Home » » රජරට සත්‍යග්‍රහ අට්ටාලයට ගිනි තබයි - සිසු ජිවිත පිළිබඳ වගකීම ආණ්ඩුව භාර ගත යුතුයි.

රජරට සත්‍යග්‍රහ අට්ටාලයට ගිනි තබයි - සිසු ජිවිත පිළිබඳ වගකීම ආණ්ඩුව භාර ගත යුතුයි.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Thursday, June 19, 2014 | 5:10 PM



රජරට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පවත්වාගෙන යනු ලබන සත්‍යග්‍රහ ක්‍රියාමාර්ග පැවැත්වෙන අට්ටාලය කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබේ. ඊයේ දින (18) අලුයම 3.00ට පමණ මෙම ගිනි තැබීම සිදුකොට ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් බව සත්‍යග්‍රහයේ නිරතව සිටි සිසුන් දැක ඇත.

මෙම ගිනි තැබීමෙන් සත්‍යග්‍රහ අට්ටාලයට දැඩි ලෙස හානි සිදු වී ඇති අතර සත්‍යග්‍රහයේ නිරතව සිටි එක සිසුවෙකුට සුළු තුවාල සිදු වී ඇත. අසාධාරණ පන්ති තහනම් 27ක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් උක්ත විශ්වවිද්‍යාලයිය සිසු සිසුවියන් ආරම්භ කර ඇති මෙම අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට(19) දින 192කි. සිසු ආරක්ෂාව තහවුරු කිරීම මෙම අඛණ්ඩ අරගලෙයේ එක් සටන් පාඨයක්ව තිබියදී පවා මෙවන් තත්ත්වයක් නිර්මාණය වීම ඉතා කණගාටුදායක තත්ත්වයකි.

අධ්‍යාපන අයිතීන් දිනාගැනීම වෙනුවෙන් සහ ශිෂ්‍ය මර්දනයට එරෙහිව හඬ නැගීම හේතුකොටගෙන මෙම පන්ති තහනම් ලබාදීමට ආණ්ඩුවේ රූකඩයක් බවට පත්ව සිටින උපකුපතිවරයා ප්‍රමුඛ පරිපාලනය කටයුතු කර තිබිණ. එමනිසා අසාධාරණ පන්ති තහනම් ඉවත් කිරීම ඇතුළු විශ්වවිද්‍යාලය තුළ මේ වනවිට පවතින ගැටළු කිහිපයක් වෙනුවෙන් විසඳුම් ලබාදෙන ලෙස සිසු සිසුවියන් දිගින් දිගටම ඉල්ලීම් කලද විශ්වවිද්‍යාල පරිපාලනය ඒ කිසිදු ඉල්ලීමකට මෙතෙක් විසඳුම් ලබා දී නොමැත. ඒ වෙනුවට ඔවුන් තවදුරටත් සිදු  කරමින් සිටින්නේ ශිෂ්‍යයින් ඉතා නින්දිත ලෙස මර්දනය කිරීමකි. පන්ති තහනම් ඉවත් කිරීමක් සහ අඩු කිරීමක් සිදු කල බවට මාධ්‍යයට ඉතා සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරන උපකුලපතිවරයා ගැටළු විසඳීම වෙනුවට තවත් සිසු ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුට පන්ති තහනම් ලබාදීමට හා විනය පරීක්ෂණ කැඳවීමට කටයුතු කර තිබිණ.

කිසිදු පන්ති තහනමක් මේ වනතෙක් ඉවත් කර නොමැති අතර සිදු කර ඇත්තේ අත්හිටවූ පන්ති තහනම් ලෙස අදාල පන්ති තහනම් ක්‍රියාත්මක කරමින් තවදුරටත් සිසුන් ඔවුන්ගේ යටතේ තබාගැනීමේ මර්දනකාරී වැඩපිළිවෙලක් දියත් කිරීමය. මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භක මොහොතේ සිටම ආණ්ඩුව සිය නිල මර්දනය ක්‍රියාත්මක කිරීමට සියලු උත්සාහයන් දැරිය. ඒ අනුව පොලිසිය, ප්‍රාදේශීය දේශපාලඥයින් හා විශ්වවිද්‍යාල පරිපාලනය ඉතා නින්දිත ආකාරයෙන් යොදා ගනිමින් ආණ්ඩුව සත්‍යග්‍රහය විරුද්ධව අධිකරණ නියෝග ලබා ගැනීමට කටයුතු කළ අතර සාමකාමිව සත්‍යග්‍රහයේ සිටි සිසුන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට තරම් නින්දිත විය.

එසේම විවිධ අවස්ථාවන් වලදී විවිධ පාර්ශවයන් සිදු කිරීමට උත්සහ කළ පහරදීම් බැනවැදීම් හා සාවද්‍ය ප්‍රකාශ පිටුපස මෙරට වත්මන් ආණ්ඩුවේ දේශපාලන හස්තය ක්‍රියාත්මක වූ බව නොරහසකි. නමුත් ඒ සියලු බාධක මැද සිසුන්ට අඛණ්ඩව අරගල කිරීමට සිදු වුයේ සිසු ගැටළු වලට විසඳුම් ලබා නොදීම හේතුවෙනි. ඒ අනුව දිවා රාත්‍රී නොබලා අරගලයේ යෙදී සිටින සිසු ජිවිත දැඩි අවදානමක පවතින බව කිහිප අවස්ථාවකදීම අප විශ්වවිද්‍යාල පරිපාලනය දැනුවත් කිරීමට කටයුතු කලද අධ්‍යාපනය විකිණීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන රූකඩ පාලකයින්ට සිසු ජිවිත වලට වඩා තමන්ට ලැබෙන කොමිස් මුදල වැදගත් වී තිබේ.
ඒ අනුව තවදුරටත් සිසු ගැටළු වලට විසඳුම් ලබා නොදී මෙලෙස සිසු ජිවිත අනතුරේ හෙලීමට වගකීම මෙරට ජනාධිපතිවරයා, ආණ්ඩුව හා විශ්වවිද්‍යාල පරිපාලනය භාර ගත යුතු බව අප අවධාරණය කරන්නෙමු. එසේම මෙම ගිනි තැබීමට අදාළව මිහින්තලේ පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කිරිමට කටයුතු කෙරිණි.

මෙම සත්‍යග්‍රහයට විරෝධය පාමින් ඊයේ දින රජරට විශ්වවිද්‍යාලයේ සිසුහු එම විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවක ද නිරත විය. එසේම අඛණ්ඩ සත්‍යග්‍රහයට විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිවිසුම් මාර්ගය අසළට ගෙන ඒමට මේ වනවිට කටයුතු කර ඇත. විරෝධතාව පැවැත්වෙන අතරතුර රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ස්ථානයෙන් විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට උත්සහ කිරීමේදී සිසුන් ඊට දැක්වූ දැඩි විරෝධය හමුවේ ආපසු හැරීමට ඔහුට සිදුවිය.

නමුත් නීතීය පිළිබඳව අපට ඇත්තේ ද දැඩි අවිශ්වාසයකි. එමනිසා මේ සම්බන්ධයෙන් ඉදිරි ශිෂ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මහා ශිෂ්‍ය සංගමය ලෙස අප තීරණය කර ඇත.

Share this article :

0 comments:

Post a Comment