Home » » ලැජ්ජා නැති කම ...

ලැජ්ජා නැති කම ...

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Wednesday, January 29, 2014 | 10:39 PM

අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 50 ක කාලයක් ගත වී හමාරය. සත්‍යග්‍රහය ආරම්භ කරන්නට පෙරම අප කී දෙය දැන් සත්‍යයක් බවට පත් වී ඇත. එනම් අපට තහනම් කලේ අක්කර 219 ක විශ්වවිද්‍යාල භුමිය පමණි. උපකුලපතිට ඇත්තේ ඒ අක්කර 219 පමණි. පීඨාධිපතිවරුන්ට ඊටත් අඩුය, විනයපාලකට ඇති දෙයක් නැත.
අක්කර 219 න පිට අපට ඕන තරම් ඉඩ තිබේ. අපේ අරගලයට දිනෙන් දින මිනිසුන් එකතු වෙමින් සිටී.
ඒ අනුව කාලයක් තිස්සේ අප උත්සහ කල සිසු ජන බලවේගය නිර්මාණය කිරීමේ පළමු පියවර තබන්නට සත්‍යග්‍රහයට දින 50 සපිරුණ ඊයේ (28) දින අපට හැකි විය.
ස්වාමීන්වහන්සේලා, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසක් අපේ අරගලය වෙනුවෙන් කොන්දේසි විරහිතව සහය දැක්වීමට එක් විය.
දැන් පාලකයන්ට රිදී ඇත, කාටවත් රිදවන්නට අපට අවශ්‍ය වුයේ නැත. නමුත් හෘද සාක්ෂිය විකුණා ඇති යට රිදී ඇත.
එක එකාගේ පදයට නටන්නට පෙර සිතන්නැයි යැයි දහස් වාරයක් අප පරිපාලනයට මතක් කර දෙන්නට  ඇත. දැන් සිත් රිද්දාගෙන පලි ගත යුත්තේ අපෙන් නොව  මේ ලජ්ජා නැති වැඩ කරන්නට එන දුන් දේශපාලන නායකයන් සමඟය.
විශ්වවිද්‍යාලය සතු පුටු මේස රැගෙන ආ බවටත්, පරිපාලන කටයුතු වලට බාධා සිදු වන බවටත්, නීති විරෝධී ලෙස විදුලිය ලබා ගෙන ඇති බවටත් චෝදනා කරමින් මහා ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් 5දෙනෙකුට විරුද්ධව ම්හින්තලේ පොලිසියේ පැමිණිල්ලක් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කර තිබේ.

උපකුලපතිතුමනි,
අප ඔබෙන් උදුරා ගත දෙයක් නැත. නමුත් මෙරට පාලකයා ප්‍රමුඛ, ඔබ වන්දිභට්ටකම් කරන නායකයන් ඔබේ ජීවිතය උදුරාගෙන ඇත. ඔබේ දරුවන්ගේ ජීවිත,අනාගතය උදුරාගෙන ඇත, ඔබ රූකඩයක් බවට පත කොට වෘත්තීය ගරුත්වය කෙලෙසා දමා ඇත.
ඔබට කරන්නට දෙයක් නැති බව පැවසීම නොව මෙවන් ලජ්ජා නැති වැඩ කරන්නට බැරි බව කටක් ඇරකියා ගත්තේ නම් අද පමණක් නොව හෙට ද බොහෝ දෙනා ඔබ ගැන කතා කරනු ඇත. 
විදුලිය නැති වීම අපට ගැටළුවක් නොවේ, නමුත් අඳුරේ පහර කන්නටද අප සුදානම නැති බවද මතක් කරන්නෙමු,
ඉල්ලීම් නවයට විසදුම් දෙනවා වෙනුවට ලජ්ජා නැති වැඩ කරන්නට ගොස් උපකුලපති නාමයට අගෞරව නොකරන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටින්නෙමු. 
තමන්ටම පත්වීමේ ලිපියක් ලියා ගත්, සිසුවියන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කලයුතු යැයි යෝජනා කල ජයවර්ධනපුර සරසවියේ උපකුලපතිවරයාට පිස්සු යැයි අද බොහෝ දෙනෙකු කියන කතාවකි. රජරට උපකුලපතිවරයාද එසේ හංවඩු ගැසෙන්නේ නම් අපට ඇත්තේ කනගාටුවකි. 
ප්‍රශ්න වලට උත්තර දීම වෙනුවට අලුත් ප්‍රශ්න නිර්මාණය කර පැනයාම ලජ්ජා නැති කමකි.එය ඔබේ නායකයන් සහජයෙන් උරුම කරගත් දෙයකි. එවන් පාලකයකු වනවාද නැද්ද යන්න ඔබ තීරණය කලයුතු කාලය පැමිණ ඇත. 
ඔබේ නායකයන් සිදු කරන අසාධාරණයන්ට විරුද්ධවීමට ඔබ බිය වුවද,
ඔබත් ඔබේ නායකයින්ගේත් අසාධාරණයන්ට එරෙහිවීමට අපි බියෙන් අත් මිදී සිටින්නෙමු!

ජයතිලක බණ්ඩාර මහතා ගයන ගීයක් පදවැලක් අවසන මෙසේ සටහන් තබන්නෙමු!

ගොළු සැවුල වද නොදී හඬලන්න,
කොර අසුනි වද නොදී දිවයන්න,
නිවට හිවලුනි, තොපට කාලයයි වද නොදී,
සිහසුනෙන් බැස යන්න.......

Share this article :

0 comments:

Post a Comment