Home » » මහින්ද වෙනුවෙන් මහින්ද

මහින්ද වෙනුවෙන් මහින්ද

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Tuesday, May 13, 2014 | 5:26 PM

“ශ්‍රී ලංකාවේ කීර්තිමත් බුද්ධිමතෙකු අනුව මෙරට විශ්වවිද්‍යාල මෙතෙක් කිසිඳු ප්‍රාඥයකු බිහි කර නැත.අද විශ්වවිද්‍යාල වලින් බිහි වන්නේ රස්තියාදුකාරයෝය, මරයෝය යනුද එම බුද්ධිමතාගේම අදහසකි. වෛද්‍ය හා ඉංජිනේරු විෂයන් සඳහා උසස් අධ්‍යාපන ආයතන දෙකක් පිහිටුවා අනෙකුත් විශ්වවිද්‍යාල වසා දැමිය යුතුයැයි ද ඔහු යෝජනා කරයි. මේ මතය නිවැරදි බව පෙනී යන්නේ සරසවි සිසුන් කරන රස්තියාදු වැඩ දෙස බල විටය...”
මේ 2014/05/09 වන දින දිනමිණ පුවත් පතේ කතුවැකියේ ආරම්භක සටහනයි. මෙහි රස්තියාදුකාරයෝ මැරයෝ යන වචන භාවිතා කර ඇත්තේ කුමන පදනමකින්ද යන්න පැහැදිලි කරගත යුතු කාරණයකි. ඇතැම් විට රස්තියාදු කාර මැරයන් වීම උපාධියක් හිමිව තිබියදී රුපියල් 100000 පඩියට බීජ ඇට ගණන් කිරීමට උපාධිධාරීන් බඳවා ගන්නට හේතුවක් වන්නට ද ඇත.
වර්තමාන අධ්‍යාපන ක්ෂේත්‍රය සැලකීමේදී ඉහත ප්‍රකාශය පුදුමයට කාරණයක් නොව, සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයන් වල හෝටල් කළමනාකරණය, සංචාරක කර්මාන්තය ගැන පාඨමාලා පැවැත්වෙද්දී, එකඳු මහාචාර්යවරයෙකු හෝ නොමැති පීඨ පවතිද්දී, මානව ශාස්ත්‍ර විෂයන් සීග්‍රයෙන් කප්පාදු කෙරෙමින් පවතින පසුබිමකදී , සංවාද, සම්මන්ත්‍රණ විශ්වවිද්‍යාල තුල තහනම් වද්දී, ඇගයීම් ලෙස කවි බණ වැඩසටහන්, අවුරුදු උත්සව කරන්නට සිසුන්ට බල කෙරෙද්දී, දේශන ශාලා, විද්‍යාගාර පහසුකම් ප්‍රමාණවත්  නොවීම නිසා ඇතැම් විශේෂවේදී උපාධි පාඨමාලා ක්‍රියාත්මක නොවෙද්දී, සවස 6 වන විට වසා දැමෙන පුස්තකාල, පීඨ ගොඩනැගිලි තිබියදී, සාර්ථක කළා උළෙලකින් පසු පන්ති තහනම් ලැබෙද්දී, විචාරශීලී, සංවාදශීලී වීම වරදක් කොට ශිෂ්‍යභාවය අහෝසි කෙරෙද්දී, දේශපාලනය විද්‍යාව, දර්ශනය පාඨමාලා ක්‍රියාත්මක වෙද්දී දේශපාලන කිරීම විශ්වවිද්‍යාල තුල තහනම් වද්දී, පරිඝනක විද්‍යාගාර තුල ලෝකයෙන් වඳ වී යන මෘදුකාංග සමඟ ඔට්ටු වන්නට සිදු වද්දී, මහපොළ මුදල ගෙදරට යවා වැඩබිමක වැඩ කර ජීවත්වන්නට මුදල් සොයා වෙහෙසවී දේශන වල 80% පැමිණීම සටහන් කරගැනීමට උදේ 8 සිට රෑ අට වනතුරු පවතින දේශන වලදී නිදා වැටෙද්දී, විශ්වවිද්‍යාල වලින් තමන් හදාරන විෂයන් වල ප්‍රාඥයකු බිහි කරගැනීමක් ගැන සිතන්නටවත් නොහැකි වීම අරුමයක් නොවේ.
දිනමිණ කතුවරයාට අනුව නම් පසුගිය 7 වනදා සරසවි සිසුන් දහස් ගණනක් පාරට බැස්සේ ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමටය, ඒ ලෝක තරුණ සමුළුවක් මෙරට පැවැත්වෙද්දී උද්ඝෝෂන පැවැත්වීමෙන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. ජනාධිපතිවරයාගේ පවුලේ නාලිකාවේ විමසුමට අනුව සිසුන් පාරට බැස්සේ නේවාසිකාගාර ප්‍රශ්නයක් මුල් කරගෙනය. එවන් සුළු සුළු ගැටළු විසඳන්නට මහා රජාට වෙලා  නැත, වැඩ රාජකාරි අධිකය.
ස්වාධීන රුපවාහිනී ප්‍රවෘත්ති නරඹන අයටත් දිනමිණ කියවන අයටත් සිතා බලන්නට යමක් ඇත. 07 වනදා සිසුන් පාරට බැස්සේ නේවාසිකාගාර ගැටළු මුල් කරගෙන නොවේ. සම සෞඛ්‍ය උපාධිය ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව කප්පාදු කර ඇත. අධ්‍යාපන අයිතිය දිනා ගැනීමට සටන් කල රජරට සිසුන් 27 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇත. එකී ගැටළු දෙකට නිශ්චිත පිළිතුරු ලැබෙන තුරු සිසුන් සිටියේ අඛණ්ඩ සත්‍යග්‍රහ වලය. සත්‍යග්‍රහ ආරම්භ කරන්නට පෙර මෙම ගැටළු විසඳා ගැනීමට කොතෙක් සාකච්ඡා කලේද යන්න පිලිබඳ විමසුම ලියන මහින්ද දන්නේ නැත. පීඨ මණ්ඩල වලදී සාකච්ඡා කළහ, අදටත් ආචාර්ය ලිපි බෙදන්නේ කරන්නේ කුමක්ද යන්න පැහැදිලි කිරීමටය. බැරිම තැන පෝස්ටරයෙන් පටන් ගෙන උද්ඝෝෂණ, දැනුවත් කිරීම්, පාගමන් යන්නට සිසුන්ට සිදු වුයේ පාලකයන් තවදුරටත් බයිලා ගසමින් සිටි නිසාවෙනි. එදා කියවන මහින්දගේ ගේ ඉස්සරහටම ගියේ ප්‍රශ්නය නොදන්නවායැයි ඔහු කියන බව හොදින් දැනගෙනය. සාකච්ඡා ඉල්ලීමට නම් සිසුන් එහි නොගිය වග අනිවාර්යයෙන්ම කිව යුතුය. ප්‍රශ්නය ලියා ලේකම්වරයෙකුට දෙන්නැයි කිමෙන් අප අදහස් කල දෙය පැහැදිලි විය. නමුත් මීට පෙර විශ්වවිද්‍යාල වල විසඳිය යුතු ගැටළු කිහිපයක් පිලිබඳ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ජනාධිපතිවරයාට ලිපියක් මඟින් දැනුම් දී තිබිණ. නමුත් සිසුන් මහ පාරේ බව ඔහු දන්නේ නැත. කවුරුත් ඔහුට කියා නැත. ඒ නිසා වසර 4 ක පාඨමාලාවක් ලෙස ආරම්භ වූ සම සෞඛ්‍ය උපාධිය වසර තුනක් කලේ කවුදැයි ඔහු දන්නේ නැත, රජරට. ජ’පුර, සබරගමුව, සිසුන් සිය ගණනකගේ උපාධිය අසාධාරණ ලෙස අහිමි කර ඇති බව ඔහු දන්නේ නැත.
ලියන මහින්ද ද මේවා දන්නේ නැත. ලසන්ත වික්‍රමතුංග මරා දැමු බව මේ ලියන මහින්ද දන්නේ නැත. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්ව ඇති බව ලියන,කියවන මහින්දලා දන්නේ නැත. පුවත්පත්,මාධ්‍ය ආයතන, වෙබ් අඩවි වලට නිකරුනේ පැනවෙන වාරණ ගැන ලියන මහින්දට කමක් නැත මන්ද ලියන මහින්දගේ පෑන අරලියගහ මැදුරේ පිළිකන්නේ තිබෙන තුරු  කියවන මහින්ද එය උදුරා ගන්නේ නැත. අරලියගහ මැදුරේ ගඳ ගහන පිළිකන්න ගැන සුවඳවත්ව ලියන්ට පමණක් ලියන මහින්ද හොඳ හැටි දනී. මහින්ද අබේසුන්දර  නම් ලියන මහින්ද පෑන මෙහෙයවන්නේ කියවන මහින්ද නොහොත් මහින්ද රාජපක්ෂ වෙනුවෙනි. මහින්ද වෙනුවෙන් මහින්ද දිනමිණේ, විමසුමේ කිසිඳු තාර්කික පදනමකින් තොරව ලියාගෙන ලියාගෙන යාම දැන් පුරුද්දට ගොස් ඇත. කියවන මහින්දගේ ප්‍රතිපත්ති මාරු වද්දී ලියන මහින්දගේද ප්‍රතිපත්ති මාරු වෙයි. මහින්ද චින්තනය ගැන වර්ණනා කරන ලියන මහින්දට එය පට්ටපල් බොරුවක් බව දැන දැනම කියවන මහින්ද වෙනුවෙන් ලියන්නට සිදු වීම ලියුම්කරුවෙකුට මුහුණ දීමට සිදු වන ඛේදනීයම දෙයක් නොවන්නේද?
දින 150 ක කාලයක් සිසුන් මහ පාරේ සිටින බව නොදත් රාජ්‍ය නායකයාට ඔහුගේ ගේ ඉස්සරහදීම ප්‍රශ්නය හොඳ හැටි පැහැදිලි කර දුන්නෙමු. එහිදී සාකච්ඡා ලබා දෙන්නේ යැයි කී විට සැඟවුනේ සිසුන් ද නැති නම් සාටකයෙන් හෙළුව වසා ගෙන කාමරයට රිංගුවේ කවුද යන්න අරලියගහ මන්දිරයේ පිළිකන්නේ සිටි ලියන මහින්ද දකින්නට ඇත. ඒ නිසා දඩ බඩ කියවන මහින්දගේ නිරුවත වහන්නට පෑනෙන් තිර රෙදි අදින්නට ලියන මහින්ද පටන් ගත්තද ඒවා දුහුල් වැඩිය, නිරුවත් පෙනී හමාරය.
“කිසිම ජගතෙකුට නීතියට පිටින් යාමට බැරිය ” ඒ ලියන මහින්දගේ අදහසයි. පසුගිය කාල වකවානුව පුරාම ශිෂ්‍ය ක්‍රියාමාර්ග වෙනුවෙන් ලබා ගත එකඳු අධිකරණ නියෝගයකදී හෝ ශිෂ්‍ය පාර්ශවයේ කරුණු විමසා සිටියේ නැත. රාජ්‍ය සේවය තහනම් කර අධිකරණ තීන්දු තිබියදී ඇතැමුන් රාජ්‍ය ආයතන වැඩ කරති,ඒ කියවන මහින්ද ලියන මහින්ද කියන ජගතාට වඩා ජගතෙකු නිසාවෙන් බව කියවන මහින්ද සිතා සිටින නිසාය. එහෙව් නිතීයට පිටින් යාම ලියන මහින්දට අවුල්ය. නමුත් අපට අවුල් නැත. දඩබ්බර කමට, වයසේ වැරද්දට විශ්වවිද්‍යාල සිසුන් පාරට බැස්සේ නැත.
ජාතිවාදය වැපිරීම දේශප්‍රේමය නම් ඔව් අපි දේශද්‍රෝහීන්ය.
මනුස්සකම වෙනුවෙන් පෙනී සිටීම ත්‍රස්තවාදය නම් ඔව් අපි ත්‍රස්තවාදීන්ය.
මිනිස් අයිතීන් උදෙසා සටන් වැදීම රස්තියදුකාරකම නම් ඔව් අපි රස්තියදුකාරයින්ය.
අසාධාරණයට අභියෝග කිරීම මැරකම නම් ඔව් අපි මැරයෝ ය.
ලියන මහින්දට සහ ඔහුට හමු වූ කිර්තිමත් බුද්ධිමතාට යමක් කිව යුතුය,
අරලියගහ මැදුරේ පිළිකන්නේ සිටින ගමන් කියවන්නට පොතක් ගැන අදහසක් කියන්නෙමු,
කලාව කුමටද, විලංගු ලු අකුරු, අධ්‍යාපනයේ වත්මන් අර්බුදය කුමක්ද? , අධ්‍යාපනය විකිණීමට තිබේ.
ශිෂ්‍ය ව්‍යපාරයේ ඉතිහාසයද යලි අධ්‍යයනය කිරීම වටින්නේය.
ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ යනු මෙරට සිටි මාධ්‍යවේදීන් දේපලක් බවද යලි යලි සිහි තබා ගැනීමද හොඳය.
සැමට පෙර, කියවන මහින්ද වෙනුවෙන් ලියවාට පඩි ගෙවන්නට මුදල් වෙන් කරන්නේ සාටක අස්සේ සගවගන්නා ඒවගෙන් නොව මේ රටේ අහිංසක දුප්පත් මිනිසුන් ගෙවන බදු මුදලින් බව මතක් කර ගැනීම භෝ දුරට වැදගත් වනු ඇත. මන්ද “මුන්ට පඩි ගෙවන්නද අපි බදු ගෙවන්නේ යැයි” ජනතාව අසනු ඔබට අසන්නට වන දිනය වැඩි ඈතක නොවන නිසාවෙනි.

Share this article :

0 comments:

Post a Comment