Home » » 1, 2 හා 3 පන්තිය...

1, 2 හා 3 පන්තිය...

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Monday, September 30, 2013 | 1:34 AM

ඇඟිල්ලක් ගහන්න තරම්වත් ඉඩ නැති වුනත් තුන්වෙනි පන්තියේ යන්න ටිකට් ගත්තා නම් දුම්රියේ  තුන්වෙනි පන්තියේ යා යුතුය. දෙවැනි පන්තියේ ඉඩ ඇත. පළමු පන්තියේ ඉඩ ඇත. නමුත් තුන්වෙනි පන්තිය තෙරපිය යුතුය, ලෙඩුන් බැරි බැරි ගාතේ ඉන්න අය සිටියද යා හැකි විදියට තුනේ ටිකට් නම් තුනේම යා යුතුය. පන්ති බේදය නම් එයයි. පොදු ප්‍රවාහ සේවයක් වූ දුම්රිය කියා ඊට වෙනසක් නැත.

පහසුවෙන් ගමනාන්තයට යන්නට නම් වැඩි මුදලක් තිබිය යුතුය.

දුම්රිය අලුත්වැඩියා කරන, දුම්රියේ අනෙකුත් අවශ්‍යතා සපුරන සේවකයා යා යුත්තේ තුන්වෙනි පංතියේය. පළමු හා දෙවන පන්ති වල දී ඔවුන්ගේ කාර්යය නිසි පරිදි ඉෂ්ට නොවී තිබුනේ නම් එම පන්තිවල ගමන් කරන අයට අදාළ පසුව නොලැබෙනු ඇත.

නමුත් සියල්ල විකිණීම මත පදනම් වූ තැන සිදුවන පන්ති බෙදීම එයයි. ඉඩ පහසුකම් තිබුනද මුදල් නොමැති නම් අදාල පුරප්පාඩුව, හිස් තැන පෙරවීම කල නොහැක.

අධ්‍යාපනයේ දී සිදුවන්නේ එයමය. අද වන විට අධ්‍යාපන බලධාරීන් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙල හරහා ඉදිරියේදී අධ්‍යාපනය මුදලට ගත හැකි භාණ්ඩයක් බවට පත් වනු ඇත. එහිදී මුදල් ඇති ප්‍රමාණය අනුව තම අධ්‍යාපන සුදුසුකම තීරණය වනු ඇත. ඇතැමෙකුට පෙර පාසල් අධ්‍යපනයෙන්ම ස්වකීය අධ්‍යාපන ජීවිතය හමාර කිරීමට සිදුවනු ඇත. එක් එක් මට්ටමේ දී එක් එක් පුද්ගලයාට අධ්‍යාපනය හැර යාමට සිදු වීම අනිවාර්යයයෙන්ම සිදුවන්නකි.

ඇතැම් විට පහසුකම් කොපමණ තිබුනද තව බොහෝ දෙනෙකු වෙනුවෙන් ඉඩකඩ විවර කල හැකිව තිබුණද අදාළ අධ්‍යාපන ආයතනයට සම්බන්ධ වීමේ මුල්‍ය ප්‍රතිපාදන ඇති අය නොමැති වීම තුල ඒ ඉඩ කඩ සපිරීමක් සිදු නොවනු ඇත.

අඩු මුදලට අධ්‍යාපනය සැපයෙන තැනට වැඩි පිරිසකට යාමට සිදු වනු ඇත. එහිදී තිබෙන ප්‍රතිපාදනයට අවශ්‍ය ප්‍රමාණය කොපමණදැයි නොසලකා මුදල්මය හේතුව මත විශාල පිරිසක් බඳවා ගනු ඇත. එවැනි ආයතන තුලින් සැපයෙන අධ්‍යාපනයේ ගුණාත්මක  බව පිලිබඳ කතා කිරීමක් එතනින් එහාට අවශ්‍ය වේද?

පාසලට අවශ්‍ය මුදල සොයා ගැනීමට පොල් ගෙඩි 8 ක් සොරකම් කර දැරියක් අපට හමු වන්නේ මෑත යුගයේ දීය.  නමුත් අනාගතයේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ගෙවීමට පොල් ගෙඩි 8 ප්‍රමාණවත් නොවනු ඇත. ලොකු ලොකු සොරකම් කරන්නට සිදු වනු ඇත. මිනී මරා හෝ මුදල සොයා ගැනීමට සිදු වනු ඇත.
වෙළඳපල ඉලක්ක කර සැපයෙන අධ්‍යාපනය තුල අධ්‍යාපනය නොලැබූ අයෙකුට තරඟ කිරීමට සිදු වීම හරහා මිනී මැරීමද සිදු වීම වැළක්විය නොහැකිය.

පවතින මනුෂ්‍යත්වය නරුමත්වයට මාරු වීමත්, මනුෂ්‍යත්වය රැකීම නොව නරුමත්වය රැකීම තුල පැවැත්ම තහවුරු වීමත් සිදු වනු ඇත.

ගොවියාගේ පුතාට ගොවිකම කල නොහැක, කම්කරුවාගේ පුතාට කම්කරු රස්සාව කල නොහැක, සුස්ලු සේවකයාගේ දරුවාට, පිරිසිදු කිරීමේ සේවකයාගේ දරුවාට ඒ රස්සා කල නොහැක. හේතුව එම රස්සාවට මේ සමාජය සලකන පහත් භාවය නොව, අස්වනු විකුණා ගත නොහැකිව තම පියා සිය දිවි නසාගනිද්දී, සිය පියාට ලැබෙන සොච්චම් පඩියෙන් තමනට, අම්මට, නංගිට, මල්ලිට  වේලක් හරියට බඩපිරෙන්නට කෑම ටික නොලැබෙද්දී, ප්‍රශ්න දරා ගත නොහැකි තාත්තා මත් පැන් බී ගෙදර විත් අම්මට තඩි බාද්දී, ඉගෙනීම අත්හල අක්කා සින්න වෙන්න යන ගේ ඉඩම බේරා ගන්නට වයසක මුදලාලිගේ ඇදට යද්දී, ගෙදර දොර ප්‍රශ්න හමුවේ සොයා බලන්නට බැරි වූ මල්ලි අයාලේ යද්දී,

එහා ගෙදර එක කරෙකින් ගෙදර එද්දී, දවස ගානේ එහා ගෙදරින් සාදා, සංගීත සාජ්ජේ, බාල් නැටුම් ඇහෙද්දී දකිද්දී, අපේ තාත්තා කසිප්පු ගසා ගම වටේ කෑගහද්දී, එහා ගෙදර තාත්තා විස්කි, බ්‍රැන්ඩි බී ආතල් ගනිද්දී මිනි මරා හෝ ඉගෙන ගත යුතුය. එහා ගෙදර සිටින්නේ කුඩා කල එකට වැලි බත් ඉවූ එක වුවද මරාගෙන ඉගෙන ගත යුතුය, ගේ දොර ඉඩකඩම් පාවා උගස් කර ඉගෙනගත යුතුය. එහා ගෙදර එක ගිය පාසලට ගොස් ඒ විශ්වවිද්‍යාලයටම ගොස් ඒ උපාධිය ගත යුතුය. ඒ රස්සාවම කල යුතුය. නැත්නම් ගොඩ යාමක් නැත.

අයිතියක් විය යුතු තැනදී අධ්‍යාපනය වරප්‍රසාදයක් වීමේ ප්‍රතිපලය මෙයයි.

හොඳ වෙළඳ පලක් තිබේ නම් විකුණන්නට හැකි සෑම දෙයක්ම විකිණිය යුතු බව අපේ සහෝදරයෙකුට කෙනෙක් කියා තිබිණ. කතාව හරිය හොඳ වෙළඳ පලක් ඇත්නම්,

තමන් හැදු වැඩු අම්මා විකිණිය හැකිය...
තම ආදරණීය බිරිඳ පෙම්වතිය විකිණිය හැකිය...
තම දරුවා විකිණිය හැකිය...
තම සහෝදරිය විකිණිය හැකිය...

අතැති මුදල අනුව දෙන්නේ කවුදැයි තීරණය කල හැකිය..
පළමු පන්තියට, දෙවන සහ තුන්වෙනි පන්තියට යන්නේ අම්මාද, බිරිඳ ද, දියණියද යන්න තීරණය කල හැකිය..

අවසානයේ අපිද කාට හෝ විකිනෙනු ඇත...

විකීනිමෙන් මිදෙන්නට නම් විකුණන සමාජය ඉවත් කල යුතුව ඇත...
ඊට එරෙහිව අරගල කල යුතුව ඇත...





Share this article :

0 comments:

Post a Comment