Home » » රජරට සත්‍යග්‍රහයට සියලු සරසවි සහෝදරත්වය එක්වේ.

රජරට සත්‍යග්‍රහයට සියලු සරසවි සහෝදරත්වය එක්වේ.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Friday, July 18, 2014 | 2:48 PM



අසාධාරණ පන්ති තහනම් 28 ඉවත් කිරීම ඇතුළු සාධාරණ ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයිය සිසුන් විසින් පවත්වාගෙන යනු ලබන අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට(18) දින 221කි. වසරක කාලයක් තිස්සේ සිසුන් විසින් සාධාරණය ඉල්ලා සාකච්ඡා මාර්ග වලට එළඹෙමින්, උද්ඝෝෂණ පවත්වමින්, පාගමන් යමින්, පෙත්සම් අත්සන් කරමින් වැනි විවිධ ශිෂ්‍ය ක්‍රියාමාර්ග එළඹෙමින් අවසානයේ සත්‍යග්‍රහයක්ද ආරම්භ කර දැනට මාස 7කට අධික කාලයක් ගෙවී ගොස්ය. නමුත් ආණ්ඩුව හා විශ්වවිද්‍යාල පරිපාලනය තවදුරත් නින්දිත අයුරින් කටයුතු කිරීම පිළිබඳව අපට ඇත්තේ දැඩි පිළිකුලකි.

ජිවිත තර්ජන මධ්‍යයේ මහමග සිට පීඩාවට පත් සිසුන්, දින 200ක් ගතවන මොහොත වන විට, උපකුලපතිවරයා වැටලීමට යොමු වන්නේ කිසිදු විසඳුමක් නොලැබෙන තැනය. නමුත් ඊට ද පිළිතුරු ලෙස පාලකයින් සිදු කරන ලද්දේ සිසුන් වෙත ලබා දුන් පොරොන්දු කඩකරමින්, ශිෂ්‍ය සංගම් අහෝසි කරමින්, මාධ්‍ය වෙත සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරමින්, පොලිසිය හා අධිකරණය යොදා සිසුන් මර්දනය කරමින්, විශ්වවිද්‍යාලයද වසාදමා ප්‍රශ්නය තව තවත් යට ගැසීමට උත්සහ කිරීමය. ඒ අනුව අද(18) වනවිට සත්‍යග්‍රහයට දින 221කි. උපකුලපතිවරයා සිසුන්ට දුන් පොරොන්දු කඩකර අදට දින 7කි. දේශන පැවැත්වෙමින් තිබියදී විශ්වවිද්‍යාලය වසා දමා අදට දින 15කි. ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස ශිෂ්‍ය සංගම් තහනම් කර අදට දින 15කි. මෙවන් තත්ත්වයක් යටතේ සිදුවන්නේ සිසුන් තවතවත් නැගී සිටීම බව අප පැහැදිළිවම ප්‍රකාශ කල යුතුය.

මෙවන් තත්ත්වයක් මත රජරට ගැටලුව සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ  නායකත්වය යටතේ අනෙකුත් සියලුම විශ්වවිද්‍යාල ද එක්වෙමින් සිටි. ඒ අනුව 2014/07/16 දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහෝදරත්වයද අද දින(18) රුහුණ විශ්වවිද්‍යාලයේ සහෝදරත්වයද රජරට සත්‍යග්‍රහය සඳහා එක්විය. ඉදිරි දින කිහිපය තුළ වයඹ, සෞන්දර්යය ඇතුළු අනෙකුත් විශ්වවිද්‍යාල සහෝදරත්වයද එක් වීමට නියමිතය.

ඒ අනුව ආණ්ඩුවේ අධ්‍යාපනය විකිණීමේ ප්‍රතිපත්තියට එරෙහිව, අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදුව හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ  නායකත්වය යටතේ සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය හා සියලුම ප්‍රගතිශීලි ජනබලවේග ඒකරාශී කරගනිමින් සාමුහික ප්‍රයඥයක් ලෙසට සිසු ජන බලවේග නැගී සිටී. 

එමෙන්ම රජරට ගැටලුව වෙත විසදුම් දීම පසෙක තබා සිසු ජිවිත සමග සෙල්ලමක නිරතව සිටිමින් ආණ්ඩුව හා විශ්වවිද්‍යාල පරිපාලනය තවමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම අප දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.


Share this article :

0 comments:

Post a Comment