස් රථ ගානේ ගොස් මුදල් එකතු කරන්න ඇයට සිදු ව ඇත. තමාගේම පන්තියේ මිනිසුන්ගේ සිත් මුදල් දෙන තැනට ගන්නට කදුළු සලන්නට සිදුව ඇත, වැඳ වැටෙන්නට සිදු ව ඇත. තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් බස් රථ ගානේ ගොස් මුදල් එකතු කරන්නට ඇයට සිදු ව ඇත. එක්කෝ ඇය රෝගය වෙනුවෙන් මුදල් එකතු කල  යුතුය නැතිනම් දරුවාගේ පාසල් ගමන නතර කල යුතුය.
ඊළඟ මොහොතේ බස් රථයෙන් බැස මහන්සියට ඇය අසල පෙට්ටි කඩයෙන් තේ එකක් බොන්නට ඇත. නමුත් තේ එකට අය කෙරෙන බද්ද ඇගෙන් අඩු වුයේ නැත. ගෙදර අයට කන්න දෙන්නට ගන්නා හාල් කිලෝ එකට, පරිප්පු 100 g ට. පතෝල කරලට තේ කොළ 50 g ට ඇගෙන් බදු ය කර ඇත.
ඒ බදු මුදල් නිදහස් සෞඛ්‍ය සේවයට ප්‍රතිපාදන වෙන් කරන්නටය, නිදහස් අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන් කරන්නටය. ඇය බදු ගෙවා ඇත. ඒවායින් ඇය කිසි දිනෙක නොදැකපු අයවලුන්ගේ දරුවන් පවා නොමිලේ ඉගෙන ගනිති.  බෙහෙත් ගනිති. අතර මැද ගාස්තු ගෙවා ගත හැකි අය ඉතිරිය සම්පුර්ණ කර ගනුයේ ඇය වන බොහෝ දෙනාගේ බදු මුදලිනි. නමුත් ඇයට බෙහෙත් ගන්නට මුදල් නැත. දරුවාගේ අධ්‍යාපනයට වියදම් කරන්නට මුදල් නැත. ඇය ගෙවූ බදු මුදල් ඈ අත ඉතිරි වුයේ නම් අමාරුවෙන් හෝ මේ දෙකෙන් එකකට හෝ වියදම් කරනු ඇත. නමුත් ඇගෙන් අය කරගෙන  ඇයව අමතක කර ඇත. ඇගෙන් අය කරගන්නට තීරණය කල පාලකයන්ට සේම ඇගේ මුදලින් ජීවත් වන අය ද ඇයව අමතක කර දමා ඇත. එසේ අමතක කර ජිවත් වන්නට බල කර ඇත.
නමුත් අප කිසිවෙකුත් තනි තනියෙන්  ජීවත්වී  නොමැති බව වටහා ගත යුතුය. එසේ කල නොහැකි බවද වටහා ගත යුතුය. අපේ ඉගෙනීමට හැදු වැඩු අම්මා තාත්තා මෙන්ම දහසක් අම්මලා තාත්තලාගෙන් අය කරගෙන ඇත.ඇතැම් විට ඒ නිසාම ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනයෙන් පිටමන් වන්නට සිදුව ඇත. දොස්තර විභාගය පාස් වුනාට පස්සේ, ඉංජිනේරුවෙක්, නීතිඥයෙක් , පරිපාලන නිලධාරියෙක්, ගුරුවරයෙක් වුනාට පස්සේ කොහොමද අපිත් පිළිකා රෝගියෙක් වෙලා මේ සමාජ ක්‍රමය තුලම එතකොට අපිටත් නොදැනීම අපි හිඟා කනවා. එතකොට අපි කොහොමද අර අම්මා අපිට ගෙවපු එකට ඒ අම්මගේ දරුවට අධ්‍යාපන අයිතිය අරන් දෙන්නේ. ලොකු පුටුවට ගියාම එකේ ඉඳගෙන ජනතා සේවය කරන එක වෙනුවට පුටුව ඔලුවේ තියාගෙන ඇස් කන් පියාගෙන කවුරු හරි ගහන බෙර පදෙකට අපි නටනවා නොවේද? අඩුම ගානේ ඒක ජනතාව වෙනුවෙන් කරන ශාන්ති කර්මයක බෙර පදයක්වත් නෙවෙයි නේද?


Share this article :

0 comments:

Post a Comment