Home » » රජරට සත්‍යග්‍රහ අට්ටාලයට තෙවන වතාවටත් ගිනි තබයි.

රජරට සත්‍යග්‍රහ අට්ටාලයට තෙවන වතාවටත් ගිනි තබයි.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Thursday, July 10, 2014 | 12:28 PM

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 28 දෙනෙකුගේ අසාධාරණ පන්ති තහනම් 28ක් ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල පරිශ්‍රය ඉදිරිපිට පවත්වාගෙන යන අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 213ක් සපිරුනු අද(10) දින අලුයම 4ට පමණ අට්ටාලයට කිසියම් පිරිසක් විසින් ගිනිතබා පලාගොස් තිබේ.මෙම පිරිස සිසුන් සත්‍යග්‍රහයේ ‍රැදී සිටියදී පෙට්‍රල් පිරවූ බෝතලයක් අට්ටාලය දෙසට විසි කොට මෙම ගිනි තැබීම සිදු කොට ඇත.
මීට පෙරද සත්‍යග්‍රහ අට්ටාලයට 2014/06/18 හා 2014/06/29 දිනයන් හිදී දෙවරක් ගිනි තැබුවද පාලකයන් සිසුන්ට ඇති ජිවිත තර්ජනය දෙස කිසිදු අවධානයක් යොමු නොකළහ. පුදුමයට කරුණ නම් උපකුලපතිවරයාගේ පැමිණිල්ලකට අනුව සිසුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළද ගිනි තැබූ සියලු අවස්ථාවන් වලදී සිසුන් මිහින්තලේ පොලිසියට පැමිණිලි කළද මේවනතුරු එකදු ගිනි තැබීම් අවස්ථාවක් පිලිබද වත් පරීක්ෂණ කටයුතු මෙහෙයවා සැකකරුවන් අත්තඩංගුවට ගැනීමට උත්සහ නොකිරීමයි.  
මේ අතර පසුගිය 2014/07/02 හා 2014/07/04 යන දිනයන් හිදී අත්අඩංගුවටගත් සිසු ක්‍රියාකාරීන් සිව් දෙනාගේ නඩු විභාගය ඊයේ(09)දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග කරනු ලැබිය. එහිදී තවත් සිසුන් 21 දෙනෙකු උසාවියට ඉදිරිපත් කළ අතර ඊට අමතරව තවත් සිසුන් 7දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක්ද ඉදිරිපත් කෙරින. නමුත් ගැටලුව වන්නේ නිත්‍යානුකූල ලෙස ඔවුන් වෙත වරෙන්තුවක් නිකුත් කර නොතිබීමයි.
කණගාටුවට කරුණ නම් පාලකයින් සිසුන්ගේ සාධාරණ ඉල්ලීම් වලට විසඳුම් දීම වෙනුවට විවිධාකාර මර්දනයන් ගෙන ඒමයි. සිසුන් විසින් උපකුලපතිවරයා වැටලීමට යොමු වන්නේ දින 200ක කාලයක් තිස්සේ ජිවිත තර්ජන මැද සත්‍යග්‍රහයක නිරත වීමෙන් අනතුරුවය. සිසුන්ගේ සාධාරණ ඉල්ලීම් වලට විසඳුම් වෙනුවට ලැබී ඇත්තේ අත්අඩංගුවට ගැනීම්ය. සිරගත කිරීම්ය. ජිවිත තර්ජනය. ශිෂ්‍ය සංගම් අහෝසි කිරීමය. මේ වන විට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව දින නියමයක් නොමැතිව විශ්වවිද්‍යාලයද වසා දැමීමට කටයුතු කර තිබේ. 

අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 213ක් ගත වන මේ මොහොත වන විටත් පාලකයන් උත්සහ ගනිමින් සිටින්නේ විශ්වවිද්‍යාලයේ පවතින සැබෑ ප්‍රශ්නය යටගසමින් සිසුන් මර්දනය කිරීමය. මේ සඳහා පැලැස්තර විසඳුම් ලබා දීමටය. සිසුන් සමස්ත සමාජයක නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් හඩ නගන විට තමන්ට සිදුවූ අසාධාරණයක් වෙනුවෙන් සාමකාමීව සත්‍යග්‍රහ පවත්වන විට එයට අධිකරණ නියෝග ගෙන සිසුන්ට පහර දී ඔළු පැලීමට නොපැකිලෙන පාලකයින් සිසු ජීවිත බිල්ලට ගැනීමට උත්සහ කරමින් දිගින් දිගටම සිදුවන මෙවැනි ක්‍රියා පිළිබදව මුනිවත ‍රැකීම අප දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු. එමෙන්ම සාධාරණ ඉල්ලීම් වලට නිසි විසඳුම් ලබා දෙන තුරු දැඩි ශිෂ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අප තීරණය කර ඇත්තෙමු. 



Share this article :

0 comments:

Post a Comment