Home » » සත්‍යග්‍රහයට දින 140යි. රූකඩ පාලකයන් තවමත් නින්දේ.

සත්‍යග්‍රහයට දින 140යි. රූකඩ පාලකයන් තවමත් නින්දේ.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Monday, April 28, 2014 | 3:17 PM



රජරට විශ්වවිද්‍යාලයීය පරිපාලනය මඟින් ලබා දී ඇති අසාධාරණ පන්ති තහනම් 27 ක් ඉවත් කරගැනීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයීය සිසු සිසුවියන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට අප්‍රේල් මස 28 වන දිනට දින 140 කි.
අවුරුදු නිවාඩු සමයේ ද අඛණ්ඩව සත්‍යග්‍රහය ක්‍රියාත්මක කිරීමට සිසු සිසුවියන්ට සිදු වුයේ පාලකයන් අදාළ කිසිඳු ගැටලුවකට විසඳුම් දීම සඳහා උත්සහයක් හෝ  නොගෙන තිබෙන නිසාවෙනි. පන්ති තහනම් 27 ටම අදාලව අභියාචනා භාරා දීමට කටයුතු කලේ මීට මාස 7 කට පෙරය. නමුත් මාස 7 ක කාලයක් ගතවන තුරු අභියාචනා  මණ්ඩලය පත් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු නොකළ අතර අභියාචනා මණ්ඩලය පත් කල බවත් ඊට සිසුන් සහභාගී නොවූ බවත් විශ්වවිද්‍යාල පරිපාලනය සම්පුර්ණ අසත්‍ය ප්‍රකාශයක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණ. නමුත් නීතියද ඒ වෙනුවෙන් අදටද නිහඬය.
ඒ අනුව ප්‍රථම වතාවට අභියාචනා මණ්ඩලය රැස් වුයේ 2014/03/27 වනදාය. මෙම අභියාචනා මණ්ඩලයෙය් තීරණය මේ වන විටත් පාලක සභාව වෙත යොමු කිරීමට කටයුතු කර තිබුනේ අවුරුදු නිවාඩුවට විශ්වවිද්‍යාලය වසා දැමීමට පෙරය. අවුරුදු නිවාඩුවට පෙර විශ්වවිද්‍යාලයේ පාලක සභාව රැස් වුවද පන්ති තහනම් වලට අදාළ අභියාචනා සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් සිසුන් වෙත දැනුම් දීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු නොකළේ සිසුන්ගෙන් පළිගැනීමේ වුවමනා වෙන්මය.
දින 140 ක කාලයක් ගතවන මොහොත වන විටත් විශ්වවිද්‍යාල පරිපාලනයට,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හෝ ආණ්ඩුවේ බලධාරීන්ට අදාළ ගැටළු වෙනුවෙන් විසඳුම් ලබා දීමේ කිසිඳු වුවමනාවක් නැත.

රජරට විශ්වවිද්‍යාල තුල, කළමනාකරණ උපාධිය බාහිර උපාධි පාඨමාලාවක් ලෙස රුපියල් 140000 ක මුදලකට විකිණීමට එරෙහි වීම මෙම පන්ති තහනම් 27 ලබා දීමට මුලික හේතුවක් විය. නමුත් අද වන විට මෙසේ අධ්‍යාපනය විකිණීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද විරෝධය පල කර ඇති නමුත් තවදුරටත් එම උපාධිය විකිණීමේ කටයුත්ත සිදු කෙරෙමින් පවතී.
මේ සියලු කාරණා මුලික කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයීය සිසු සිසුවියන් සංවිධානය කල උද්ඝෝෂණයක් අද (28) දහවල් පැවැත්විණ. විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටට සටන් පාඨ කියමින් පැමිණ, විශ්වවිද්‍යාලය ඉදිරිපිටට පැමිණි විරෝධතා කරුවන් එහිදී පැයක පමණ කාලයක් විරෝධතාවේ නිරත වුයේ අසාධාරණ පන්ති තහනම් 27 ඉවත් කිරීම ඇතුළු රජරට විශ්වවිද්‍යාලයේ සියලු අර්බුද වලට විසඳුම් ලබා දෙන ලෙස පරිපාලනයට බල කරමිනි.
Share this article :

0 comments:

Post a Comment