Home » » “මාගේ මේ ව්‍යායාමය ධනපතීන්ගේ හිත සුව පිණිස, ගත සුව පිණිස අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමටය.”

“මාගේ මේ ව්‍යායාමය ධනපතීන්ගේ හිත සුව පිණිස, ගත සුව පිණිස අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමටය.”

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Friday, October 16, 2015 | 6:58 PM




රජුන් සහ කේවට්ටයන් තනන්නට මුලු මහත් සමාජයක් අවිඥානිකව මෙහෙයවුනු රාජපක්ෂ සමය ඔබට තවම අමතක නැතුව ඇති බව නිසැකය.අවිඥානික මහින්ද රජුගේ පාලනය නිම වුවද එස්.බී.දිසානායක වැනි කේවට්ටයන් මහින්ද යුගය පසු කරමින් මෛත්‍රිපාල - වික්‍රමසිංහ ආණ්ඩු තුලටද රිංගා ඇත.එස්.බී. ගේ ජඩකම ඉටුකිරීමට එස්.බී.වෙනුවට අලුත් මුණු කරලියට පැමිණෙමින් ඇත.අධ්‍යාපන පෞද්ගලිකරණය සම්බන්ධයෙන් එස්.බී.දිසානායක මැදිහත් වූ ආකාරය ඔබට මතක ඇතුවා නිසැකය. එස්.බී.දිසානායක හුදෙක් ඇමතිවරයෙක් නොවන්නේ රටේ පාලක පන්තියට, ධනේශ්වර ක්‍රමයට තිබූ අර්බුද සියල්ල කිසිදු හිරිකිතයකින් තොරව තමන් වෙත පවරා ගනිමින් ධනේශ්වරය ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කල නිසාය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කුඩල්ලන්, කිනිතුල්ලන් ලෙස බැන වදිමින් රාජ්‍යයේ පුර්ණ සහයෝගය සහිතව හිටපු අධ්‍යාපන ඇමතිවරයා ලෙස “මාලඹේ - SAITM හොර උපාධි කඩය ඇරඹීමට පිඹුරුපත් සැකසීමටත් ඒ සඳහා රජයෙන් මිලියන 600ක ආධාර ලබා දීමටත් ඔහු ක්‍රියා කල අකාරය අපි දනිමු. 

එස්.බී. ගේ භූමිකාව රඟදැක්වීමට දැන් අලුත් මූණු පැමිණ ඇත.හවුල් ආණ්ඩුව ජනතාවට ඉටුකරදුන් වෙනස එයයි.මේ කතාකරන්නේ හවුල් ආණ්ඩුවේ තවත් කේවට්ටයකු වන රාජිත සේනාරත්න ගැනයි.රාජිත සේනාරත්න යනු රටේ අධ්‍යාපන ඇමැතිවරයාවත්, අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයාවත් නොවේ. ඔහු රටේ සෞඛ්‍ය ඇමතිය. ඔහු සිතන ආකාරයට රටේ අධ්‍යාපන රටාව පවා වෙනස් විය යුත්තේ ඔහුට අනුවය.වෙනසක් අවශ්‍ය වූ ඔබට දැන් මුහුණ පමණක් වෙනස් වූ කලින් පැවති ක්‍රමයේම දිගුවක් දක්නට ලැබේ. එස්.බී. වෙනුවට රාජිත පැමිණ ඇත. සිදුවන්නේ එම ක්‍රියාවලියමය.  

එස්.බී. මුල පිරූ රාජිතලා ඉදිරියට ගෙනයන ව්‍යාපෘතියකි මාළඹේ හොර උපාධි කඩය.නව රජය මගින් මාළඹේට වෛද්‍ය උපාධියට අමතරව ඉංජිනේරු උපාධි දෙකක් විකිනිමටද අවස්ථාව ලබා දුනි.පසුගියදා එක්තරා රුපවාහිනී වැඩසටහනකට රාජිත පැමිණ තිබුණි. ඔහු අනතුරු අගවයි.තමා කෙසේ හෝ මාලඹේ සම්මත කරන බව පවසයි.තමන් පෞද්ගලික වෛද්‍ය පීඨවලට විරුද්ධ නොවන බවත් තවත් පෞද්ගලික වෛද්‍ය පීඨ ආරම්භ කිරීමට යෝජනා ලැබී ඇති බවත් ඒවා කෙරෙහි මාලඹේ බලපාන නිසා පළමුව මාළඹේ සම්මත කරගත යුතු බව ඔහු පවසයි.

නිදහස් අධ්‍යාපනය යනු ළිංමැඩි චින්තනයක් බව ඔහු පවසයි.ඔහුට අනුව ශිෂ්‍ය ව්‍යාපාරය යනු ලෝකයේ නව විභවතාවයන් ගැන කිසිත් නොදන්නා සම්ප්‍රදායික ව්‍යුහයකි.නමුත් අප දන්නා සත්‍ය නම් දිනෙන් දිනම ඉහල යන්නේ අධ්‍යාපනය විකිණීමට එරෙහි සටන්ය.දිනෙන් දිනම ඉහල යන්නේ අයිතීන් දිනාගැනීමේ අරගලයි.දිනෙන් දිනම ඉහල යන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයට එරෙහිව ගොඩනැගෙන අරගලයි.දිනෙන් දිනම මිනිසුන් තුල ප්‍රශ්න කෙරෙන්නේ ධනවාදයේ ඇති අසමත්කම ගැනයි.ළිං මැඩියෙකු වන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය ද නැත්නම් රාජිත සේනාරත්න වැනි චරිත දැයි අපි නොදනිමු.

රාජිත මේ ක්‍රියාත්මක කරන්නේ ඔහුගේ ව්‍යාපෘතියක් නොව අධ්‍යාපනය විකිණීමට බලකරන ගෝලීය ප්‍රාග්ධනයට උවමනා ව්‍යාපෘතියයි.ඊයේ එස්.බී. අද රාජිත හෙට තව කෙනෙකුන් මෙම ප්‍රාග්ධනයේ උවමනා ඉටු කිරීමට පැමිණෙනු ඇත.නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අපට නිශ්චිත දිශාවක්, නිශ්චිත අරමුණක් ඇත.ඒ නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමේ දැවැන්ත අරගලයයි.ඉදින් මාළඹේ සටන හෙට දවසේ අප ජයග්‍රහණය කල යුතුය.ඒ මාළඹේ දෙමාපිය සංසදය පවසන අන්දමේ තවත් කෙනෙකු අධ්‍යාපනය ලැබීම පිළිබඳව කුහක සිතුවිල්ලකින් නොවේ.සමස්ත සමාජයක දැනුම මුදලට විකිණීමට එරෙහිව අරගල කලයුතුය.ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස සටන් කර ජය ගත හැකි බව අපි ඉතිහාසයක් පුරා සපත කර ඇත.ඉදින් සටනකින් තොර ජයග්‍රහණයක් ද නැත.සටන් සගයිනි, විප්ලවයේ ගිනිසිළුව දල්වන්න.සටන් කරන්න... සටන් කරන්න... සටන් කරන්න...




Share this article :

0 comments:

Post a Comment