Home » » උපකුලපතිගේ ප්‍රකාශ සාවද්‍යයි, විශ්වවිද්‍යාලය විවෘත කරන බවට උපකුලපති ලිඛිතව පොරොන්දු වෙයි.

උපකුලපතිගේ ප්‍රකාශ සාවද්‍යයි, විශ්වවිද්‍යාලය විවෘත කරන බවට උපකුලපති ලිඛිතව පොරොන්දු වෙයි.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Saturday, June 28, 2014 | 3:14 PM



අධ්‍යාපනය අර්බුදයට හා ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් සටන් කල ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය නායකයින් හට ලබා දුන් අසාධාරණ පන්ති තහනම් සම්බන්ධව සකච්ඡා මාර්ගයෙන් කිසිදු සාධාරණයක් ඉටු කර ගැනීමට නොහැකි වූ තැන එම පන්ති තහනම් ඉවත් කරන ලෙසත් විශ්වවිද්‍යාලය තුල පවතින අධ්‍යාපන සුබ සාධන ගැටළු වෙනුවෙන් විසඳුම් ඉල්ලා සිටිමින් සිසුන් ආරම්භ කල අඛණ්ඩ සත්‍යග්‍රහයට ඊයේ(27) වනවිට දින 200ක් සම්පුර්ණ විය.
සිසුන් මෙලෙස සාමකාමී ලෙස තම ගැටළු වල‍ට විසඳුම් ඉල්ලා කරන සත්‍යග්‍රහයටද පිළිතුරු වෙනුවට දිගින් දිගටම මර්දනය එල්ල විය. දෙමාපියන් බියවැද්දීම, තර්ජනය කිරීම, පොලිස් ප්‍රහාර, නඩු පැවරීම් හා අත්අඩංගුවට ගැනීම් වශයෙන් විටින් විට එල්ල වූ තර්ජන හමුවේ නොසැලී ශක්තිමත්ව සටන් වැදුනු ශිෂ්‍යයා, සත්‍යග්‍රහයට දින 191 සපිරෙන දිනයේදී ආණ්ඩුවේ මැරයින්ගෙන් ගිනි තැබිමකටද ලක් වන්නට සිදුවිය. මෙලෙස දිගින් දිගටම ශිෂ්‍ය ඉල්ලීම් නොසලකා හැරීමත්, සිසු ජිවිත වලට එල්ලවූ තර්ජනයත් හේතුකොටගෙන සිසුන් තම ගැටළු සම්බන්ධයෙන් වගකිව යුතු පරිපාලන නිලධාරීන්ගෙන් විසඳුම් ඉල්ලා ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල වැටලීමට කටයුතු කළහ.
ඒ අනුව අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 199 ක් සපිරුණ දිනයේදී සිසුන් තම සාධාරණ ඉල්ලීම් වලට පිළිතුරු ඉල්ලා ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලට ඇතුළු විය. මෙහිදී ඔවුන් විසින් මෙම තත්ත්වයට වගකිව යුතු උපකුලපතිවරයාගෙන් වහාම විසඳුමක් ඉල්ලා සිටි අතර එතෙක් පරිපාලන ගොඩනැගිල්ල වටලා සිටීමට කටයුතු කළහ.
තත්ත්වය මෙසේ පවතින විටදී පවා උපකුලපතිවරයා ශිෂ්‍ය ඉල්ලීම් වලට උත්තර දීම වෙනුවට මර්දනය ගෙන ඒමට උත්සහ කළේය. එහිදී ඔහු යොදාගත්තේ සිසුන්ගේ මෙම සටන කෙරෙහි රාජ්‍ය බලය යොදාගනිමින් අසත්‍ය මාධ්‍ය ප්‍රකාශ නිකුත් කර ජනතාව තුල සිසුන් කෙරෙහි අප්‍රසාදයක් ගොඩනැගීම තුලින් සටන දියාරු කර ප්‍රශ්නයෙන් නැවත වතාවක් පැන යාමයි. මේ හේතුවෙන් ඔහු දිගින් දිගටම මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ සිසුන් තමාටත් ආචාර්යවරුන්ටත් පහර දුන් බවටත් තමා හා ආචාර්යවරුන් ආහාර ගැනීමටවත් ඉඩක් නොතබා බලහත්කාරිව තවදුරටත් ඔවුන් ඒ සම්බන්ධව කියාසිටියේ රාත්‍රියේදී තමන් ඇතුළු ආචාර්යවරුන්ට චොක්ලට් පෙත්තක් පමණක් ආහාරයට ගැනීමට සිදුවූ බවයි.
මෙහිදී අප ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටින්නේ මෙම අරගලය තුළදී කිසිදු ආචාර්යවරයෙකුට හෝ පරිපාලන නිලධාරියෙකුට පහරදීමක් කිසිසේත් සිදු නොවූ බවයි. එමෙන්ම ගැටළු වලට වගකිව යුතු උපකුලපතිවරයා හැර ආචාර්යවරු හෝ වෙනත් කිසිදු පුද්ගලයෙක් ගොඩනැගිල්ල තුල රඳවා තබාගැනීමක් සිදු නොවිය. ආචාර්වරු කිහිපදෙනෙක් තමාගේ අපේක්ෂාව පරිදි කාර්යාලයට ඇතුළු වූ අතර කිසිදු හිරිහැරයකින් තොරව පිටව ගියහ. ඒ අතර ඔවුන්ගේ කැමැත්තෙන්ම ආචාර්යවරු කිහිපදෙනෙක් කාර්යාලයේ රැඳී සිටිමක්ද සිදුවිය. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය ආහාර ලබා දීමට සිසුන් උත්සහ කල අතර එම ආහාර ප්‍රතික්ෂේප කල උපකුලපතිවරයා තවත් ආචාර්වරු කිහිපදෙනෙක් ලවා පිටතින් රාත්‍රී ආහාරය සහ යෝගට් රැගෙනවිත් ආහාරයට ගැනීමට කටයුතු කල අතර එයට ශිෂ්‍යයින්ගේ කිසිදු බාධාවක් එල්ල නොවිය.
මේ ආකාරයට දිගින් දිගටම මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රකාශ නිකුත් කලද තත්ත්වය පිළිබඳ පැහැදිලි අදහසක සිට සිසුන් තම ඉල්ලීම් වලට සාධාරණයක් අපේක්ෂාවෙන් දිගටම පරිපාලන ගොඩනැගිල්ල තුල රැඳී සිටීමට කටයුතු කලහ. පසුදින ආචාර්ය සංගමය එම ස්ථානයට පිටතින් පැමිණ සිසුන් හා උපකුලපතිවරයා සමග දීර්ඝ සාකච්ඡා කිරීමකින් පසුව පහත එකඟතා වලට එකඟ වීමට උපකුලපතිවරයාට සිදුවිය.
පන්ති තහනම් ඉවත් කිරීමට අදාලව තීරණය ගැනීමට ලබන මස 10 වන දින පාලක සභාව රැස්කරන බවත් එහිදී ගන්නා තීරණය ඊට පසු දිනට සිසුන් වෙත දන්වා සිටින බව, එම දින දෙක තුල සිසුන් විසඳුම් ඉල්ලා කල ක්‍රියාමාර්ග සම්බන්ධව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව, සියලු මාධ්‍ය ආයතනවලට විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට අවසර ලබාදෙන බවය.
එමෙන්ම මෙතෙක් පරිපාලනය මගින් අසාධාරණ ලෙස පන්ති තහනමට ලක්කර ඇති සියලු සිසුන්ට ලබන මාස 10 වන දින තෙක් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේ අවස්ථාව ලබා දීම සම්බන්ධව තීරණයක් ගැනීමට නොහැකි බව දන්වා සිටි අතර නමුත් තාවකාලිකව විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට ඉඩ ඇති අතර ඒ සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් හෝ යම් ක්‍රියාමාර්ගයක් ගතහොත් ඒ සඳහා ආචාර්ය සංගමය සම්පුරණ වගකීම භාරගන්නා බව සිසුන් ඉදිරියේ ප්‍රකාශ කර ඇත.
ඒ අනුව වසා  දැමු සරසවියද විවෘත කිරීමට සිදුවිය. අඛන්ඩව පරිපාලන ගොඩනැගිල්ල තුල අරගලයේ නියැලි ශිෂ්‍යන්ට මෙම එකගතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමස්ත ශිෂ්‍යාම එම පිළිතුරු වලට එකඟ වූ අතර ඒ අනුව ඔව්හු පරිපාලන ගොඩනැගිල්ලෙන් ඉවත් වීමට තීරණය කළහ. ඉන් අනතුරුව ලබන මාස 10 වන දිනයේදී මෙම අසාධාරණ පන්ති තහනම් ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණය ලැබෙන තෙක් සිසුන් විසිර යන බවටත් මේ සදහා විසදුම් ලබා දීමට කටයුතු නොකළහොත් නැවත එදින සිට ශිෂ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවටත් උපකුලපතිවරයාට දැනුම් දී පරිපාලන ගොඩනැගිල්ලෙන් පිටතට ගොස් උපකුලපතිවරයාට ඉන් පිටතට ඒමට අවස්ථාව ලබාදීමට කටයුතු කළහ.
එමෙන්ම දින නියමයක් නොමැතිව වසා දැමුණු සරසවිය නැවත විවෘත කරන බවට උපකුලපතිවරයාගේ අත්සනින් යුතුව ශිෂ්‍යන්ට ලිඛිත පොරොන්දුවක් ලබා දුන් අතර සිසුන් මේ වනවිටත් විශ්වවිද්‍යාලය තුල රැඳී සිටියි. නමුත් තවදුරටත් මාධ්‍ය වෙත සරසවිය වසා දමා ඇති බවට උපකුලපතිවරයා ප‍්‍රකාශ කරමින් මෙම අර්බුදය දික්ගැස්සවීමේ කුමන්ත‍්‍රණයක නියැලෙමින් සිටී. කෙසේ වෙතත් සරසවිය නැවත විවෘත කළපසු සිසුන් ඇමතූ මහා ශිෂ්‍ය සංගමය ශිෂ්‍ය එකමුතුව හමුවේ උපකුලපතිවරයා ඇතුළු පාලකයින්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හකුලා ගැනීමට සිදු වූ බවත් ලබා දුන් පොරොන්දු ඉටු කරන තෙක් අවධානයෙන් සිටින බවත්ය. එසේම ඉල්ලීම් ඉටු කිරීමට කටයුතු නොකළහොත් පෙරට වඩා ශක්තිමත්ව නැවත ශිෂ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
පහතින් දැක්වෙන්නේ උපකුලපතිවරයා සහ ආචාර්ය සංගමය විසින් ලබා දුන් ලිඛිත පොරොන්දු පත්‍රිකා ය.




Share this article :

0 comments:

Post a Comment