Home » » මේස පන්දු ආචාර්ය අරගලය විජයග්‍රහණයෙන් කෙලවර වෙයි...

මේස පන්දු ආචාර්ය අරගලය විජයග්‍රහණයෙන් කෙලවර වෙයි...

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Monday, September 30, 2013 | 9:20 PM

පසුගිය වසරේ එනම් 2012 වසරේ මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්යවරු වෘත්තීය අරගලයක් ආරම්භ කළහ. මාස තුනකට අධික කාලයක් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුල කිසිඳු දේශනයක් පැවැත්වුනේ නැත. අවසානයේ විශ්වවිද්‍යාල පද්ධතිය වසා දැමීමට බලධාරීන් කටයුතු කළහ. ආචාර්යවරුන් වීදි සටන් වලට එළඹුන අතර ඔවුන්ගේ සහයට ශිෂ්‍යයෝ වීදියට පැමිණි අතර ආචාර්යවරු ගාල්ලේ සිටි කොළඹට එද්දී ශිෂ්‍යයෝ නුවර සිට කොළඹට පැමිණියහ. ඒ අතරතුර ශිෂ්‍යයෝ දෙදෙනෙක්ගේ ජීවිත අහිමි කළහ. ලේ ගැලීම්, දහදිය වැගිරීම්, සාකච්ඡා හමුවේ ආචාර්ය අරගලය ජයග්‍රහණය කලේ කාටත් රහසේය. ආචාර්යවරුන්ගේ ජයග්‍රහණය ගැන අපට ඇත්තේ ආඩම්බරයකි.


එකී අරගලයට වසරක් වෙද්දී ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආචාර්යවරු තවත් අරගලයකට මුල පිරුහ. ඒ පසුගිය 27 වනදා ය. එනම් 2006 වසරේ සිට ව්‍යවහාරික විද්‍යා පීඨ ගොඩනැගිල්ලේ පවතින මේස පන්දු ක්‍රීඩා මේසය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් වූ අරගලයකි. මේස පන්දු මේසය ඉවත් නොකරන්නේ නම් මේ දිනවල පැවැත්වෙන විභාග වල පරීක්ෂණ කටයුතු වලින්  ඉවත් වීමට ඔවුහු තීරනය කර තිබිණ. එය ක්‍රියාවට නැංවීමට තරම් ආචාර්යවරු නිර්භීත වීම අපට සන්තෝසයකි. අද(30) දවසේ දී එම අරගලය ජයග්‍රහණය කිරීම අපගේ සතුට දෙගුණ තෙගුණ කරන්නකි.
මේස පන්දු ක්‍රීඩාවේ නිරත වීම හේතුවෙන් මෙතෙක් කලක් සිය අධ්‍යයන කටයුතු මඟ හැරී තිබිණු සිසුන් මින් පසු සිය අධ්‍යයන කටයුතු හොදින් කරගත හැකි වනු ඇත.

මේස පන්දු ගැසීමට යොදා ගත් කාලය භාවිතා කර පර්යේෂණ වල නිරත වනු ඇත.

එමගින් විද්‍යාඥයන් බිහි වනු ඇත.

අධ්‍යාපනයේ සැබෑම අරමුණු මෙය යැයි රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික  පීඨය ආදර්ශයට ගනු ඇත.


මේස පන්දු ගසමින් සිට සිය උපාධිය සම්පුර්ණ කර ගත නොහැකි සිසුන්ට අදින් පසු සිය උපාධිය සම්පුර්ණ කර ගත හැකි වනු ඇත.

විශ්වවිද්‍යාලයීය බාලිකා මේස පන්දු කණ්ඩායමේ සාමාජිකයින් 8 දෙනාගෙන් 5 දෙනෙකු ව්‍යවහාරික විද්‍යා පීඨයේ ශිෂ්‍යවන්ය, බාලක කණ්ඩායමේ සාමාජිකයින් 8 දෙනෙකුගෙන් 3 දෙනෙකු ව්‍යවහාරික විද්‍යා පීඨයේ ශිෂ්‍යයින් විය.
අදින් පසු ඔවුන් ද මේස පන්දු ක්‍රීඩාව අතහැර විද්‍යා පරීක්ෂණ වලට හිත යොමු කරනු ඇත.

මේස පන්දු මේසය ඉවත් වීම යනු ඒ අතින් බැලු කල ආචාර්යවරුන් පමණක් නොවද අපද ලැබූ විශාල ජයග්‍රහණයකි.
මේස පන්දු මේසය නිසා දේශනා වලට ළමුන් සහභාගී වීම හේතුවෙන් මදිවන දේශනා ශාලා පහසුකම් වැඩි කෙරෙනු ඇත.

මේස පන්දු මේසය නිසා බොහෝ පිරිසකට තම මහපොළ , ශිෂ්‍යාධාර වාරිකය අත්සන් කිරීමට නොහැකි විය, ඒ නිසා ළමයින්ට එහි අවශ්‍යතාවක් නැතැයි පාලකයෝ සිතුහ, දැන් මේස පන්දු මේසය නැති නිසා ළමුන්  වෙලාවට අත්සන් කරනු ඇත, ඒ නිසා ළමුන්ට ඇති අවශ්‍යතාව වටහා ගන්නා  පාලකයෝ එය වැඩි කිරීමට කටයුතු කරනු ඇත...
මේස පන්දු මේසය නිසා ළමුන් නේවාසිකාගාරවලට යාම අඩු විය, ඒ නිසා නේවාසිකාගාර හිඟයක් ඇතැයි තේරුනේ නැත, නමුත් දැන් මේස පන්දු නොගසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් නේවාසිකාර වලට යන නිසා නේවාසිකාගාර අර්බුදය දැනී පාලකයෝ නේවාසිකාගාර ලබා දෙනු ඇත...
මෙතෙක් කලක් විශ්වවිද්‍යාල තුලට දේශපාලන මැදිහත් වීම් සිදු වනු කිසිවෙකුටත් ගානක් නැති වුයේ මේස පන්දු ක්‍රීඩාවට සියලු දෙනා ඇබ්බැහි වී සිටි නිසාය, දැන් ඒවා පෙනෙනු ඇත, ඊට විරුද්ධව නැගී සිටිනු ඇත...
මේස පන්දු ක්‍රීඩාවට ඇබ්බැහිව සිට නිසා විශ්වවිද්‍යාලයේ සංවාද කරන්නට මෙතෙක් දවසක් නොහැකි විය, නමුත් දැන් මේස පන්දු මේසය නැත, ඒ නිසා සංවාද ඇතිවනු ඇත...
පීඨ ගොඩනැගිල්ල සවස 6 ට වසා දැමුවේ මේස පන්දු වලට ළමුන් තුල ඇති අධික ඇබ්බැහි කමය, දැන් මේස පන්දු මේසය නැත, ඒ නිසා සවස 6 න් පසු පීඨය විවෘත කරනු ඇත...

ළමුන්ගේ වකුගඩු වල ගල් ආවේ වතුර වල ගැටළුවක් නිසා නොව මේස පන්දු ක්‍රීඩාවේ යෙදීම නිසාවෙනි, දැන් මේස පන්දු මේසය නැත, ඒ නිසා ගල් ද නැත...

වන සතුන් නිසා අපවිත්‍ර වන ආපන ශාලාවට පිලියමක් යොදන්නට නොහැකිවූයේ මේස පන්දු මේසය නඩත්තුවට විශාල මුදලක් වෙන් කෙරුණු නිසාවෙනි, දැන් මේස පන්දු මේසය නැත, ඒ නිසා ආපන ශාලාව වට කොට කම්බි ගසනු ඇත..
online උපාධිය මුදලට දෙන්නේ මේස පන්දු මේසය නඩත්තු කිරීමටය, අලුතින් මේස පන්දු මේසයක් ගෙන ඒමටය, අධයපනය වෙළඳ භාණ්ඩයක් කිරීමට නොව, ලාභ ඉපයීමට නොව, දැන් මේස පන්දු මේසය නැත, අධ්‍යාපනය විකිණීම නවතිනු ඇත...

මේස පන්දු මේසය පීඨ ගොඩනැගිල්ලේ තිබීම අවලස්සන නිසා CID මහත්වරු සිසුන් පසු පස ආවේ එය ඉවත් කරන්නට කියන්නට මිස ආණ්ඩුවට තර්ජනයක් වන වැඩ කල නිසා නොව, ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තියට විරුද්ධ වූ නිසා නොව, දැන් මේස පන්දු මේසය නැත, CID සිසුන් පසු පස නොඑනු ඇත, සිසුන්ගේ නිවෙස්වල ගොස් මරණීය තර්ජන නොකරනු ඇත...
වැරදීමකින් කළු සාරී ඇන්ද ආචාර්යවරිය විශ්වවිද්‍යාලයේ නෙරපද්දී ඒ වෙනුවෙන් විභාග වර්ජන කරන්න බැරි වුයේ මේස පන්දු මේසය ඊට වඩා දරුණු අර්බුධයක් නිසාවෙනි... ඒ වනවිට එය ඉවත් කර තිබුනේ නම් අදාළ ආචාර්යවරිය නෙරපා හැරීමට විරුද්ධව අරගලයක් කරන්නට තිබිණ...


ඒ අනුව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයට තිබු විශාලතම ගැටලුවට දැන් විසඳුම් ලැබී හමාරය...ආචාර්යවරු මහත් කැප කිරීම් කර පරිශ්‍රමයක් දරා එම ගැටලුවට විසඳුම් ලබා දෙනු ලැබීය..

මෙම අරගලය සමස්ත අරගල ඉතිහාසයටම හොඳ පුර්වාදර්ශයකි.

එම නිසා මෙවන් අරගල රටකට වාසනාවන්ය...






Share this article :

0 comments:

Post a Comment