Home » » බොත්තම් ඇන්දවීම හා ගැලවීම

බොත්තම් ඇන්දවීම හා ගැලවීම

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Wednesday, April 9, 2014 | 9:01 PM

මේ වන විට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාලයක් ද යන්න පිලිබඳ ඇත්තේ යම් ගැටළුකාරී තත්වයකි. මෙය අපට පමණක් ඇති ගැටළුවක් නොව, පසුගිය දිනෙක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමඟ පැවතී සාකච්ඡාවේදී ඇතැම් ආචාර්යවරුන්ට ගැටළුවක් වුයේ රජරට විශ්වවිද්‍යාලය පාසලක් ලෙස පවත්වාගෙන යාමට ඇතැමුන් ගන්නා උත්සාහය පිලිබඳවය.

කමිසයේ උඩ බොත්තම ගලවාගෙන විභාග ශාලාවට ඇතුළු වීමෙන් සිසුවෙක් හා විභාග පරීක්ෂකවරයෙකු අතර ඇතිවූ අර්බුදයක් සම්බන්ධයෙන් හා එහිදී අසාධාරණයට එරෙහිව හඬ නැඟූ සිසුවියකට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්විණ.

 සිද්ධිය සිදු වූ දිනවලදී මෙම blog අඩවියේ "හෙළුවෙන් " යන මැයෙන් පල වූ ලිපියෙහි අප ඇඳුම් යන සංකල්පය මේ සමාජයේ ස්ථාපිත වූ ආකාරය විස්තර කර දීමට උත්සාහ කළෙමු. නමුත් උගත් බුද්ධිමත් යැයි සිතා සිටින පරිපාලන නිලධාරීන්ට හෝ ආචාර්යවරුන් යැයි සිතා සිස්ටිමින් එම නාමයට පවා නිගරු කරන ඇතැමුන්ට මෙය තවමත් තේරුම් ගත නොහැකි වීම එක්තරා ආකාරයකට පුදුම වීමට කාරණයක් නොවේ.

මිහින්තලේ වැනි අධික රස්නය පවතින ප්‍රදේශ වලදී ඇඳුම සකස් විය යුත්තේ එකී දේශගුණික සාධක වලින්, එම ප්‍රදේශවල ජීවත්වන මිනිසාට අපහසුවක් නොවන පරිදි නොවේද? කොහේ හෝ වාඩි වී සිටියත් දහදිය වැක්කෙරෙනා පරිසරයක පවා ටයි කෝට් ඇඳ සපත්තු පැළඳ සිටින්නන්ට තමන් මහත්වරුන් ලෙස ප්‍රදර්ශනය කිරීමක් ලෙස සිතා ඒවා අඳිනවා විය යුතුය. නමුත් විශ්වවිද්‍යාලය තුල කරන තරමක් නින්දිත වැඩ කරන්නේ නිල රථවල එහා මෙහා යන ටයි කෝට් සපත්තු දා ගත මිනිසුන්ය.
කොට සයක් ඇන්ද පමණින් ඇය විසේකරියක ලෙසත්, කොට කලිසමක් ඇඳ පාරේ ගිය පමණින් ඔහු කුඩුකාරයෙකු ලෙසත් හංවඩු ගසන සමාජ ක්‍රමය හිස් මුදුනින් පිළිගන්නා ඇතැමුන්ට බොත්තමක් ගලවාගෙන සිටීම සිත දුෂ්‍ය වන තරමේ අශිලාචාර කමකි. 
ඇඟ වැසෙන්නට ඇඳුම් ඇඳ සිටියද කරන්නේ තිරිසන් වැඩනම් ඇඳුමෙන් පලක් නැත. ක්‍රියාවෙන් ඔවුන් නිරුවත් වී හමාරය. 
පිටරට සවාරී ගිය ඇතැමුන්ගේ සිහිනය විශ්වවිද්‍යාලය පල්ලි, පන්සල් සේ තිබෙනු දැකීමය. කාටදෝ පිං පිණිස විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට ඉදි වූ බුදු පිළිමයා දෙස ජනේල කවුළු තුලුන් බලමින් ඔවුන් ඒ සිහිනය බලනවා විය යුතුය. 
බුදු පිළිම, දේව ප්‍රතිමා තබන්නට තැන ඇත.විශ්වවිද්‍යාලය වටේට ඇත්තේ පන්සල්ය, ඒවායේ බුදුපිලිමද අඩුවක් නැත. නමුත් විශ්වවිද්‍යාලයට තිබු ප්‍රශ්නය බුදු පිළිමයක් නැතිකම හෝ සිසුන් කමිස වල බොත්තම් ගලවාගෙන පැමිණීම නොව. මාස ගණනක් තිස්සේ ආපනශාලා වසා දමා ඇත. දේශනා ශාලා, ආචාර්යවරු නැත, බොන්නට පිරිසිදු ජලය නැත. නමුත් ප්‍රශ්නය උද බොත්තමක් නොදමා විභාග ලියන්නට පැමිණීමය.
විශ්වවිද්‍යාලයේ ඇඳුම සම්බන්ධව පවතින මතවාද සම්බන්ධයෙන් අපට පැහැදිලි විවෙචනයක්ද තිබේ. 
නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා විචාරශීලී, සංවාද ශීලී  නොවන බවට අපට චෝදනා ගෙන එන ආචාර්යවරුන්, පරිපාලන නිලධාරීන් පවා සිසුන්ගේ ඇඳුම් පිලිබඳ දක්වන පාසල් මානසිකත්වයේ ක්‍රියාකාරකම් පිලිබඳ අපට ඇත්තේ හාස්‍ය උපදවන සිතිවිල්ලකි. 

ගරු කලයුත්තන්ට ගරු කිරීමට අප දෙවරක් සිතන්නෙන් නැත,මනුෂ්‍යත්වය තිබේ නම් ඔහු හෝ ඇය ආචාර්යවරයෙකු,අචාර්යවරියක,හිගන්නෙකු,කසල සෝදකයෙකු,ගණිකාවකවුව අප ගරු කරන්නෙමු.නමුත් ටයි කෝට් සුට් බුට් වලට අපගේ ගරු කිරීමක් නැත. ඒවා ඇඳගෙන නින්දිත වඩා කරන්නේ නම් රටේ නායකයා වුව අප ගරු කරන්නේ නැත.

මේ රස්නය අධික දින වලදී ටයි පටිය මදක් බුරුල් කොට කමිසයේ උඩ බොත්තම ගලවා සැහැල්ලුවෙන් මේ ගැන කල්පනා කරන්නැයි අප ඔබට ආරාධනා කරන්නෙමු!
 
Share this article :

0 comments:

Post a Comment