Home » » මහපොළ හා ශිෂ්‍යාධාර වාරික රුපියල් 5000 ක් කරන්නැයි රජරට සිසුන් උද්ඝෝෂණයක..

මහපොළ හා ශිෂ්‍යාධාර වාරික රුපියල් 5000 ක් කරන්නැයි රජරට සිසුන් උද්ඝෝෂණයක..

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Wednesday, November 27, 2013 | 5:13 PM



මහපොළ හා ශිෂ්‍යාධාර වාරික රුපියල් 5000 ක් කිරීමට කටයුතු කරන ලෙස රජයට බල කිරීමේ උද්ඝෝෂණයක් අද(27) ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය මිහින්තලා පරිශ්‍රය ඉදිරිපිටදී පැවැත්විණ. ඒ රජරට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් දහසකගේ පමණ සහභාගීත්වයෙනි. 

මේ වන  විට මහපොළ වාරිකයක් සඳහා හිමිවන මුදල රුපියල්  5000 වන අතර ශිෂ්‍යාධාර වාරිකයක් සඳහා හිමි වන මුදල රුපියල් 2000 කි. නමුත් මෙරට ආර්ථික තත්ත්වය සලකා බැලීමේදී සහ වසර අටක් තිස්සේ මහපොළ හෝ ශිෂ්‍යාධාර මුදල ඊට සරිලන ලෙස ඉහල දමා නැත. මහපොළ හා ශිෂ්‍යාධාර මුදල රුපියල් 500 කින් වැඩි කරන බවට මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේදී පොරොන්දුවක් ලබා දී තිබුන ද වසර 8 ක කාලයක් ගත වී ඇත්ත එය පොරොන්දුවක් පමණක් බවට පත් වී ඇත. 

ඒ අනුව වර්තමානයේදී බඩු මිල ඉහල යාම, බස් ගාස්තු වැඩි වීම ඇතුළුව ජීවන වියදම ද මේ වන විට වැඩි වී ඇත. නමුත් ගොවියාගේ, ධීවරයාගේ, කම්කරුවාගේ වැටුප වැඩිවීමක් සිදු නොවීම හරහා ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කල යුතු මුදල ප්‍රමාණය තව තවත් අඩු කිරීමට සිදු වී ඇත. එසේම එම පීඩනය තවදුරටත් වැඩි කරමින්  රජය අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කලයුතු ප්‍රතිපාදන වැඩි කරනු වෙනුවට සිදු කර ඇත්තේ තවදුරටත් ප්‍රතිපාදන කප්පාදු කර පාසල් නඩත්තුව  පවා දෙමාපියන් පිට පැටවීමයි.
එසේම විශ්වවිද්‍යාල තුල අය කෙරෙන ගාස්තු ද වැඩි කිරීමට කටයුතු කර ඇත. මහපොළ හෝ ශිෂ්‍යාධාර මුදල ශිෂ්‍යයන්ගේ මාසික ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට හෝ ප්‍රමාණවත් නොවන පසුබිමක තම පවුලේ ආර්ථික තත්ත්වය සලකා බලා විවිධ රැකියා වල නිරත වීමට සිදු ව තිබේ. ඒ අනුව තම අධ්‍යාපන කටයුතු පසෙක තබා ශ්‍රමය සුරාකෑමට බලා සිටින කුමක් හෝ සමාගමක ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් සිය කාලය යෙදවීමට අද වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට සිදුව ඇත. නමුත් ගුණාත්මක උපාධියක හිමිකාරයෙකු වීමට නම් පුර්ණ නේවාසික පාඨමාලාවක් විශ්වවිද්‍යාල ශිෂ්‍යාට හිමි විය යුතුය. නමුත් පවතින තත්ත්වයන් යටතේ උපාධි පාඨමාලාව යනු රස්සාවක් කරමින් සිදු කරනු ලබන බාහිර පාඨමාලාවක් බවට පත්ව ඇත. 

මේ සියලු ගැටළු වලට හේතුව වී ඇත්තේ ආණ්ඩුවේ අධික වියදම් වලින් නාස්ති වන මුදල පියවා ගැනීම සඳහා අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ආණ්ඩුව ජනතාවගේ බදු මුදලින් ප්‍රතිපාදන වෙන් කොට පවත්වාගෙන යා යුතු සේවාවන් වලට වෙන් කෙරෙන ප්‍රතිපාදන වසරින් වසර කප්පාදු කිරීමයි. 

ඒ අනුව මෙවරද අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා වෙන් කරන ප්‍රතිපාදන විශාල ලෙස කප්පාදු කිරීමට කටයුතු කර ඇත. පසුගිය වසරේ මාස තුනක කාලයක් විශ්වවිද්‍යාල වසා දමා තිබියදී පවා ආචාර්යවරු, සිසුන් අරගලයක නිරත වුයේ  අධ්‍යාපනයට 6% ක් වෙන් කරන ලෙස ආණ්ඩුවට බල කරමිනි. නමුත් ආණ්ඩුව තවදුරටත් සිදු කලේ ප්‍රතිපාදන දිගින් දිගටම කප්පාදු කිරීමය.
එසේම දේශන සඳහා 80 % ක පැමිණීම අනිවාර්ය කිරීම වැනි කාරණා හරහාත් සිය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට විවිධ රැකියා වල නිරත වීමට සිදු වීම හරහාත් විශ්වවිද්‍යාල ශිෂ්‍යා දැඩි පීඩනයකට ලක්ව සිටී.
කාලයට අනුව සලකා  බැලීමේදී මහපොළ හා ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 ක් දක්වා වැඩි කල යුතුය යන්න අප දැඩිසේ අවධාරණ කරන්නෙමු. එසේම අද දවසේ ආරම්භ වුයේ එහි මුලික පියවරයි. මහපොළ හා ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 කරගන්න තුරු දීර්ඝ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඡායාරූප මෙතනින්
Share this article :

0 comments:

Post a Comment