Home » » පෙළහර, පෙරහැර සහ අට්ටාලය

පෙළහර, පෙරහැර සහ අට්ටාලය

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Saturday, June 14, 2014 | 1:26 PM

කසකරුවන්, ගිනි බෝල කරකවන්නන්, උඩරට පහතරට සබරගමු ආදී ලෙසට වෙනස් වූ ආකාරයෙන් රංගනයන් ඉදිරිපත් කරන නර්තන ශිල්පීන් අභිමානවත් ගමන් විලාසයෙන් මග දෙපස ‍රැස්ව සිටිනු දහසකගේ අවධානය දිනා ගනිමින් ගමන් කරන නිලමේවරු පාට පාට විදුලි බුබුළු වලින් සැරසුණු ඇඳුම් ඇඳගත් අලි ඇත්තු මේ සියල්ලක්ම පිරිවරාගෙන එක පෙළට යන අයට ආලෝකය ලබා දෙන පන්දම් අත දරා සිටින මිනිසුන්. මෙකී සියලු දෙනා ගැන සටහනක් තබද්දී සිහියට නැගෙන්නේ අලංකාර පෙරහැරක දසුනක්. එය සැබෑය. මෙකී සටහන තබන්නට වස්තු බීජය වන්නේද පෙරහැරකි. එය අනෙකක් නොව මේ ලංකාද්වීපයට බුදුදහම ප්‍රචලිත කිරීමේ සිදුවීම සමරන පෙරහැරයි. එනම් මිහින්තලා රජමහා විහාරයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහැරයි.

පෙරහැර යන අංගය අප සංස්කෘතියේ එක්තරා සුවිශේෂී සාධකයක් වන්නේ පෙරහැර තුළින් එක්තරා ආකාරයට අපේ සමාජය තුළ ඒ දවසේ පැවති සමාජ ස්ථරායනය පිළිබඳවද සාධක ‍රැසක් කියන නිසාය.
මේ ඒ ගැන ලියවෙන දෙයක් නොවෙයි. රජරට සරසවි ශිෂ්‍යයන් ලෙස මෙවර මිහින්තලා පෙරහැර සමග සම්බන්ධ වීමට සිදු වූයේ වෙනස්ම ආකාරයකටය. ඊට ආසන්නතම හේතුව වන්නේ මේ වනවිටත් (14) දින 187ක් තිස්සේ විශ්වවිද්‍යාලය ඉදිරිපිට සරසවි ශිෂ්‍යයන් සිදුකරගෙන යනු ලබන අඛණ්ඩ සත්‍යග්‍රහයයි. මේ වසරේ දී මෙන් නොව වෙනත් වසර වලදී පෙරහැර සමඟ සම්බන්ධව වී පෙරහැරේ ගමන් කිරීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කණ්ඩායමකට දායකත්වය ලබා දීමට හැකි විය. ඒ මෙය බෞද්ධයන්ගේ කාර්යයක්, මේ අපේ රටේ බෞද්ධ සිංහල රටක් නිසාත්ය කියන ප‍ටු අරුතෙන් නොව සරසවි ශිෂ්‍යයන් ලෙසට අප සමාජ වගකීමක් සංස්කෘතිකමය වටපිටාවක් සමඟ බැඳී පවතින නිසාය. එමෙන්ම පෙරහැරට සම්බන්ධ වූයේ බෞද්ධ සහෝදරයින් පමණක් නොව හින්දු ක‍තෝලික යන සහෝදරයින්ද ගියවර පෙරහැරේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අපෙන් ඉ‍ටුවිය යුතු කාර්යය ඉ‍ටු කිරීමට දායකත්වය ලබා දුන්හ.
එහෙත් මෙවර, 11 වනදා විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී මෙකී පෙරහැර ගමන් කරද්දී නරඹන්නට සිදුවූයේ දින 184 ක් තිස්සේ සත්‍යග්‍රහය සිදුකරගෙන ආ අට්ටාලයේ සිටය. පෙරහැර ගමන් කරද්දී ඊට අවැසි ඉඩකඩ ලබාගැනීමට පෙරහැරේ ඉදිරියෙන්ම ගමන් කරන කසකරුවන් තම කසයෙන් හඬක් නගා නරඹන්නන් දෙපසට කිරීමට උත්සහ කළහ. පෙරහැරට අදාළ කොට අප අරගලයට සාධාරණ විසඳුමක් නොදී අට්ටාලය ගලවා ඉවත් කරන ලෙස අප ඉදිරියේදීත් කසහඬ නිකුත් කළ පිරිසක් ක්‍රියාත්මක වූහ. ඒ පිරිසද ඇත්තෙන්ම පෙරහැර අවසන් වූ පසු තමන්ගේ තරමේ උසට වඩා තමන් උසස් යැයි පෙන්වන බොරු කකුල් දෙකක් බැඳ ගිනිකෙළි වළල්ලක් අතට ගෙන කරකවන ගිනිබෝලකරුවන් මෙනි. ඔවුන් නොදැන සිටින්නට ඇති පෙරහැර අවසාන වූ පසු ඒ අය තමන්ගේ රඟපෑම හමාර කොට නැවතත් තමන්ගෙම සුපුරුදු සැබෑ ජීවිතයට මුහුණ දෙන බව. ඒ ආකාරයටම මේ පිරිස විශ්වවිද්‍යාල සිසුන්ට අට්ටාලය ඉවත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබුවේ සිසුන්ට අට්ටාලයක සිට පෙරහැර නැරඹීමට සිදුවූයේ මන්දැයි කරුණු කාරණා සෙවීමට අවධානය යොමු නොකරමිනි.
ඇතැම් පිරිසකට පෙරහැර අවසන් වූ පසු එතැනින් එහාට දෙයක් අවශ්‍ය නැත. නමුත් රජරට සිසුන්ට පෙරහැර ගමන් කරන විට මෙන්ම පෙරහැර ගමන් කර අවසන් වූ පසුද ඉ‍ටුකළ යුතු කාර්යයක් තිබේ. ඒ නිසයි අප අට්ටාලයේ සිටම පෙරහැර නැරඹීමට තීරණය කරනු ලැබුවේ.
නමුත් මේ පිළිබඳව සිතීමට සිටිය යුතු පිරිසක් සිටී. ඒ පෙරහැර හේතුවෙන් අට්ටාලය ඉවත් කරන ලෙස ඉල්ලීම් සිදු කළ පිරිසයි. 
මෙය සංස්කෘතියේ හා එක්තරා දේශපාලනික කතිකාවතක් ගොඩ නගා ගැනීමට උත්සහ කළ පිරිසට ගැඹුරක් ඉතිරි කරනු ලබන කාරණයක් වූ බව අපගේ හැඟීමයි.

Share this article :

0 comments:

Post a Comment