Home » » "political අපි " ජීවිතය දේශපාලනිකව කියවා ගැනීම සඳහා ඉදිරිපත් කෙරෙන ලිපි පෙළ...

"political අපි " ජීවිතය දේශපාලනිකව කියවා ගැනීම සඳහා ඉදිරිපත් කෙරෙන ලිපි පෙළ...

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Friday, September 27, 2013 | 1:59 PM


අප මිනිසුන්ය, මිනිසුන් යනු දේශපාලනික සත්වයන්ය. එසේනම් අපට අපව තේරුම් ගත හැක්කේ දේශපාලනිකව සියළු දේ කියවා ගැනීම තුළ පමණි. මිනිසුන් ලෙස ජිවත් වීමේදී අපට සම්බන්ද සියළු දේ පැහැදිලි කරගැනීමට හා නිරවුල් කරගැනීමට අපට අවශ්‍ය වේ. අප ජිවත් වන්නේ ස්වභාවික සංසිද්දීන් හා  මිනිසුන් විසින් ගොඩනැංවූ, නිර්මාණය කළ සාධකයන් රාශියක් තුලය. වත්මන් අපගේ ජීවිතය යනු එවැනි සාධකයන් රාශියකගේ බලපෑම මත ඒවා අනුව වෙනස් වෙමින් ඉදිරියට ඇදෙන දෙයකි. එබැවින් අපට ජීවිතය තේරුම් ගත හැක්කේ එම සාධකයන් ඇති වීමට හේතු හා ඒවාගේ  බලපෑම සිදුවන අකාරය පිලිබඳ නිරවුල් අවබෝධයක් ලබා ගැනීමෙන් පමණි. විවිධාකාරවූ එවන් සාධකයන් සඳහා සමාජය තුළ විවිධාකාරවූ පැහැදිලි කිරීම් රාශියක් ඇති අතර අප මිනිසුන් නම් එවන් පැහැදිලි කිරීම් අතරින් නිවැරදි කරුණු තෝරා බේරා ගත යුතුය. ඒ සඳහා සත්ව ලෝකයේ මිනිසාට පමණක් ලැබී ඇති චින්තන ශක්තිය උපයෝගී කරගත හැක. 

අතීත ප්‍රාථමික සාමුහික සමාජයේ  මිනිසාගේ ජිවිතයට බලපෑම් එල්ල කලේ බොහෝ විට ස්වභාවධර්මය පමණි. එබැවින් ඔවුනට ජීවිතය තේරුම් ගැනීම සඳහා ස්වභාවික සාධක පැහැදිලි කරගැනීමට උවමනා විය. "වැස්ස යනු දෙවියන් විසින් ඇති කරවන දෙයකි, අකුණු ගසන්නේ දෙවියන් කෝප වූ විටය" ආදී ලෙස ඔවුහු තම ජීවිතය තුළ තමාට ගැටෙන්නට සිදුවන දේ  තම දැනුම් ප්‍රමාණයට සාපේක්ෂව ඇදහිලි තුලින් එම සාධකයන් පැහැදිලි කරගත්හ. එදා සිට අද දක්වා සැලකීමේදී මිනිසාට ගැටීමට සිදුවන සාධකයන් බොහෝ සෙයින් වැඩි වී ඇති අතර, වත්මන වන විට අපට ස්වභාවික සාධකයන්ට අමතරව මිනිසා විසින්ම නිර්මාණය කරගත් ජිවන සාධකයන් රාශියකගේ බලපෑමට යටත්ව ජිවත් වීමට සිදුව තිබේ. එබැවින් අද දවසේ අපගේ ජීවිතය තේරුම් ගැනීම සඳහා එදා තිබූ ඇදහිලි විශ්වාසයන්ට  වඩා දියුණු ක්‍රමවේදයන් අවශ්‍ය වේ. අප යෝජනා කරන්නේ එසේ ජීවිතය තේරුම් ගැනීම සඳහා ඇති දියුණුතම ක්‍රමවේදය නම් සියල්ල දෙස විද්‍යාත්මක හා දේශපාලනික ඇසකින් බැලීම බවයි. ස්වභාවික සාධකයන්ට විද්‍යාව මගින් වඩා නිවැරදි (සම්පුර්ණ නිවැරදි යයි කිව නොහැක, මන්ද විද්‍යාව නැවතී නොමැති බැවිනි) පැහැදිලි කිරීමක් ලැබෙනු ඇති අතර මිනිසා විසින් නිර්මාණය කර අපට බලපෑම් එල්ල කරන සාධකයන් දේශපාලනික හැදෑරීමක් තුලින් නිරවුල් කරගත හැකි වනු ඇත.

මෙම ලිපි පෙළ මගින් එසේ අපට බලපෑම් ඇතිකරන සමාජ, සංස්කෘතික, ආර්ථික සාධකයන් ආදී විවිධ කරුණු පිළිබඳව අපට නිවැරදි යයි සිතෙන දේශපාලනික විද්‍යාත්මක  පැහැදිලි කිරීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර සමාජයේ පවතින බොහෝ පැහැදිලි කිරීම් රාශියක් අතරින් තමාට නිවැරදියි හිතෙන දේ පිළිගැනීමේ අයිතිය ඔබට ඇත. එසේම අප පවසන ඕනෑම කරුණක් සංවාදයට විවුර්ත වේ. උදාහරණ කිහිපයක් ගනිමු.

"සමහර මිනිසුන් දුප්පතුන් ලෙස ඉපදී සමහර මිනිසුන් අධි පොහොසතුන් ලෙස ඉපදෙන්නේ ඇයි?"

අතීත බ්‍රාහ්මණයන්ගේ පැහැදිලි කිරීම :    පොහොසතුන් මහා බ්‍රහ්මයාගේ හිස නළල ආදී උතුම් කොටස් වලින්  නිර්මාණය වී ඇති අතර, දුප්පතුන් මහා බ්‍රහ්මයාගේ යටි පතුල ආදී පහත් කොටස් වලින් නිර්මාණය වී ඇති නිසා.

කිතුනුවන්ගේ පැහැදිලි කිරීම :    සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ නියමය අනුව එසේ සිදු වී ඇත.

බෞද්ධයන් ගේ පැහැදිලි කිරීම :    මේ සඳහා හේතු වී ඇත්තේ කර්මය, චුති සිත පෙර ආත්මයන්ගේ කල කුසල් අකුසල් ආදී කරුණු වේ.

මුසල්මානුවන්ගේ පැහැදිලි කිරීම :    අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත අනුව එසේ සිදු වී ඇත.

ධනවාදය පිලිබඳ පොත් ලියූ ඇඩම් ස්මිත්ගේ පැහැදිලි කිරීම :    එක් අධි පොහොසතෙකු බිහිවීමට ඔහුට සේවය කරන දුප්පතුන් 100 ක් හෝ සිටීම අනිවාර්ය ලක්ෂණයක් වන අතර, ධනවාදයේ පැවැත්ම සඳහා එසේ සිදුවීම අනිවාර්ය වේ.

අපගේ පැහැදිලි කිරීම :    මිනිසාගේ මුල් අවදියේදී එනම් ප්‍රාථමික සාමූහික සමාජයේදී දුප්පතුන් හෝ පොහොසතුන් ලෙස දෙකොටසක් නොවීය. සියළු දෙනා ස්වභාවධර්මය සමග ගැටෙමින් ගෝත්‍ර ලෙස වනයේ තැන් තැන්හි ජිවත් වූහ. නමුත් දැනුමේ තාක්ෂණයේ දියුණුවත් සමග යම් මට්ටමකට දියුණු ගෝත්‍ර ඇතිවූ අතර ඔවුහු ආර්ථික සමාජයීය වාසි උදෙසා  නොදියුණු ගෝත්‍ර යටත් කරගැනීමත් සමග පන්ති සමාජය බිහි විය. පන්ති සමාජයේදී තව දුරටත් මිනිසාට ජීවත්වීම සඳහා  ගැටුම ඇත්තේ ස්වභාවධර්මය සමඟ පමණක් නොවන අතර මිනිසා හා මිනිසා අතර ගැටුමක් නිර්මාණය විය. එසේ නිර්මාණය වූ ගැටුම අද දවස වන  වහල්, වැඩවසම්, ආදී අවදීන් පසුකරගෙන ධනේශ්වර යුගය දක්වා පන්ති භේදය අරක්ශා කරගනිමින් පැමිණ ඇති අතර අද දවස වනවිට  ප්‍රාග්ධනයේ  හිමිකාරීත්වය හා ක්‍රියාකාරීත්වය අලුතින් ඉපදෙන මිනිස් ජිවියා දුප්පතෙකුද නැතහොත් පොහොසතෙක්ද , අධි පොහොසතෙකුද යන්න තීරණය කරයි.

"වර්තමානයේ බොහෝ දෙනෙකුට ආදරය පීඩාවක් වී ඇත්තේ ඇයි?"

විවිධ පැහැදිලි කිරීම් ප්‍රමාණයක්    :

 "දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඉස්සර අය වගේ නෙමෙයි, උන්ට හිතන්න බෑ, ඔහේ හිතුමතේ love කරන්න ගන්නවා, ඉතින් කෙල වෙන්නැතුව තියෙයිද?"

 " වත්මන් තාක්ෂණ දියුණුවේ අනිසි ප්‍රථිපල නිසා දරුවන්ගේ ඔලු විනාස වෙලා ආදරයයි කාමයයි පටලවා ගන්නවා, ඒකයි හේතුව"

 "ආදරය කියන්නේ එහෙම දෙයක් තමා, ආදරය තුළ විරහව ස්වාභාවිකයි, ඒක මිනිසාගේ ස්වභාවය, ඒක වෙනස් කරන්න බෑ"

 " කුල මල ජාති ආගම් ගලපාගෙන තමන්ට ගැලපෙන කෙනෙක් හොයාගත්තනම් එහෙම වෙන්නේ නෑ"

 " ඔක්කොම දේවල් වෙන්නේ දෛවයට අනුව, තමන්ට අත්දකින්න වෙන ආදරය පිලිබඳ අත්දැකීම් සිදු වෙන්නේ තමන් උපදින වෙලාවේ ග්‍රහ පිහිටීම අනුවයි."

අපගේ පැහැදිලි කිරීම :  වර්තමානයේ තියෙන සමාජය සියල්ල මිල මත පදනම් වූ එකක් වන අතර මිනිසුන්ගේ ජාති ලක්ෂණයන් සියල්ල යටපත් කරමින් ව්‍යාජ වටිනාකම් නිර්මාණය කර ඇත. එනම් අද සමාජයේ උතුම් ගති ඇති කෙනෙකුට වඩා මුදල් වැඩියෙන් ඇති අයෙක් වටිනා පුද්ගලයෙකි, කුමන හෝ ආකාරයකින් ප්‍රසිද්ද අයෙක් වටිනා චරිතයකි. සෑම මිනිසෙක් හෝ ගැහැනියක් තුලම තමාගේ සහකරු පිළිබඳව "ආශාවේ වස්තු විෂය" නම් මනෝ චිත්‍රයක් ඇත. ඔවුන් සිදු කරන්නේ තම ආශාවේ වස්තු විෂයට  වඩාත් ගැලපෙන පුද්ගලයා තම සහකරු ලෙස තෝරා ගැනීමයි. සැබෑ ලෙසනම් එම චිත්‍රය ගොඩනැගිය යුත්තේ සැබෑ මානව ජාති ලක්ෂණයන්ගේ වටිනාකම් මත  පදනම්ව වුවත් වත්මන වන විට එම චිත්‍රය ගොඩනැගෙන්නේ ඔහු හෝ ඇය සතු විය යුතු මිල මුදල් ප්‍රමාණය, ඔහු හෝ ඇය  භාවිතා කරන පරිබෝජන භාණ්ඩ, ඉඩකඩම් ප්‍රමාන, යාන වාහන ප්‍රමාණය, ආහාර ගන්නා ක්‍රමය, කොන්ඩේට  පාවිච්චි කරන  shampoo වර්ගය, ඔහු හෝ ඇය කන චොකලට්ටුවේ දවටනයේ පැහැය, ඔහු හෝ ඇයගේ දක්ෂතාවයන්ට සමාජයෙන් නිර්මාණය කර ඇති වටිනාකම් ආදී ධනේශ්වර ක්‍රමය විසින් නිර්මාණය කල ව්‍යාජ වටිනාකම් මත පදනම්ව වේ.  එලෙස ආසාවේ වස්තු විෂය ව්‍යාජ වටිනාකම් මත පදනම්ව ගොඩනැගුනු කල සැබෑ ආදරයක් සෙවීම සිදු විය නොහැක්කකි. මෙම වටිනාකම් හරහා තම සහකරු හෝ සහකාරිය මනින සමාජයක බොහෝ දෙනෙකුට සෑහීමකට පත්විය හැකි ආදරයක් සෙවීම තමාට පීඩනයක්ම බවට පත්වීම වැළක්විය නොහැක.

මේ ආකාරයට ඔබට අපට ඇති ප්‍රශ්න රාශියක් පිළිබඳව සාකච්චා කිරීම හා ඒවා පිළිබඳව අපගේ පැහැදිලි කිරීම් ඔබ හමුවට ඉදිරිපත් කිරීම මෙම ලිපි පෙළ මගින් සිදුවනු ඇති අතර එම කරුණු පිළිබඳව බුද්ධිමත් ඔබගේ සංවාදශිලී අදහස් බලාපොරොත්තු වන්නෙමු.
Share this article :

1 comments:

  1. මේකෙ අකුරුවල සයිස් එක තව පොඩ්ඩක් ලොකු කරන්න. බ්ලොග් එකේ කලර් - අකුරු මැච්කරන්න. කියවන කෙනාගෙ ඇහැට අමාරැයි. මේ බ්ලොග්එකේ කලර් මැචින් බලන්න.

    http://www.3rdeyecircle.blogspot.com/

    ReplyDelete