Home » » රජරට සිසු මර්දනයේ අරමුණ අධ්‍යාපන විකිණීමට එරෙහි අරගලය අඩපන කිරීමයි.

රජරට සිසු මර්දනයේ අරමුණ අධ්‍යාපන විකිණීමට එරෙහි අරගලය අඩපන කිරීමයි.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Thursday, September 12, 2013 | 2:20 AM




“ගමයි - සරසවියයි - 2013 ” වැඩසටහන හරහා රජරට විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක කෙරෙන ශිෂ්‍ය මර්දනයේ අරමුණ අධ්‍යාපනය විකිණීමට එරෙහි ශිෂ්‍ය ව්‍යාපාරයේ අරගලය අඩපන කිරීම බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා පැවසීය. සංජීව සහෝදරයා මෙම අදහස් පල කලේ රජරට විශ්වවිද්‍යාලයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා 11 වන දින අනුරාධපුර මඩහපොල ගොඩනැගිල්ලේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
“මේ ලබා දීලා තියෙන පන්ති තහනම් වලට කිසිඳු පදනමක් නෑ, ගමයි සරසවියයි සංවිධානය කිරීම තුලම තිබුනේ මර්දනය. උපකුලපතිවරයා නොදන්නවා වෙන්න බෑ ජුනි 20 කියන්නේ ශිෂ්‍ය වීර දිනය කියලා, හොදින්ම දන්වා මේ වැඩසටහනට ළමයි සහභාගී වෙන්නේ නෑ කියලා. මේ වැඩසටහන වෙනත් දවසක තිබුනොත් අපිට උදව් කරන්න පුලුවන් කියද්දීත් එදිනම තියන්නේ මේ වැඩසටහන දඩමීමා කරගෙන මර්දනය දියත් කරන්නයි. ගමයි සරසවියයි තියන්නේ ගමයි සරසවියයි අතර සහයෝගිතාව වර්ධනය කරන්න නෙවෙයි, අනෙක් විශ්වවිද්‍යාල වල පවත්වන්න ගිහින් අසාර්ථක වුන නිසා මේක රජරට ගෙනාවේ සැලසුම් සහගතව ශිෂ්‍ය වීර දිනය කඩාකප්පල් කරන්න ”
“කිසිම බාධා කිරීමක් නොකර කොහොමද කියන්නේ කඩාකප්පල් කරා කියලා. යන නොඑන එක ළමයින්ගේ තීරණක්, ඒකට බලපෑම් කරන්න පරිපලනයටවත් ශිෂ්‍ය නායකයින්ටවත් අයිතියක් නෑ. යම් ප්‍රමාණයක සහභාගීත්වයෙන් වැඩසටහන කලා සාතිශය බහුතරය සහභාගී වුනේ නෑ. කඩාකප්පල්කාරී අරමුණක් තිබුනනම් විශ්වවිද්‍යාලෙ ඇතුලේ පවත්වන්න ඉඩ නොදී ඉන්න තිබුනා, බාහිරින් එන අයට බලපෑම් කරන්න තිබුනා. නමුත් එහෙම කලේ නෑ. ශිෂ්‍ය වීර දිනයට මේ වැඩසටහන දාපුවම ළමයි කෝප වෙයි කියල හිතුවා, සම්බන්ධ වුන අයට පහරදීම් බලපෑම් කරයි කියලා හිතුවා, නමුත් එහෙම වුනේ නෑ. කඩාකප්පල් කලා කියලා චෝදනා කලා, ශිෂ්‍යන්ට බලපෑම් කලා කියලා කිව්වා, ආචාර්යවරුන්ට බලපෑම් කලා කිව්වා නමුත් ශිෂ්‍යයෝ ලිපි දුන්න තමන්ගේ කැමැත්තෙන් නොගියේ කියලා , ආචාර්යවරු ප්‍රකාශ කලා තමන්ට බලපෑම් කලේ නෑ කියලා. එහෙම තියෙද්දිත් අත්තනෝමතික ලෙස මේ පන්ති තහනම් දුන්නේ අධ්‍යාපනය විකිණීමට එරෙහි ශිෂ්‍ය ව්‍යාපාරයේ අරගලය අඩපන කරන්න.”
“මේ වෙද්දී විශ්වවිද්‍යාල පරිපාලනය රූකඩ බවට පත්වෙලා. තනතුරු වරප්‍රසාද වෙනුවෙන් එයාලා ඕන දෙයක් කරන්න සුදානම්. උපකුලපති තනතුර ගෞරවාන්විතව තිබුන කාලයක් තිබුණා. නව ලිබරල් ප්‍රතිසංස්කරණ අවට පස්සේ , ජනාධිපති රූකඩ පත් කරන්න පටන් ගත්තාට පස්සේ උපකුලපති කියන්නේ ආණ්ඩුවේ පදයට නටන රූකඩයක් විතරයි. එකේ ප්‍රතිපලයක් විදියට තමයි විශ්වවිද්‍යාල වලට මේ තත්ත්වේ ඇතිවෙලා තියෙන්නේ. විශ්වවිද්‍යාල ඇතුලේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන එකට අපි විරුද්ධ වෙද්දී, පරිපාලනය කියනවා අපිට විරුද්ධ වෙන්න බෑ ඇමති තරහ වෙයි, ප්‍රතිපාදන කැපෙයි, සංවර්ධනය කැපෙයි කියලා. අපි අහනවා ඇමතිවරයාගේ බුදලයද උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියලා.”
“තමන් ඉගෙනගත්ත, තමන්ට මහාචාර්යවරු වෙන්න පසුබිම හදපු අධ්‍යාපනය ඇස් පනා පිට විනාශ වෙද්දි සාක්කුවට වැටෙන මුදල නිසා ඒ ක්‍රියාවලියට සහය දෙනවා. සරසවි සිසුන් 182 කගේ පන්ති තහනම් කරලා තියෙනවා, 20 දෙනෙකුගේ ශිෂ්‍යභාවය ජීවිතාන්තය දක්වා අහෝසි කරලා තියෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල පනත වෙනත් විදියකට ගෙනවා, අධ්‍යාපන වෙළද කලාප ඇති කරනවා පාසල් වලින් ගාස්තු අය කරනවා. ඒ වැඩපිළිවෙල සාර්ථක කරගන්න එකේ එඅක පියවරක් තමා ශිෂ්‍ය සංගමය අඩපන කිරීම”
“මේ වෙද්දී රජරට කළමනාකරණ උපාධිය විකුණනවා, අනෙකුත් පීඨ වලත් පාඨමාලා ඉදිරියේදී විකුණනවා, දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරවයි. මේවට පරිපාලකයන්ට රට සවාරි හම්බවෙයි. ශිෂ්‍ය මර්දනයේ අවසන් ප්‍රතිපලය අධ්‍යාපනය විකිණීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමයි.”
“අපි ජනතාවගෙන් ඉල්ලනවා විශ්වවිද්‍යාල ඇතුලේ කෙරෙන අධ්‍යාපන සංහාරයට විරුද්ධ වෙන්න, මර්දනයට රටක් සමාජයක් වශයෙන් නැගී සිටින්න කියලා. අපි බලධාරීන්ට කියනවා මේ අත්තනෝමතික පන්ති තහනම් වහාම ඉවත් කරන්න කියලා. ඉවත් නොකලොත් ඕනෑම කියමර්ගයක් ගැනීමට සුදානම් බවත් කියනවා. මර්දනය ඉස්සරහා අභියෝග බාධක ඉස්සරහ දන ගහන ව්‍යාපාරයක් නෙවයි ශිෂ්‍ය ව්‍යාපාරය.....”


Share this article :

0 comments:

Post a Comment