Home » » යටත් වීමේ අභිමානය...

යටත් වීමේ අභිමානය...

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Monday, November 18, 2013 | 7:52 PM


රට තවමත් රූම් පෙත්තක සිරි ගෙන ඇත,
කරකවා අත්හැරිය උන් තවමත් රූම් පෙත්ත මෙන් කරැකවේ,
ඩිජිටල් පුවරු වල CHOGM  දිලිසිල්ලට ඇස් නිලංකාර වූ අය තවමත් හිතාගෙන ඉන්නේ මහ උන්ට යන්නට පාරවල් වසා ඇතැයි සිතාය, එහෙයින් ඔවුහු විකල්ප මාර්ග වල යන නිසා තවමත් ආශ්චර්ය නිසි පරිදි අත් විදින්නට නොහැකි වී ඇත.
ඒ නිසා රූම් පෙත්ත අස්සේ බස් ගාස්තු වැඩි වූ බව තවම ඔවුන් දන්නේ නැත. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භන්නට හොර රහසේ ගිවිසුම් අත්සන් කරන්න සැලසුම් කර තිබු බව දන්නේ නැත.

සති අන්ත පුවත් පතක චාර්ල්ස් මෙරටදී නිදා ගත ඇඳක ඡායාරූප පල විය, සමහරු තවමත් චාර්ල්ස් සමඟ යහන්ගත වී ඇත. තවත් කෙනෙකුට ප්‍රශ්නය වුයේ ඩයනා අතහැර චාර්ල්ස්, කැමිලා විවාහ කර ගැනීමය. ඔවුන් තවමත් ඒ ගැන පසු තැවෙමින්, චාර්ල්ස්ට වෛර කරමින් සිටී. 

පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතීත්වය මෙරට ජනාධිපතිවරයාට ලැබීම වෙන කිසිම සත්කාරක රටක නායකයෙකුට හිමි නොවූ ආශ්චර්යක මෙන් ඇතමෙකු තවමත් මතක් කර කර වින්දනය කරමින් සිටී. නමුත් සත්කාරක රටේ නායකයට එම සභාපතීත්වය් හිමි වීම සාමාන්‍ය සිරිතය. 

තිස් වසරක යුද්ධය නැති කරන්නට මෙරට ජනතාවට බඩ ගැන නොහිතා සිටින්නැයි මහජන නියෝජිතයින් දැනුම් දුන් අතර ජනතාවද ඊට කීකරු වුයේ සාමය ස්වකීය ජිවිත වලට යහපත් වෙනසක් ඇති කරතැයි යන අපේක්ෂාවෙනි. නමුත් යුද බිය හමුවේ පීඩිත ජනයාට ඒ පීඩනයෙන් මිදී ඇතැයි සැනසුම් සුසුම් හෙලන්නට නොහැකි විය.

1948 අපට ලැබුණු නිදහස අද ද සමරනුයේ මහත් ආඩම්බරයෙනි. නමුත් එදා ලැබුනේ නාමික නිදහස් පමණක් බව අද ද බොහෝ දෙනෙකුට නොවැටහී ඇත. වැටහුනද නොවැටහුනා සේ සිටින්නේ දේශද්‍රෝහී ලේබලයට බියේ විය යුතුය. එදා අප යටත් කොට ගෙන සිටියේ අවි බලයෙනි. අද පොදු රාජ්‍ය මණ්ඩලය නමින් ඉතා ආකර්ශනීය බැදීමකින් අප යටත් කොට ගෙන සිටින්නේ එය වූ කලී අපේ රටේ යහපත් උදෙසාම පමණක් නිර්මාණය වුවක් ලෙස හුවා දක්වමිනි. 

“එක් යටත් විජිතයකට හිරු බැස යද්දී තවත් යටත් විජිතයකට හිරු පායන නිසා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, හිරු නොබසින අධිරාජ්‍ය ....” ලෙස හැදින්වෙන බව ළමා වැඩසටහනක නැගණියක් බොහෝ ආඩම්බරයෙන් කිවේ රටේ ආශ්චර්ය පෙන්නන්ට තැනු අධිවේගී මාර්ගයක පිවිසුමක් මත සිටගෙනය, නැගණියනි ජාතික  නාලිකාවේ කවුරුන් හෝ ලියා දුන් පිටපතක් නුබ කියවන්නට ඇත,නමුත් නුඹ වැනිම පොඩි වුන්ට යන්නට ඇති පාසල් ටික වැහෙද්දී බලා වුන් පාලකයන්ම CHOGM වෙනුවෙන් රූම් පෙති වලටම ලක්ෂ ගණන් වියදම් කල බව ඔය නාලිකාවේ මාධ්‍යවේදී මහත්වරු ඇතැම් විට නුඹට නොකියන්නට ඇත. 

සිය හිසට වහලක් තැන ගන්නට බිම් කඩක අහිමි මිනිසුන් සිටින රටක පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට එන නියෝජිතයින් පිනවන්නට කෝටියක වියදමින් තාවකාලික සත්තු වත්තක් සැදු බව දන්නේ කවුරුන්ද? ඒ ගැන ප්‍රශ්න කලේ කීයෙන් කීදෙනෙක්ද?

මෙවර පැවතියේ 23 වෙනි නායක සමුළුවයි. මීට පෙර පැවති සමුළු 22 න් ගත් අත්දැකීම් වලින් මෙරට ජන ජිවිතයට වෙනසක් වුයේ නම් එය සාර්ථක සමුළුවක් යැයි කිව හැකිය නමුත් එවැන්නක් සිදු නොවූ බව සක් සුදක් සේ පැහැදිලිය, සමුළුව පුරා තිබුනේ සංදර්ශනය. විදේශිකයින් මෙරට බලා ගන්නට ඇත, තව තවත් විකුණන්නට ඇත්තේ මොනවාදැයි හොදින් බලා කියා ගන්නට ඇත. ටික දිනකින් තවත් පිටරට සමාගම් කිහිපයකට මෙරට විශාල බිම් කඩවල් කිහිපයක අයිතිය පැවරෙනු ඇත. CHOGM දස වතාවක් මෙරට තිබුනද එයින් මෙරට පොදු ජන ජිවිතයට එල්ලවන යහපතක් නැත. බස් ගාස්තු අඩු වන්නේ නැත, වැටුප වැඩි වන්නේ නැත, බඩු මිල අඩු වන්නේ නැත. CHOGM වල වියදම් පියවා ගන්නට තවත් බදු බර පැටවෙනු ඇත. 

බ්‍රිතාන්‍ය රජ පවුලේ අභිමානයට මෙය හොඳ සමුළුවකි. රටවල් 53 ක යටත් වීම තවමත් ඔවුන් සතු බව සිතා රජ පවුල සතුටු වනවා ඇත. තමන් තරම් දේශප්‍රේමි නායකයෙක් නැතැයි  කියන මෙරට ජනාධිපතිවරයා ඔටුන්න හිමි කුමරු පාවඩ එලා උපන් දින කේක් කවා පිළිගත්තේ දේශප්‍රේමීකම සාටකයෙන් වසා ගෙනය. නමුත් පොර ටෝක්ද අඩුවක් නොවීය.
මෙහිදී ඒ ඒ රටවල මානව හිමිකම් ගැන, සමානාත්මතාව ගැන සාකච්ඡා වන බව පුවත් පතක සඳහන් කර තිබිණ. නමුත් CHOGM  අතරතුර උද්ඝෝෂණ තහනම් කිරීම ගැන ඔය කියන මානව හිමිකම ගැන කතාවේදී කිසිවෙකුත් කතා නොකරන්නට ඇත, කිසිඳු හේතුවක් නොමැතිව සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනය පස්සට දමමින් කල විශ්වවිද්‍යාල වසා දැමීම ගැන කතා නොකරන්නට ඇත, අතුරුදහන් වුවන්ගේ ඥාතීන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන්නට කිසිවෙකු ඉදිරිපත් නොවුයේ දවස් ගානක ආතල් එක නැති කරගන්නේ කුමටදැයි සිතා විය හැකිය.
උද්ඝෝෂන තහනම් වුයේ  කොටසකට පමණකි, කැලම් මැක්රේට එරෙහි ආණ්ඩු හිතවාදී උද්ඝෝෂණ කටුනායක ගුවන්තොටුපලේද පැවැත්විණ, අනුරාධපුර දුම්රිය  ස්ථානයේ පැවැත්විණ. මහනුවර දී පැවති අන්තරේ උද්ඝෝෂණය අධිකරණ නියෝගයකින් නවතා දැමිණ. මැක්රේ ගේ ක්‍රියා කලාපය හරිද වැරදිද යන්න වෙනමම විමසා බැලිය යුතුය. නමුත් උද්ඝෝෂණ තහනම් කලේ ආණ්ඩු හිතවාදී උද්ඝෝෂණ පමණක් කියා නොවන බව අපට නම් මතකය.
අධිවේගී මාර්ගය දිගේ වටපිට නොපෙනෙන වේගයෙන් ආ රාජ්‍ය නායකයන් මාර්ග තදබද නැති අලංකාර මාර්ග ඔස්සේ රූම් පෙති අශ්චර්යෙන් කැරකි කැරකි AC කාමර වල ඉද සැප සංචාරයක් ගත කොට යන්නට ඇත. අපට ලැබුණු ඉටි ගෙඩියක් නැත. තිබුන අයිතීන්ද උදුරා ගත්තා පමණකි. හෙට දවසේ මර්දනය තවත් දැඩි වනු ඇත.
මහින්ද රාජපක්ෂ ජනධිපතිවරයා මෙරට ජනාධිපති වුයේ දේශප්‍රේමීත්වය ඉස්සර  කරගෙනය. එතැන තිබුනේ ජාතිවාදය මිස අන් කිසිවක් නොව, එසේ නොවුණානම් 30 වසරක යුද්ධයෙන් පසු මෙරට ජනයාට නිදහස් උරුම වී තිබිය යුතුය. දෙමළ, සිංහල, මුස්ලිම් සහෝදරත්වයක් ගොඩ නැගී තිබිය යුතුය. නමුත් අදටත් බොදු බල සේනාවත් , මුස්ලිම් අන්තවාදය හෝ දමිල අන්තවාදය වෙනුවෙන් මහින්දගේ කට සෙලවෙන්නේ නැත. ඒවා කරනුයේ මෙරට තවත් කොටසකගේ මානව හිමිකම් ඇහිරීමයි. ඒවායේ පැවැත්ම  මේ ඒකාධිපති පාලනයට පහසුවකි. එහෙයින් ඒවා පාලනය කෙරෙන්නේ නැත. නමුත් එමගින් මෙරට සිංහල, දමිල, මුස්ලිම් සහෝදරත්වයක් නිර්මාණය වීමක් ඇති වන්නේද නැත. එහෙව් සමගියක් ජනාධිපතිවරයාට අවැසි නැත. මොකද මානව හිමිකම් ගැන ප්‍රශ්න ඔහුගේ පැවැත්ම තහවුරු කරන්නකි, කෙසේද අනෙක් සියලු ප්‍රශ්න අමතක කර ජනතාව සිතිය යුත්තේ රටේ වෙනුවෙන් කැප වී අපේ රටේ අසහාය නායකයා ජාත්‍යන්තරයෙන් බේරා ගැනීම ගැනය එවිට බඩ ගැන සිතිය නොහැක. දෙමළා ද රතු ලේ ඇත්තෙකු බව සිතිය නොහැක.  

CHOGM චුයින්ගම් එක බඩේ දැවිල්ල වැඩි කරනු විනා එය සුව නොකරන බව ටික දිනකින් අවබෝධ වනු ඇත..

LTTE නායකයෙකුව සිටි කුමාරන් පත්මනාදන් ට CHOGM විවෘත විය. ඔහු දේශද්‍රෝහී ත්‍රස්තවාදියෙකු බව මෙරට ජනතාවට කීවේ මේ ආණ්ඩුවමය.
නමුත් ලලිත් - කුගන් සහෝදරවරු තවමත් අතුරුදහන්ය...
ජනක, සිසිත සහෝදරවරු මරා දැමුහ...
ආණ්ඩුව පැත්තේ හිටගත්තා නම් අද ඔවුන්ද CHOGM විසිතුරු බලනවා ඇත...
ආණ්ඩුව ස්වකීය නිරුවත වසා ගන්නට කල හැකි සියල්ල කිරීමට වග බලා ගත්තේය. ඔවුන් නිරුවත් කරන්නට සැදු අපව නම් හෙට දිනයේ දේශද්‍රෝහීන් යැයි කියනු ඇත, සිරගත කරනු ඇත, මරා දමනු ඇත.
යටත් වීමේ අහිමානය සැමරීම දේශප්‍රේමීත්වය නම් ඔව් අපි දේශද්‍රෝහීන්ය...


-ලහිරු වීරසේකර-

Share this article :

0 comments:

Post a Comment