Home » » උපකුලපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය තරයේ හෙලා දකිමු!

උපකුලපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය තරයේ හෙලා දකිමු!

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Wednesday, April 30, 2014 | 2:20 PM



සෑම වසරකම මැයි මස පළමුවන දින ලොව පුරා සැමරෙන ජාත්‍යන්තර කම්කරු දිනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල තුල සම්මන්ත්‍රණ මාලාවක් දියත් කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය තීරණය කර තිබුනේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේද සහය ඇතිවය.
ඒ අනුව රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මෙම සම්මන්ත්‍රණය මැයි මස 05 වනදා විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීමට තීරණය කර තිබිණ. ඒ සඳහා සහභාගී වීමට නියමිතව සිටියේ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයායි. මේ සඳහා නීත්‍යානුකූල ලෙස විශ්වවිද්‍යාලය තුල ලියාපදිංචි ශිෂ්‍ය සංගමයක් ලෙස උපකුලපතිවරයාගේ අවසර ගැනීමට ගිය අවස්ථාවේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ශිෂ්‍ය නියෝජිත සහෝදරවරුන්ට සිදු වුයේ උපකුලපතිවරයාගේ නින්දිත වාග් ප්‍රහාරයන්ට ලක් වන්නටය.
අවසර ගැනීම සඳහා යොමු කල ඉල්ලුම් පත පවා කිසිඳු සාධාරණ හේතුවකින් තොරව ඉරා කුණු කුඩයට විසි කර දැමීමට තරම් උපකුලපතිවරයා සිටියේ තරහින් පුපුරමිනි.
අදාළ සම්මන්ත්‍රණය සහ සම්මන්ත්‍රණයට සහභාගී වන පිරිස පිලිබඳ දැනගත් වහාම දැඩි කෝපයට පත් උපකුලපතිවරයා ඉතා පහත් ආකාරයට ශිෂ්‍ය නියෝජිත සහෝදරවරුන්ට ආමන්ත්‍රණය කරමින් සම්මන්ත්‍රණයට සහභාගී වන ආචාර්යරුන්ටද ඉතා පහත් ආකාරයකින් බැන වැදී ඇත්තේ රජරට සත්‍යග්‍රහයට ඔවුන්ද සහය දක්වන බවට දෝශාරෝපනය කරමිනි. එසේම මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයාට හා ශිෂ්‍ය නියෝජිත සහෝදරවරුන්ට තර්ජනය කරමින් ඔහු පවසා ඇත්තේ “තමුසෙලා දෙන්නා ගැන මම දන්නවා ,තමුසෙලා ගැන මම බලාගන්නම් ” යනුවෙනි. මෙය කිසි සේත්ම විශ්වවිද්‍යාලයක  උපකුලපතිවරයෙකුට ගැලපෙන හැසීරීමක් නොවන බව අපගේ හැඟීමයි. “තොපි මෙතනින්  පලයව්”  යනුවෙන් අවසානයේ තම රාජකාරී ලිපි ගොනුවෙන් පහර දීමට පවා උත්සාහ කරණ ලදී.

වැඩසටහනට අවසර නොදීම සඳහා උපකුලපතිවරයාට පැහැදිලි තර්කාන්විත අදහසක් තිබුණේ නම් අපට ඊට එකඟ විය හැකි නම් කිසිඳු ගැටළුවක් නැත. නමුත් වයස අවුරුදු 18 කට වැඩි වන විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මැයි දිනය ගැන සම්මන්ත්‍රණ කරන්නේ ඇයි දැයි ඇසීම විහිළුවක් නොවන්නේද? ඔහු කිසි දිනක ජනපති පුත් හෝ මැති ඇමතිවරයෙකුගේ පුත්‍රයකු දේශපාලනය කරන්නේ ඇයි දැයි අසන්නේ නැත. ආණ්ඩුවේ දේශපාලන වුවමනා මත විශ්වවිද්‍යාල තුල විවිධ උත්සව සංවිධානය කර ඊට සිසුන් සහභාගී නොවී සිටින විට පන්ති තහනම් ලබා දෙන මෙවන් රූකඩ පාලකයන් විශ්වවිද්‍යාල වලට ඇතුලත් කර ඇත්තෙම කිසිඳු අධ්‍යාපන සුදුසු කමකට හෝ පරිපාලන හැකියාවකට නොව. ආණ්ඩුවට අවනත වෙමින් එහි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව උපකුලපතිවරයෙකු වීමේ එකම සුදුසු කම වී ඇත.
එම නිසා රජරට උපකුලපතිවරයා ශිෂ්‍ය නියෝජිතයින්ට හා ආචාර්යවරුන්ට පහත් ලෙස බැන වැදීම සහ සිසු නියෝජිතයන්ට පහර දීමට උත්සහ කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා  දකින අතර ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමටද සුදානමින් සිටිමු.


Share this article :

0 comments:

Post a Comment