Home » » රජරට පන්ති තහනම් සම්බන්ධයෙන් උපකුලපතිවරයා සිදුකරන ලද ප්‍රකාශය සම්පුර්ණ අසත්‍යයක්.

රජරට පන්ති තහනම් සම්බන්ධයෙන් උපකුලපතිවරයා සිදුකරන ලද ප්‍රකාශය සම්පුර්ණ අසත්‍යයක්.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Monday, May 26, 2014 | 4:07 PM

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පරිපාලනය විසින් ලබා දී ඇති අසාධාරණ පන්ති තහනම් 27ක් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා මාධ්‍යයට නිකුත් කොට ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කිරීමට තීරණය කළේ, එම ප්‍රකාශය කිසිදු සත්‍යතාවයකින් තොර ප්‍රකාශයක් නිසාවෙනි.

ඒ අනුව පසුගිය මැයි මස 18 වනදා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ පන්ති තහනමට ලක් වූ සිසුන් 27 දෙනාගෙන් 7 දෙනෙකුගේ පන්ති තහනම් සම්පුර්ණයෙන් ඉවත් කිරීමටත් තවත් සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනම් වසරකට සීමා කිරීමටත් තවත් සිසුන් දෙදෙනෙකුගේ පන්ති තහනම් ඉවත් නොකිරීමටත් තීරණය කර ඇති බවයි.

නමුත් සත්‍යය කාරණය නම් සිසුන් 7 දෙනෙකුට ඇරෙන්නට අනෙක් කිසිදු ශිෂ්‍යයෙකුට එම තීරණය දැනුම් දුන් ලිඛිත ලියවිල්ලක් ලැබී නොමැත. සිසුන් 7 දෙනෙකුට අදාළ ලිපි ලැබී තිබුණද එම ලිපි වල සඳහන් පරිදි ඔවුන්ගේ පන්ති තහනම් ද සම්පුර්ණයෙන් ඉවත් කිරීමට කටයුතු කර නොමැත. එම ලිපි වල සඳහන් පරිදි විශ්වවිද්‍යාල පරිපාලනය හදුන්වන ආකාරයෙන් විනය විරෝධී ක්‍රියාවකට ඔවුන් සම්බන්ධ යැයි තොරතුරු ලැබුණහොත් පරීක්ෂණයකින් තොරව ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කරන බවද එම ලිපි වලින් දන්වා ඇත. එසේම මෙහි පවතින ගැටළුව  නම් එකම චෝදනාව යටතේ එකම වරදක් කර ඇති බවට විශ්වවිද්‍යාල පරිපාලනය චෝදනා කර ඇති සිසු කණ්ඩායම් වලට පන්ති තහනම් ඉවත් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කර ඇති පිළිවෙත් ඉතා ගැටළු සහගත වීමයි.

එසේම පන්ති තහනම් කර ඇති කළමනාකරණ පීඨයේ සියලු දෙනාටම මෙවර විභාගයට පෙනී සිටීමට අදාළව අභියාචනා භාර දී ඇති නමුත් විභාගය සඳහා පෙනී සිටීම සඳහා අවසර දී ඇත්තේ සිසුන් කීපදෙනෙකුට පමණි. එම තීරණය එක් පිරිසකට එක් ආකාරයකටත් තවත් පිරිසකට තවත් ආකාරයකටත් ලබා දීමට විශ්වවිද්‍යාල පරිපාලනය තම තීරණය ලබා දී ඇති ආකාරය පිළිබඳව ඇත්තේ ඉතා ගැටළු සහගත තත්ත්වයකි.

ඒ අනුව උපකුලපතිවරයා මාධ්‍යයට සිදු කර ඇති ප්‍රකාශය සම්පුර්ණ අසත්‍යක් වන අතර මේ වනවිට මෙය රටම දන්නා ප්‍රශ්නයක් වී ඇත. රජරට විශ්වවිද්‍යාලයේ අර්බුදය විසඳීමට  තමන් ඇතුළු පරිපාලනය කටයුතු කල බවට, රටට පැවසීම උදෙසා ගත් නින්දිත උත්සහයක් බව අප දැඩි විශ්වාසයෙන් ප්‍රකාශ කරන්නෙමු.


නීති මාර්ගයෙන්, සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබාගත නොහැකි වූ තැන සිසුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට තීරණය කළේ පන්ති තහනම් 27 ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 9ක් මුල් කරගනිමිනි. එහිදී මෙම සත්‍යග්‍රහය ආරම්භයේ සිටම උපකුලපතිවරයටත් මහා ශිෂ්‍ය සංගමයට සාකච්ඡාවක් ලබා දුන් අවස්ථාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමටත් අප ඉතා පැහැදිළිව දන්වා සිටියේ කිසිදු කොන්දේසියකින් තොරව පන්ති තහනම් 27 ඉවත් කිරීම මෙම අරගලයේ මුලික ඉල්ලීම වන බවයි. නමුත් අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 168ක කාලයක් ගතවන මේ මොහොත වනවිටත් අදාළ කිසිදු ගැටළුවක් වෙනුවෙන් විසදුම් ලබා දීමට විශ්වවිද්‍යාල පරිපාලනය ආණ්ඩුවේ බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැත. ඔවුන් තවදුරටත් සැලසුම් කරමින් සිටින්නේ ශිෂ්‍ය ගැටලු වලට විසඳුම් දීම වෙනුවට විවිධාකාරයෙන් සිසුන් මර්දනය කරමින් අදාළ ගැටළු වලට විසදුම් ලබා නොදී අධ්‍යාපනය විකිණීමේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය, විශ්වවිද්‍යාල තුල ක්‍රියාත්මක කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරගැනීමයි. ඒ අනුව පන්ති තහනම් 27 සම්බන්ධයෙන් උපකුලපතිවරයා සිදු කර ඇති ප්‍රකාශය සම්පුර්ණ අසත්‍යක් වන අතර කිසිදු කොන්දේසියකින් තොරව පන්ති තහනම් ඉවත් කරන තුරු අඛණ්ඩ සත්‍යග්‍රහය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර දැඩි ශිෂ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද අප තීරණය කර ඇත. 
Share this article :

0 comments:

Post a Comment