Home » » ආඩම්බරයි ආචාර්යවරුනි!!!

ආඩම්බරයි ආචාර්යවරුනි!!!

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Saturday, February 1, 2014 | 11:47 PM

“රජරට ආචාර්යවරුත් සිසුනට එරෙහිව සටනට ” යන මැයෙන් 2014 ජනවාරි 31 වන දින ලංකාදීප පුවත්පතේ පල වූ ප්‍රවෘත්තිය දුටු විට අපට නම් ඇති වුයේ කණගාටුවක් සහ අනුකම්පාවකි.


පළමු කොටම එම එම පුවතේ සඳහන් කරුණු දෙස අවදානය යොමු කරන්නෙමු!
මුලින්ම එහි සඳහන කොටඇත්තේ සිසු ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු අන්තර්ජාලය හරහා ආචාර්යවරුන්ට මඩ ගැසීම හේතු කොට ගෙන , මේ වන විට පනවා ඇති පන්ති තහනම් 27 ට අදාළ අහියාචනා සැලකිල්ලට ගැනීමට පත් කල අහියාචනා මණ්ඩලය වර්ජනය කිරීමට ආචාර්යවරුන් තීරණ කර ඇති බවයි.

ඇඳුරුතුමනි/තුමියනි,
මෙම අරගලය තුල ආචාර්යවරුන් සතුරන් සේ සැලකු සටනක් අපට නම් තිබුනේ නැත. ඒ නිසා ඔබ අපට එරෙහිව ඔබ සටනට පිවිසීම විමතියට කාරණාවකි. අප සටන් කල යුතු අපගේ සතුරා  කවුරුන්ද යන්න හොඳාකාරවම හඳුනාගෙන සිටින්නෙමු, නමුත් මුල් අවස්ථාවේ සිටම ඔබ එය පටලාවාගෙන ඇත. අපේ සතුරා ඔබේද සතුරා බව වටහා නොගෙන  ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව අද සතුරාගේ පැත්තේ සිටගෙන සිටී.

උපකුලපතිවරයා  ප්‍රමුඛ විශ්වවිද්‍යාල පරිපාලනයේ අසාධාරණ ක්‍රියාකලාපයට එරෙහිව අප නැගී සිටි පළමු මොහොතේ සිටම අප ඔබෙන් ආචාර්ය ලිපි මඟින් සහය ඉල්ලා සිටියෙමු. එම ලිපි අද දවසේදී යලි ඔබ අතට ගෙන කියවා බලන ලෙස ඉල්ලා සිටිමු. පුවත්පත්වල පළමු අපගේ අරගලය පිලිබඳ ලිපි අපගේ facebook පිටුව හරහා කියවා බැලිය හැක. ඒ එකඳු ලිපියක හෝ ආචාර්යවරුන්ට මඩ ගසන හා ආචාර්යවරුන්ට එරෙහි සිසු සටනක් පිලිබඳ සටහන් වී ඇත්නම් අපට පෙන්වා දෙන ලෙසද අප ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු! එවන් වරදක් අප අතින් සිදු වී ඇත්නම් එය පිළිගෙන සමව අයැදීමට අප දෙපාරක් සිතන්නේද නැත.
මෙම පන්ති තහනම් 27 ලබා දුන් මුල් කාල වකවානුවේදී ඇතැම් ආචාර්යවරු මෙය අසාධාරණ බව ප්‍රසිද්ධියේ කීමට මැලි වුවද පිළිගත් කාරණයකි. නමුත් අද වනවිට කවුරුන් හෝ කෙනෙකු සිය පීඩනය පිට කිරීමට යොදා ගන්න අන්තර්ජාල පිටුවක් නිසා ඔබ අපට එරෙහි සටනකට පිවිස ඇති බව ප්‍රසිද්ධියේ කියා සිටී.

මේ පන්ති තහනම් ලබා දීම පිටුපස ඇත්තේ අධ්‍යාපනය විකිණීමට එරෙහි වීමයි. එසේ නම් මෙය එසේ කරන්නැයි අන දුන් ජනාධිපතිවරයා මේ අසාධාරණයට වගකිවයුතු නොවේද? එසේ දුන් අණ පිළිපැද උපකුලපතිවරයාට අණ දුන් SB මේ අසාධාරණයට වගකිවයුතු නොවේද? අවසානයේ එකී අණ මත, අප මතත් වරෙක ඔබ මතත් පීඩනය  මුදා හල උපකුලපතිවරයා මීට වගකිවයුතු නොවේද?
ඔබට අනුව අද වරදකරුවා “රජරට උකුස්සාය ”  
එසේ අප සියල්ල එක්වී උකුස්සට විරුද්ධව සටන් කලයුතුද?
නමුත්,
ගමයි සරසවියයි ගෙනාවේ උකුස්සාද?
පන්ති තහනම් ලබා දුන්නේ උකුස්සාද?
අධ්‍යාපනය විකිණීමට කටයුතු කරන්නේ උකුස්සාද?
අපට පිරිසිදු ජලය, නේවාසිකාගාර, දේශන ශාලා ආචාර්යවරු අදින් පසු අප ඉල්ලිය යුත්තේ උකුස්සාගෙනද?
දේශපාලන මැදිහත්වීම් කරන්නේ උකුස්සාද?

විශ්වවිද්‍යාලය තුල මෙම අර්බුද පැන නගින්නට පෙර රජරට උකුස්සෙකු අන්තර්ජාලයේ සිටියේ නැත. මේ උකුස්සා ගැනද, මඩ ගැසීම ගැනද අපට කීමට යමක් ඇත. මේ කිසිවක් අප අනුමත කරන සටන් ක්‍රමයන් නොවේ. නමුත් කෙනෙකු උකුස්සෙකු නිර්මාණය කරන තත්ත්වයට පත්වුයේ ඇයිද යන්න සොයා බැලීම මේ සියලු දේට වඩා වටින්නේය යන්න අපගේ අදහසයි. උකුස්ස විටෙක අපවද විවේචනය කර තිබෙනු ඇතැම් විට ඔබ නොදකින්නට ඇත.

අකමැත්තෙන් වුව මේවා මතක් කළයුතුව ඇත.
පසුගිය වසරේ ආචාර්ය අරගලය සමයේදී මාස තුනක කාලයක් විශ්වවිද්‍යාල වසා දමා තිබියදීත් සිසුන් ඔබේ අරගලටය සහය දැක්වීය. නමුත් එසේ කිරීම නිෂ්පල බව ඇතැමුන් කී බව ඔබ නොදන්නවා ඇත. නමුත් අප සටන් කලයුත්තේ කා සමඟද කාට විරුද්ධවද යන්න හොඳාකාරවම තෝරාබේරා ගෙන සටන් මඟට පිවිසි නිසා මහනුවර සිට කොළඹට පාගනමක් සංවිධානය කිරීමට අපට හැකි විය. ජනක - සිසිත ආදරණීය සහෝදරවරු දෙදෙනා මරා දමුනේද එම ගමනේදීය.
එදා රජරට විශ්වවිද්‍යාලයේ අචාර්ය සංගමයේ සභාපතිවරයා මොවුන්ගේ සමරු උත්සවයට පවා පැමිණියේය. අද ඔහු කලමනාකර අධ්‍යයන පීඨයේ පීඨාධිපතිය. අපට ඇති ගැටලුව නම් ,
විශ්වවිද්‍යාලය තුලම අධ්‍යාපනය විකිණීමට කටයුතු කරද්දී රජරට ආචාර්ය සංගමයට කුමක් වීද ?
කලක් එක්ව සටන කල සිසුන්ට අසාධාරණයක් සිදුවද්දී  රජරට ආචාර්ය සංගමයට කුමක් වීද ?
සහෝදර ආචාර්යවරියක් අසාධාරණ ලෙස විශ්වවිද්‍යාලයෙන් නෙරපද්දී රජරට ආචාර්ය සංගමයට කුමක් වීද ?

අද දවසේදී ඔබ විශ්වවිද්‍යාලය තුල කලයුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීමට ඔබට අයිතියක් නැත. අඩුම ගන්නේ ඔබ ගැන තීරණ ගන්නේ පීඨාධිපතිවරයා හෝ උපකුලපතිවරයා හෝ නොවේ. එක දුරකථන ඇමතුමකින් මේවා කරන්නේ කුණු රසට ගිජු වූ කබරයන්ය. වැරදීමකින් කළු ඇදුමින් පැමිණි ආචාර්යවරියක විශ්වවිද්‍යාලයෙන් නෙරපන්නෙත්, විභාග දින තීරණය කිරීමේ නිදහස ඔබේ උදුරා ගන්නෙත් එකී කබරයන්ගේ මැදිහත් වීවෙනි. ඊට එරෙහි  සටනකට ඔබ ඒකරාශී නොවීම පුදුම සහගතය. එක්කෝ ඒ තරමට මර්දනය දැඩි වී ඇත.
ඇඳුරුතුමනි/තුමියනි,
අසාධාරණ පාලකයනට එරෙහි ව අප කළු සතියක් ප්‍රකාශයට පත් කල මොහොතේ ඔබ අපට විරුද්ධ විය. නමුත් අප ඔබට ඉතා පැහැදිලිව කියා සිටියේ එය කිසිඳු අකාරයකින් ආචාර්යවරුන්ට විරුද්ධ වීමක් ,විරෝධය පෑමක නොවන් බවයි. නමුත් එම සතිය පුරා කෘෂිකර්ම පීඨයේ දේශන පැවැත්වීම ආචාර්යවරුන් ප්‍රතික්ෂේප කළහ. ඒ මොහොතේ එය මාධ්‍යට හොඳ ප්‍රවෘත්තියක් වුවද අප එයට ප්‍රචාරයක් ලබා දීමට කටයුතු නොකලේ ඔබ අපේ සතුරු බලවේගය නොව බව හොඳාකාරවම තේරුම් ගෙන අදටද කටයුතු කරන නිසාවෙනි. තත්ත්වය එසේ තිබියදී ඔබ අද ප්‍රසිද්ධියේම අපට විරුද්ධව සිට ගෙන ඇත.
මේ මොහොතේ වුව අපට ඔබට කීමට ඇත්තේ ඔබ අපගේ සතුරු බලවේගය නොවන බවයි.
ඇතැම් විට මෙයද උපකුලපතිවරයට ඉහලින් ආ නියෝගයක් වන්නට ඇත.
නමුත් දැන් ප්‍රමාද වී ඇත,
අප මෙතෙක් කලක් අපගේ අරගලය ගෙන ගියේ පාලකයන්ට විරුද්ධව බව අප ප්‍රකාශයට පත්කළ සෑම මාධ්‍ය නිවේදනයකම සඳහන් විය. ඉදිරියටද එය එසේ වනු ඇත. නමුත් ඉහත ප්‍රවෘත්තියෙන් ඔබත් අපත් අතර අර්බුදයක් ගැන රටම කතා වනු ඇත. උකුස්සා ගැන සොයනු ඇත. අපගේ අන්තර්ජාල පිටු පීරමින් සොයනු ඇත. එවිට අදට වඩා පිරිසක් මේ පිලිබඳ දැනුවත් වනු ඇත.
ඔබට මඩ ගසා ඇත්තේ අපද? ඔබේම නිලධාරීන්ද යන්න මොහොතක් සිතා බලන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටින්නෙමු!
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති අධ්‍යාපන අර්බුදයට විසදුම් සෙවීමට එකට සාකච්ඡා කරද්දී ඔබ මේස පන්දු මේස ඉවත් කිරීම වෙනුවෙන්, අප පාලකයන්ට සාධාරණ හේතු සහිතව විරුද්ධ වද්දී ඔබ අපට විරුද්ධ වීමද, එක්ව යා යුතු ගමනට අකුල් හෙලීමක් නොවන්නේද? 

උපකුලපතිවරයාටද කීමට යමක් ඇත,
උපකුලපතිතුමනි,
අප ඔබෙන් වතුර බෝතල් ඉල්ලුවේ නැත. එවන ප්‍රයෝගික නොවන ඉල්ලීම් වෙනුවෙන් අරගල,සටන් ගොන්පාට් කරන්නට අප සුදානම් නැත. අප ඉල්ලා සිටින්නේ පිරිසිදු ජලය ය. විශ්වවිද්‍යාලයට ලබා දෙන ජලය පිරිසිදු නම් කාර්යාල වල ජල පෙරන උපකරණ තබා ඇත්තේ අලංකාරයටද?
වසරේ එකතරා කාලයකදී අනිවාර්යයෙන්ම පානීය ජලයේ පනුවන්, මඩ අඩංගු වන්නේ පිරිසිදු කමේ සංඛේතයක් ලෙසද? වකුගඩු අබාධ වලින් විශ්වවිද්‍යාල සිසුන් රෝහල ගත කරනනේ සිසුන් කරන විහිළුවක් නිසාද?
අප ඉල්ලා සිටින්නේ වතුර විකුණන්නන් ෆොසත් කරන ඉල්ලීමක් නොව පිරිසිදු ජලය ලබා ගත හැකි ස්ථීර විසදුමකි.
අනෙක නම් කෑම එකක් රුපියල් 30 ට නොව විශ්වවිද්‍යාල අපනශාලා වල රුපියල් 25 ටද ඇත. ඒවා එම මිල ගණන් යටතේ දිය නොහැකි අබව අප හොඳාකාරව දන්නා කාරණයකි. එයට විසදුමක ලෙස අපානශාලා හිමියන්ට ලබා දෙන සහන ප්‍රමාණය වැඩි කරන්නැයි අප කල ඉල්ලීම් ඉතා අවඥාසහගත ලෙස බැහැර කල හැටි ඔබට මතකද?
කෑම එකක මිල වැඩි කරන්නට අපේ මහපොළ හෝ ශිෂ්‍යාධාර මුදල වසර අටකින් වැඩි වී නැත. ඒ පිළිබඳ ජනාධිපති මැදුරට කැඳවීමක් ලැබුණු මොහොතක පවසන්නේනම් කෑම වෙල කෙසේ වෙතත් තව පිරිසකගේ පන්ති තහනම් වලට අදාළ කොන්ත්‍රාත් මුදල හෝ ලැබෙනු ඇත.
එසේම අපට බලපෑම කරනු ලබන දේශපාලන කණ්ඩායම් මොනවාදැයි සාක්ෂි සහිතව ඔප්පු කරන්නේ නම් ඊට පිළිතුරු දීමට අප සුදානම් බවද මතක් කරනු කැමැත්තෙමු!


අපගේ අරගලය අප සමාජ ගතකර හමාරය.වැඩ කරන ජනතාව, ආගමික නායකයින් අප සමඟය. ඒ එකතුවට බිය වුන්ට රිදුනාට අපට කල හැකි දෙයක් නැත. ඉදිරියේදී ද ඔවුනට රිද්දගන්නට සිදු වනු ඇත....
Share this article :

5 comments:

  1. අචාර්යයවරුන්ට කල අපහසය හෙලා දකිමු !!!

    ReplyDelete
  2. එක් එක් දෙශපලන පක්ශ වල අතකොලු වු අඩ්‍යපනය කඩාකප්පල් කරගත් ලමුන්ගේ අසරනකමට කියපාන උදාහරයක්.... අනේ මොඩ ලමයිනේ campus එකට අමාරුවෙන් අවිල්ලා දෙමව්පියන්ගෙ සල්ලි වලටත් න‍යකාරයෙක් වෙන් නතුව ඉගෙනගෙන අ මිනිස්සුන්ගෙ හින ඉටු කරපල්ලා ඉට පස්සේ ලොකේ වෙනස් කරපල්ලා ... නැත්තම් උබලා ලබා ගත්ත දිනා ගත්ත මොකුත් නැති වෙයි

    ReplyDelete
    Replies
    1. ආචාර්යවරුන්ට අපහාසයක් සිදු වූයේ ද නැද්ද යන්න මෙම ලිපියේ ඉතා පැහැදිළිව සඳහන් කර ඇති බව ඔබට නොපෙනෙන්නේ මන්දැයි නොදනිමි. සරසවි සිසුන් දේශපාලන පක්ෂ වල අතකොලු වී අසරණ වීමට තරම් ඔවුන් නූගතුන් නොවේ. සරසවියට පිවිසෙන්නේ මෝඩ මිනිසුන් නම් අනෙක් සියල්ලන්ම බුද්ධිමතුන් නම් සරසවි සිසුනට කළ යුතු දෙයක් නැත. මන්ද බහුතරය වූ ඔබ වැනි බුද්ධිමතුන් මෙරට සෑම කෙනෙකුටම යහපත් තැනක් බවට මේ වන විට පත් කල හමාර විය යුතුය. ඔබගේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ ඔබ නොදැනිම පාලක පන්තියේ අතකොලුවක් වී ඇති බව කණගා‍ටුවෙන් වුවද ප්‍රකාශ කල යුතුය. දෙමව්පියන්ගේ පමණක් නොව අප සෑම දෙනාගේම හීන මේ වන විටත් උදුරාගෙන හමාරය. ඔබේ හීනද උදුරාගෙනය. සමස්ථයක් වශයෙන් සියල්ල අධ්‍යයනය කර බලන්න. එවිට ඔබට වැටහේවි...

      Delete
  3. රජරට විශ්ව විද්‍යාලය තුල ඈති වී තත්ත්වයට වග කිව යුත්තෝ වන්නෙ සුසුන් නොවෙ,එහි පරිපාලකයින් වේ.සිසුන් දගලන්නෙ ඉගෙන ගෑනීමට ඈති අයිතිය ලබාගෑනීමටයි..එනම්,ඉගෙන ගෑනීමට හොද පරිසරයක් නිර්මානය කර ගෑනීමටයි.ඒ බව අපි හොදා කාරවම තේරුම් ගතයුතුයි.කෑම බීම සහ හොද වතුර, ඉගෙන ගනීමට lecture hall සහ එහි උපකරන වේ.පරිපාලනය එම වරප්‍රසාද යටි මඩි ගහගෙන සිසුන්ට ලබා නොදෙන විට,ඒ වෙනුවෙන් කෑ ගහන සිසුන් දේශපාලන අත කොලු සේ පෙන්වා දේ.මෙය නිවෑරදිව තෙරුම ගත හෑක්කේ,විශ්ව විද්‍යාලයක් තුලට පෑමිනි විටදී පමනි. තවද එය වර්තමානයට පමනක් නොවෙ,අනාගත සිසු පරපුරටයි.ඒ සදහා digree එක අරගෙනම, පසු කාලයක සිදු කල නොහෑක...එය තේරුම් ගත යුතුයි.

    ReplyDelete
  4. ආචාර්යතුමනි/තුමියනි,
    ඔබ ආදරය කරන රජරට විශ්වවිද්‍යාලය, සරසවි ආදි ශිෂ්‍යයන් වන ඔබ "විශ්ව"විද්‍යාලයක් යැයි ඔබ පිළිගන්නේද? සරසවිය ඉදිරිපිට ඇති නාම පුවරුවේම සඳහන් කර ඇත්තේ රජරට විශ්ව "විද්‍යාලය" ලෙසයි. එයින් අදහස් වන්නේ විශ්ව නැමැති විද්‍යාලයක් බවයි. "විශ්වවිද්‍යාලය" යන්න තනි වචනයක් ලෙස සඳහන් කර නොමැති බව උපකුලපතිතුමාවත් දු‍ටුවාදැයි මා හට සැකය. පුවරුවේ සිටම සියල්ල අවුල් සහගතය.

    සිසුන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් කිසිවක් තම පෞද්ගලික වුවමනා මත සඳහන් කර නොමැති බව පාසැල් සිසුවෙකුට වුවද තේරුම් ගත හැකි කාරණාවකි. එක් කණ්ඩායමක් සරසවිය තුල ‍රැ‍ඳෙන්නේ වසර 3ක් හෝ 4ක් පමණි. මේ ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ අපට බුක්ති විඳීමට නොව ඉදිරි පරම්පරා ‍රැසකගේ උන්නතිය වෙනුවෙන් බව ඔබට නොතේරෙන්නේ මන්ද? සිසුන් මෙවැනි තත්ත්වයකට පත් කරනු ලැබුවේ කවුරුන්ද? මේ සඳහා ඇති විසඳුම ඉතාමත් සරලය. ඔබ සිතන ආකාරයෙන් මේ සඳහා පලි ගැනීමේ චේතනාවෙන් සිසුන් මර්දනයට ලක් කිරීම, සිසුන්ට විවිධ කොන්දේසි පැනවීම ආදි දෑ සිදු කිරීමෙන් අපට හැගෙන්නේ ඔබ ප්‍රශ්නයක් දෙස දකින ආකාරයයි. සිසුන් තව තවත් පීඩාවට පත් කිරීම එයට විසඳුම ද? එයින් මෙය "විශ්වවිද්‍යාලයක්" බවට පත් වන බව ඔබ සිතන්නේද?

    තවත් කාරණයක් මතක් කරන්නට කැමැත්තෙමි. සිසුන් උඩ බලාගෙන කෙළ ගසා ගන්නා බව ඔබ පවසන බව මා හට අසන්නට ලැබුනි. මෙය මුල් පෙලේ විශ්වවිද්‍යාලයක් නම් එසේ පැවසීම සාධාරණය. මෙහි තත්ත්වය වසර 3ක උපාධියක් සඳහා වසර 4ක් මෙහි ‍රැඳී සිටීමට සිදුවීමෙන්ම තෙරුම් ගත හැකිය. ඒ තරම් විභාග පැවැත්වීම, ප්‍රතිඵල නිකුත් කිරීම කලට වෙලාවට සිදුවන වෙනත් සරසවියක් මිහිපිට නොමැත. ඕනෑම ආයතනයක් වෙත ඉල්ලුම් කිරීමේදී උසස් පෙල සඳහා ඉදිරිපත් වූ වසර සහ තවත් වසර 4කට හෝ 5කට පසු වසර ඇතුළත් කොට "Degree pending" යනුවෙන් සඳහන් කල විට සරසවියේ තත්ත්වය මුලු කර්මාන්තයටම හොඳින් අවබෝධ වේ. ඔබ සිතන්නේ අපත් සමඟ ඉගෙනගත් අපගේ මිතුරන් රට පුරා විශ්වවිද්‍යාල තුළ නොමැති බවද? ඔවුන් ඔවුන්ගේ සරසවියෙන් ඉවත් වන විට අප තවත් සරසවිය තුල වසරක් හමාරක් සිටිය යුතුය. ඔවුන් හරහා රටටම මෙහි තත්ත්වය නොයන්නේ යැයි ඔබ සිතන්නේද? සරසවි සඳහා ඉල්ලුම් කරන සිසුන් බොහෝ විට තොරතුරු දැන ගැනීම සඳහා සරසවි සිසුන්ම සම්බන්ධ කර ගනී. එවිට ඔවුන් තමන් දන්නා හඳුනන අයවලුන්ටද පවසන්නේ කුමක්ද? මා හට කියන්නට ඇත්තේ හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එලියේ කියාය.

    රජරට විශ්වවිද්‍යාලය ඉතා අග්‍රගන්‍යයේ විශ්වවිද්‍යාලයක් බව කීමට අපට හැකි වනු ඇත. බොරු කීමෙන් නොව අලස බව අතහැර, බල තණ්හාව අතහැර, මෙය "සැබෑ විශ්වවිද්‍යාලයක්" බවට පත් කරගැනීමෙන් අනතුරුවය. බොරු කීමෙන් රවටන්නට උත්සහ කරන්නේ කවුරුන්ද? මෙය ඉතාමත් හොඳ යැයි ඔබ පවසන්නේ ඔබේ හෘද සාක්ෂියට එකඟවද?

    රජරට සරසවියට ආදරය කරන ඔබට මෙහි ඇති ගැටලු විසඳීම සඳහා දිය හැකි සහයෝගය ඉතාමත් සරළය. එනම් රජරට විශ්ව නැමැති විද්‍යාලය "විශ්වවිද්‍යාලය"ක් බවට පත් කරගැනීමට සිසුන් සමඟ එක් වීමයි.

    පාලකයිනි,

    සිසුන් නැවැත්වීමට ඔබට අවශ්‍ය නම් ඒ සඳහා කළ යුතු දේ ඉතාමත්ම සරළය. සිසු ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දීම එකම විසඳුමයි. එවිට සිසුන්ට ද නිදහසේ දැනුම සොයා යාමට හැකියාවද ලැබෙනු ඇත. එතුළින් රජරට මෙරට අග්‍රගන්‍ය විශ්වවිද්‍යාලයක් වනු නිසැකය. කටපුරා මෙය "විශ්වවිද්‍යාලය"ක් බව ඕනෑම කෙනෙකුට පැවසිය හැකි වනු ඇත. උපකුලපතිතුමනි ඔබටත්...ආචාර්යතුමනි/තුමියනි ඔබටත්.... සිසුන් අපටත් සහ රටටත්.

    ReplyDelete