Home » » ම්ලේච්ඡ වීම, පාවා දීම හා සටන් වැදීම.

ම්ලේච්ඡ වීම, පාවා දීම හා සටන් වැදීම.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Monday, June 30, 2014 | 6:42 PM

 “මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය සිර කොට සිදුකල මිලේච්ඡ ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙලා දකිමු!”
මේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වගකීම යටතේ රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවේ සවිකර ඇති පෝස්ටරයකි. මේ වනවිට රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් දේශන වලින් ඉවත්ව සිටින බව ආචාර්ය සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ සිසුන්ගෙන් ආචාර්ය මණ්ඩලයට මරණිය තර්ජන එල්ල වී ඇති බවයි.
ප්‍රථමයෙන්ම කිවයුතු කාරණය නම් මේ ප්‍රකාශ දෙකම අනධ්‍යයන සේවකයන්ගේ හෝ ආචාර්යවරුන්ගේ ප්‍රකාශ නොව සිසුන් සේවක සොයුර සොයුරියන්, ආචාර්යවරුන් පීඩනයට පත් කරන පාලකයන්ගේ ප්‍රකාශ බවයි.
සිසු විරෝධතාවක් අතරතුර වැරදීමකින් කළු පැහැති සාරියකින් සැරසී පැමිණි ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආචාර්යවරියක් විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට කටයුතු කළේ වත්මන් පරිපාලනයයි.
පිරිසිදු කිරීම් අංශයේ සේවය කළ සහෝදර සහෝදරියන් 13 දෙනෙකු කිසිදු සාධාරණ හේතුවකින් තොරව විශ්වවිද්‍යාලයෙන් ඉවත් කළේ පරිපාලනයයි.
එසේම අසාධාරණයට විරුද්ධව හා අධ්‍යාපන අයිතීන් දිනාගැනීම උදෙසා හඬ නැගු සහෝදරයින් 28 දෙනෙකුගේ පන්ති තහනම් කළේද වත්මන් පරිපාලනයයි.
එසේනම් ආචාර්යවරුන්, සිසුන් හා සේවක සොයුරන් යන කණ්ඩායම තුනටම මර්දනය කැඳවා ඇත්තේ එකම තැනකින් නොවේද? එසේනම් එකී අසාධාරණයට විරුද්ධව මේ කණ්ඩායම් තුන එකම තැනක සිටගත යුතු නොවේද? නමුත් එදා ආචාර්යවරිය ඉවත් කළ විට ආචාර්ය සංගමය, ආචාර්යවරුන් සංවිධානය කිරීමට කටයුතු කළේ නැත. වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තේ නැත. පිරිසිදු කිරීම් අංශයේ දෛනික වැටුපට වැඩකළ සහෝදර සහෝදරියන් 13 දෙනාම හිටිගමන් සේවයෙන් ඉවත් කරන විට අනධ්‍යයන කාර්ය මණ්ඩලය නමින් පෙනී සිටින අයවලුන් අනධ්‍යයන සේවකයින් සංවිධානය කළේ නැත. පෝස්ටර් දැමුවේ නැත.
සිසුන් දින 200 කට අධික කාලයක් පන්ති තහනම් 28ක් ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් සත්‍යග්‍රහයේ නිරතව සිටින විට, සත්‍යග්‍රහයට පොලීසිය පහර දෙද්දී, සිසුන් අත් අඩංගුවට ගනිද්දී, අලුත් අවුරුද්දට ගෙදර නොයා මහා පාරේ සිටිද්දී, දෙවතාවක්ම සත්‍යග්‍රහ අට්ටාලයට ආණ්ඩුවේ හෙන්ච්චයියන් ගිනි තබා සිසු ජිවිත දැඩි අවධානමක තිබියදී, ආචාර්ය සංගමය ප්‍රකාශයක් හෝ නිකුත් කළේ නැත. සිසුන් වෙනුවෙන් පෙනී සිටි කතා බහ කල කිහිප දෙනාටද විවිධ දෝෂාරෝපණ එල්ල කිරීම විනා මර්දනයට එරෙහිව තම සාමාජිකයන් සංවිධානය කිරීමට ඔවුන් උත්සුක වුයේ නැත. නමුත් සමස්ත සමාජය අධ්‍යාපන අයිතිය ඉල්ලු සිසුන්ට පන්ති තහනම් ලබා දෙද්දී, අසාධාරණයට විරුද්ධව හඬ නගන උන් මර්දනය කරද්දී අප සංවිධානය විය. ඊට එරෙහිව රටේ ජනාධිපතිවරයාට අභියෝග කිරීමට අප අදත් සුදානම්ය. පසුගිය 26 හා 27 දෙදින තුළ උපකුපතිවරයා සිර කිරීමෙන් ප්‍රදර්ශනය වුයේ ශිෂ්‍යයන්ගේ දඩබ්බරකම් නොව වයසේ වැරැද්ද නොව දින 200ක් මහ පාරේ සිටිමින් ඉල්ලූ සාධාරණය, ආරක්ෂාව, පිරිසිදු වතුර ටික නොලැබීමේ පීඩනයයි.
පන්ති තහනම් ලබා දුන් මොහොතේම කිසිදු සාකච්ඡාවකින් තොරව උපකුලපති සිර කළේ නම් එය වෙනත් තත්වයකි. නමුත් සාමකාමීව උද්ඝෝෂණය කළ වරදට, අත්පත්‍රිකාවක් බෙදූ වරදට වසර ගණනක් පන්ති තහනම් කර උපාධිය පවා අහිමි කිරීම කර තිබියදී සාධාරණය ඉල්ලා දින ගණනක් මහ පාරේ සිටියදී ප්‍රශ්න වලට විසදුම් ලබා නොදීම ම්ලේච්ඡත්වය නොවේද?
ම්ලේච්ඡත්වය සමස්ත සමාජයක අයිතීන් ඉල්ලා සටන් කිරීමද?
ආචාර්ය සංගමයේ ඉහළ නිලධාරීන්ට හා අනධ්‍යයන කාර්යය මණ්ඩලය ලෙස පෙනී සිටින පුද්ගලයන්ගෙන් අපට ඇසීමට දෙයක් ඇත. ඔබත් අපත් ඉතා නින්දීත ලෙස මර්දනය කරනු ලබන පාලක පන්තියේ උවමනාවන් වෙනුවෙන් ඔබ නියෝජනය කරන පීඩිත පන්තිය පාවා දීමක් සිදු කර නොමැතිද?
එක කම්කරුවෙක් පැය 8ක වැඩ මුරය දින ගත්තේ සටන් කිරීමෙනි.
මෑත ඉතිහාසයේ ආචාර්යයවරුන්ට තම ඉල්ලීම්වලදී පාලකයන් සමඟ එකඟතාවන්ට පැමිණීමට මාස 2ක් අරගල කරන්නට සිදු විය.
නමුත් අද ඔබ ඒ සියලු අරගල කළ උන්ගේ දහඩිය, මහන්සිය, ජීවිත පරිත්‍යාගයන් ඉතා පිළිකුල් සහගත ලෙස පාවා දී නොමතිද?
කළ යුත්ත නොව නොකළ යුත්ත කරමින් සිටිනවා නොවේද?
තම පන්තියේම සිසුන්ට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගනිමින් සටන් ඉතිහාසය හෑල්ලුවට ලක් කර නැතිද?
අපට ඇසීමට ඇත්තේ එක් දෙයකි. ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීනි, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සොයුර සොයුරියනි ම්ලේච්ඡ අපද? පාලකයන්ද?
මෙවන් තත්ත්වයක් තුළද සටන් කිරීම අනුමත කරන සියලු දෙනාට අපගේ ආචාරය.



Share this article :

0 comments:

Post a Comment