Home » » තවමත් නොවිසඳුණු රජරට වෛද්‍යපීඨයේ ගැටලු

තවමත් නොවිසඳුණු රජරට වෛද්‍යපීඨයේ ගැටලු

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Wednesday, May 14, 2014 | 2:34 PM


මහින්ද චින්තන පළමු ප්‍රතිපත්ති මාලාවේ ප්‍රතිඵලයක්‌ ලෙස ආරම්භ කරන ලද රජරට වෛද්‍ය පීඨයට මේ වන විට වසර 7ක්‌ සම්පූර්ණ වී ඇත. පීඨය ආරම්භ කිරීමේ සිට මේ දක්‌වාම ආන්දෝලනාත්මක ගැටලු රාශියකට මුහුණ දුන් වෛද්‍යපීඨයක්‌ ලෙස රජරට වෛද්‍යපීඨය හැඳින් විය හැකිය. වසර 7ක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ පීඨය පසු කළ විවිධවූ කඩඉම් අතිමහත්ය. ආරම්භයේ සිටම සැලසුම්සහගත බවකින් තොරව ආරම්භ කරන ලද පීඨයක ලක්‍ෂණ පෙන්නුම් කළ රජරට වෛද්‍යපීඨයට අතිශය කටුකවූ අභියෝග ගැටලු රැසකට මුහුණ දීමට සිදුවූ බව සඳහන් කිරීමට කැමැත්තෙමු.

ආරම්භයේ සිටම වර්තමානය දක්‌වාම රජරට වෛද්‍යපීඨයට මුහුණ දීමට තිබූ ප්‍රධානතම ගැටලුව වන්නේ පීඨයට ප්‍රමාණවත් තරම් ආචාර්යය මණ්‌ඩලයක්‌ නොමැතිකමයි. වෛද්‍යපීඨයක්‌ ලෙස උසස්‌ පෙළ විභාගයෙන් ලංකාවෙන්ම 3 වන ස්‌ථානයට වැඩිම සිසුන් පිරිසක්‌ (180 දෙනෙකු) බඳවා ගනු ලබන්නේ රජරට වෛද්‍ය පීඨයට වන නමුත්, ඒ සඳහා ප්‍රමාණවත් ආචාර්ය මණ්‌ඩලයක්‌ නොමැති වීම කනගාටුවට කරුණකි. පීඨයේ දැනට සිටින ආචාර්ය මණ්‌ඩලයද නොයෙකුත් වූ දුෂ්කරතා මධ්‍යයේ තම ඉගැන්වීමේ කාර්යන්වල නිරත සිටිති. ඔවුන්ගෙන් බොහෝ පිරිසක්‌ තම උසස්‌ අධ්‍යාපන කටයුතු සඳහා පීඨයෙන් නික්‌ම යාමට සූදානම් වන බවක්‌ ද සඳහන්ය. තත්ත්වය මෙසේ වන කල එය පීඨයේ ඉදිරි පැවැත්මට දැඩි ලෙස බලපාන කරුණකි. ආරම්භයේ සිටම මේ වන තුරුත් මෙම ගැටලුව සඳහා ස්‌ථිර විසඳුමක්‌ ගෙන ඒමට බලධාරීන් අපොහොසත්වූ අතර දේශන සඳහා බාහිර කථිකාචාර්යවරුන් (Visiting lecturers) මුදල් ගෙවා පීඨයට ගෙන්වීම වැනි තාවකාලික විසඳුම් යොදා ඇත.

මෙම අචාර්ය ගැටලුව පිළිබඳව විශ්ලේෂණය කිරීමේදී රජරට වෛද්‍යපීඨයට ආචාර්යවරුන් පැමිණීමට දක්‌වන මැලිකමට හේතු ලෙස අප හට පෙනුණු කරුණු නම් ආචාර්යවරුන් මුහුණ දෙන්නාවූ දුෂ්කරතාවන්ය. ඒවා නම්,

වැටුප් හිඟකම, ප්‍රවාහන පහසුකම් හිඟකම, නවාතැන් පහසුකම් හිඟකම, තම දරුවන් පාසැල්වලට ඇතුළත් කර ගැනීමේදී ඇතිවන දුෂ්කරතාවන්ය.

පීඨයට ඉහත සඳහන් ගැටලු සඳහා විසඳුම් ලබාදී ආචාර්යවරුන් පීඨයට ආකර්ෂණය කර ගැනීමට කිසිඳු වැඩපිළිවෙලක්‌ මේ වන තුරුත් අදාළ බලධාරීන් විසින් ක්‍රියාත්මක කර නොතිබීම කනගාටුවට කරුණකි.

පීඨය මුහුණදී ඇති තවත් ප්‍රධාන තම ගැටලුවක්‌ නම් නේවාසිකාගාර හිඟයයි. දහසකට ආසන්න සිසුන් ප්‍රමාණක්‌ අධ්‍යාපනය හදාරන පීඨය තුළ සිසුවියන් 100 කට පමණ සරිලන කුඩා නේවාසිකාගාර කිහිපයක්‌ ඇත. අනෙකුත් සියලුම සිසුහු පීඨයට පිටතින් ඇති කුලී පදනම මත අධික මුදලක්‌ ගෙවා පීඨයට පවරාගත් නිවෙස්‌වල නේවාසිකව සිටිති. මෙම නේවාසිකාගාරවල ඉඩකඩ සිසුන්ට කිසිසේත්ම ප්‍රමාණවත් නැත. පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ සිසුන්ගේ (විශේෂයෙන් ශිෂ්‍යාවන්ගේ) ආරක්‍ෂාවට බාහිරින් එල්ල වන බලපෑමයි.

පීඨය තුළ සිසුන් 400කට පමණ ප්‍රමාණවත් නේවාසිකාගාර 2ක්‌ සෑදීමට අනුමත වී මුදල් ප්‍රතිපාදන පවා නිකුත් වී තිබුණ ද අදාළ බලධාරීන්ගේ තිබෙන දුර්වලතාවයක්‌ නිසා මේ වනතුරුත් එහි වැඩ කටයුතු ආරම්භ කිරීමට අපොහොසත් වී ඇත.

වසර ගණනක්‌ ප්‍රමාදවෙමින් තිබූ, මීට වසර 3කට පමණ පෙර අඛණ්‌ඩ ශිෂ්‍ය අරගල හමුවේ විවෘත කළ වෛද්‍ය පීඨයට අනුබද්ධ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ පවතින මහාචාර්ය ඒකකයේ (Professorial Unit) වැඩකටයුතු මේ වන තුරු සම්පූර්ණ කර නැත. වැඩකටයුතු අවසන් කිරීමට නොහැකි වීම නිසා දේශන ශාලව සහ මානසික වෛද්‍ය වාට්‌ටුව මේ වන තුරුත් ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වී ඇත. කඩ්මුඩියේ සාදන ලද මෙම මහාචාර්ය ඒකකයේ බරපතල අඩුපාඩු රැසක්‌ (උද:- නිතරම ක්‍රියාවිරහිත වන වායුසමීකරණ පද්ධතිය) පවතින අතර මෙම ගැටලු සඳහා පැහැදිලි විසඳුම් ලබා දීමට, කිසිවෙකුත් ක්‍රියා කර නැත.

ඉහත සඳහන් ගැටලු පිළිබඳ අප විසින් දිගටම අදාළ බලධාරීන් (උප කුලපතිවරයාගේ සිට උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා දක්‌වා) දැනුවත් කළ ද මේ වන තුරුත් යහපත් ප්‍රතිචාරයක්‌ ලැබී නැත.

ප්‍රශ්නවලට ස්‌ථිර විසඳුම් ලබාදීම වෙනුවට, තාවකාලික පැලැස්‌තර අලවා පාලකයන් තම ඇග බේරා ගැනීමනිසා ශිෂ්‍යයන් ලෙස අපගේ අනාගතයට සිදුවන හානිය අතිමහත්ය.

තත්වය මෙසේ වන සමයක ශිෂ්‍යන් ලෙස අපගේ අයිතීන් දිනා ගැනීමට පාරට බැස අරගල කිරීමට පෙර මෙම ගැටලු සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු කරනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

රජරට වෛද්‍ය ශිෂ්‍ය සංගමය.
Share this article :

0 comments:

Post a Comment