Home » » සමාව? ඔව් අපි ඔබට සමාව දීමට සුදානම්!!

සමාව? ඔව් අපි ඔබට සමාව දීමට සුදානම්!!

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Sunday, July 27, 2014 | 12:46 AM



·         පසුගිය වසරේ ජුනි 20 ශිෂ්‍ය වීර දිනයේදී ඔබ සංවිධානය කළ ගමයි සරසවියයි වැඩසටහනේ අසාර්ථකත්වය අපගේ පිටින් යවා විනිවිද භාවයක් ඇති විධිමත් විනය පරීක්ෂණ පවා නොපවත්වා අසාධාරණ ලෙස පන්ති තහනම් කර අපගෙන් පළි ගැනීමට ඔබ කටයුතු කලත්, අප ඒ වෙනුවෙන් ඔබට සමාව දීමට සුදානම්.  
·         එම අසාධාරණය වෙනුවෙන් හඬ නැගූ නිසා නැවත වරක් අසාධාරණ ලෙස පන්ති තහනම් රාශියක් ලබා දුන්නද ඒ පිළිබඳවත් සමාව දීමට සුදානම්.
·         විවේක පැයේ කළ උද්ඝෝෂණ නිසා කාර්යාල හා පරිපාලන කටයුතුවලට බාධාවුණි යැයි ලෝකෙට ඔබ  බොරු කිව්වත්, එකටත් ඔබට සමාව දෙන්න සුදානම්.
·         විනය පාලකවරයා පැමිණ සිසුන්ගේ කමිස කොලරයෙන් ඇද ඔවුන්ගේ දුරකථන හා ජාතික හැඳුනුම්පත් පැහැර ගෙන තර්ජනය කලත්, ඒ වෙනුවෙන් ඔහුට සමාව දීමට අප සුදානම්.
·         අත් පත්‍රිකාවක් බෙදුවායයි අවුරුදු 5ක පන්ති තහනමක්  වැනි අහස පොලොව නුහුලන දඬුවම් ලබා දුන්නත්, ඒ පිළිබඳවත් අප ඔබට සමාව දීමට සූදානම්.
·         මේ කිසිඳු ගැටලුවකට විසඳුම් නොදී, අපගේ අධ්‍යන කටයුතු අඩාල කරමින් සතිගණන් පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට අපට රැඳෙන්නට සැලස්වූවාටත්, අප ඔබට සමාව දීමට සූදානම්.
·         එම කාලය තුළ විනය පාලකවරයා, ශාලාධිපතිවරයා සහ බීමතින් පැමිණි උපකුලපතිවරයා අපට නිර්ධය ලෙස තර්ජනය කලත්, ඔවුන්ට ඒ පිළිබඳව සමාව දීමට අප  සූදානම්.
·         එහිදී මාසයක් ඇතුලට ගැටළු විසඳන බවට අපට ලිඛිතව බොරු පොරොන්දු දී අපව මුලා කිරීමට උත්සාහ කලත්, අප ඔබට සමාව දීමට සූදානම්.
·         එහිදීම අපව හිටි හැටියේ නේවාසිකාගාර වලින් එලියට ඇද දමා අපව බලවත් අපහසුතාවයකට පත් කළාටත්, අප ඔබට සමාව දීමට සූදානම්.
·         ඔබ අපට සිදුකල මේ සියලු අසාධාරණකම් හා එල්ල කළ අසීමිත මර්දනය හේතුවෙන් අපට මහ පාරේ අට්ටාලයක් උරුම කළාටත් ඒ වෙනුවෙන්ද, ඔබට සමාව දීමට අප සූදානම්.
·         තවදුරටත් අපව මර්දනය කිරීම සඳහා අපගේ 30 දෙනෙකුගේ පමණ දෙමාපියන් ගෙන්වා අප පිළිබඳව බොරු කියා දෙමාපියන්ව අපහසුතාවයන්ට පත් කලත්, ඔබට සමාව දීමට අප සූදානම්.
·         සත්‍යග්‍රහ අට්ටාලයේ විදුලිය විසන්දි කර, මේස මෙට්ට පැහැරගෙන විවිධ අඩන්තේට්ටම් කලත්, ඒ පිළිබඳවත් ඔබට සමාව දීමට අප සූදානම්.
·         විසඳුමක් දෙනු වෙනුවට, කුරා කුහුම්බියෙකුට කරදරයක් නොවූ අට්ටාලයෙන් මහජන පීඩාව ඇති වන බව පවසමින් පොලිසියට බොරු කියා අට්ටාලය අයින් කිරීමට උසාවි නියෝග ගෙන ඒමට කටයුතු කලත්, ඔබට සමාව දීමට අප සූදානම්.
·         පොලිසිය ලවා පහරදී, අපෙන් 8 දෙනෙකු පැහැරගෙන ගොස් නඩු පැවරුවාටත්, ඔබට සමාව දීමට අප සූදානම්.
·         3 වරක් සිසුන් සිටියදීම හිත් පිත් නොමැතිව අට්ටාලයට ගිනි තබා පැන ගියා වුවත්, ඒ පිළිබඳවත් ඔබට සමාව දීමට අප සූදානම්.
·         නිතරම අපේ දෙමාපියන්ව දුරකථන මාර්ගයෙන් බය කරාටත්, සමාව දීමට සූදානම්.
·         ආරක්ෂක අංශයන්ට තර්ජනය කල බවට බොරු චෝදනා නගා තවත් අපේ එකෙකුට අසාධාරණ පන්ති තහනමක් ලබා දුන්නත්, අප ඔබට සමාව දීමට සුදානම්.
·         පොලිසි හා බුද්ධි අංශ යොදාගනිමින් අපගේ ගම් තුළ අපේ චරිතයන් ඝාතනය කරමින්, මහ රෑ නිවෙස් වලට කඩාවදිමින් අපගේ දෙමාපියන්ට දහසක් දුක් ගින්දර දුන්නාටත්, ඔබට සමාව දීමට අප සූදානම්.
·         විනය පාලක වරයා හා ශාලාධිපතිවරයා ජුනි 26 දිනයේ ප්‍රධාන ආපන ශාලාවට කඩාවැදී නවක සිසුන් දැඩි ආදරයෙන් පිළිගැනීමට කටයුතු  කළ අපව විශ්වවිද්‍යාලයෙන් එලියට පන්නා අපගේ 3 දෙනෙකුගේ හැඳුනුම්පත් පැහැරගෙන තර්ජනය කළාටත්, අප ඔබට සමාව දීමට සූදානම්.
·         තව දුරටත් විසඳුම් නොදී අපට පරිපාලන ගොඩනැගිල්ල තුළ පැය 23 ක් රස්තියාදු වීමට සැලස්වූවටත්, අප ඔබට සමාව දීමට සූදානම්.
·         ඒ මොහොතේ පවා පැය 23ක් යනතුරුද අපට විසඳුමක් නොදී අවසානයේ ව්‍යාජ පොරොන්දු පත්‍රයක් ලබා දී  නැවතත් අපව රැවටීමට උත්සාහ කළාටත්, ඒ සම්බන්දයෙන් අප සමාව දීමට සූදානම්.
·         එහිදී උපකුලපතිතුමා චොකලට් පෙත්තකින් ජීවිතේ රැකගන්නට සිදුවූ බවටත්, අප ආචාර්යවරුන් සිරකරගෙන සිටි බවටත් පවසමින් අපට අසත්‍ය චෝදනා කර අපගේ ප්‍රතිරූපය විනාශ කරන්නට උත්සාහ කළාටත්, ඔහුට සමාව දීමට අප සූදානම්.
·         ආචාර්ය සංගමයේ ලේකම් ස්වාමීන් වහන්සේ විසින් අපගෙන් ජීවිත තර්ජන ඇති බව ආදී නොයෙකුත් මුසාවාදයන් පවසා අපගේ ප්‍රතිරූපය විනාශ කර අපගේ සටන  අඩපන කිරීමට උත්සාහ කලත්, අප උන්වහන්සේටද සමාව දීමට සූදානම්.
·         අපේ සහෝදරයන් 28 දෙනෙකුට හා සහෝදරියන් 3 දෙනෙකුට බන්ධනාගාරයේ ලගින්නට පවා කටයුතු සැලස්වූවාටත්, ඔබට සමාව දීමට අප සූදානම්.
·         ඔබම සියලු ගැටළු ඇතිකර, ඔබම සියලු ගැටළු වැඩිකර, අපව පාරට ඇද දමා  දින 230කට වැඩි කාලයක් අපව අනේකවිද අඩත්තේට්ටම් මැද අපව මහ පාරේ රැඳවූවැටත්, අප ඔබට සමාව දීමට සූදානම්.
·         අප අතින් නොකියවුණු ඔබ විසින් අපට සිදු කළ තවත් කවර හෝ වැරද්දක් වේ නම් ඒ සියල්ලටම අප ඔබට සමාව දීමට සූදානම්!!!

එසේ සමාව දෙන්නේ 
“සමාව දීම දේව ගතියක්” 
නිසා නොව 
“අප ඔබටද අසීමිතව ප්‍රේම කරන” 
නිසාවෙනි.


·         එනමුත් ඔබ විසින් සමාජයේ අයිතියක් වන අධ්‍යාපනය විකුණමින්, මානව අයිතීන් උදුරාගෙන තම පන්තියේ පමණක් වරප්‍රසාද බවට පත් කරගැනීමට වෙර දරන පාලකයන්ට උඩගෙඩි දෙනවාට ප ඔබට කිසිසේත්ම සමාව දීමට සුදානම් නැති බවද තරයේ මතක තබා ගත යුතුය.මන්ද එය ඔබ අපට පමණක් කරන අසාධාරණයක් නොව රටේ සමස්ත අනාගත පරපුරටම කරනු ලබන අසාධාරණයක් බැවිනි!!!
Share this article :

0 comments:

Post a Comment