Home » » ජ.වි.පෙ. නිහඩතාව සම්බන්දව අන්තරෙන් ජ.වි.පෙ.ට ලිපියක්

ජ.වි.පෙ. නිහඩතාව සම්බන්දව අන්තරෙන් ජ.වි.පෙ.ට ලිපියක්

Written By Lahiru on Sunday, September 6, 2015 | 11:28 PM












04-09-2015
ටිල්වින් සිල්වා,
ප‍්‍රධාන ලේකම්,
ජනතා විමුක්ති පෙරමුණ.
464/20,
පන්නිපිටිය පාර,
පැලවත්ත,
බත්තරමුල්ල.

සහෝදරය,
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයට හා මා වෙත එල්ල කර ඇති ව්‍යාජ චෝදනාව හා ඒ පිළිබඳ ඔබගේ නිහ`ඩතාවය සම්බන්දවයි.
පසුගිය අගෝස්තු 12 වැනිදා ඔබ පක්ෂයේ ශිෂ්‍ය අංශය වන ‘සමාජවාදී ශිෂ්‍ය සංගමය’ මඟින් අප වෙත ඉතාමත් බරපතල චෝදනාවක් එල්ල කර තිබේ. ඔබ විසින් ‘නජිත් ඉන්දික මහතා විසින් හෘදසාක්ෂියේ සම්මුතියේ ව්‍යාජ මුද්‍රණයක් බෙදාහැරීම සම්බන්දවයි’ යන සිරස්තලය යටතේ මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක් මඟින් මෙම චෝදනාව එල්ල කර තිබිණී. එම නිවේදනයේ වගකීම ලෙස එහි ජාතික කමිටු සාමාජික රංගන දේවප‍්‍රිය මෙන්ම ඔබගේ වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස සහෝදරයාගේ නමද දක්වා තිබිණී. මෙම නිවේදනයෙන් චෝදනා කර තිබුණේ අප විසින් ඔබ පක්ෂය මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජනතාවට බෙදා හරින ලද මැතිවරණ ප‍්‍රකාශනයක් ව්‍යාජ ලෙස මුද්‍රණය කර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය තුළ බෙදා හැර ඇති බවටයි. එමෙන්ම මීට පෙරද අප විසින් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ එවැනි ‘නොපනත්කම්’ සිදුකර ඇති බවටද එම නිවේදනය මඟින් දක්වා ඇත. මෙය අතිශයින් බරපතල චෝදනාවකි.
මෙයට පසුබිම් වූ සිදුවීම වූයේ ඊට පෙර සතියේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සැසිවාරය තුළදී අප විසින් සිදුකළ ප‍්‍රධාන දේශපාලන පක්ෂවල මැතිවරණ ප‍්‍රකාශන සම්බන්ද සාකච්ඡුාවයි. එහිදී අප එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන පක්ෂවල මැතිවරණ ප‍්‍රකාශන කියවමින් එම ප‍්‍රතිපත්තීන් හා කරුණු පිළිබඳ සංවාදයක් සිදුකළෙමු. ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප අතර නිරන්තරයෙන් මෙවැනි සංවාදයන් පවත්වන අතර අප පවතින දේශපාලන තත්වය නිවැරදිව අවබෝධ කරගන්නේ නිරන්තරව සිදුකරන මෙම දේශපාලන සාකච්ඡුා තුළිනි. එමෙන්ම මෙය පළමු අවස්ථාවද නොවන අතර, මැතිවරණයක් අභිමුවදී එක් එක් පක්ෂ මැතිවරණයේදී ඉදිරිපත් කරන ලද ප‍්‍රකාශන, පොරොන්දු ආදිය ගැන අපි සාකච්ඡුා කරන්නෙමු. මීට මාස කිහිපයකට පෙර ජනාධිපතිවරණයට පෙරදීද අපි මෙසේම මැතිවරණ ප‍්‍රකාශන කියවමින් මෙවැනි සාකච්ඡුාවක් සිදුකළ අතර ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම තුළින් ජනතාවගේ ගැටළු වලට පිළිතුරු නොලැබෙන බවත්, මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති කිරීම තුළින් අධ්‍යාපනය හෝ වෙනත් ඔනෑම ක්ෂේත‍්‍රයක සාධනීය වෙනසක් සිදුනොවන බවත්, අධ්‍යාපනය විකිණීම හා ඊට එරෙහි සටන් වලදී දක්වන ප‍්‍රතිචාරය සම්බන්දයෙන් පෙර පැවති ප‍්‍රතිපත්තිම ඉදිරියට ගෙන යන බවත් ලෙස නිවැරදිව දේශපාලන තත්වය කියවා ගැනීමට හැකි වූයේ එම තත්වය මත පදනම්වය. අප ‘වක‍්‍රාකාර ලෙසවත් ප‍්‍රධාන අපේක්ෂයන්ට සහයෝගය නොදැක්විය යුතුය’ යන මේ වන විට නිවැරදි බව ඔප්පු වී ඇති ස්ථාවරයට එදා පැමිණියේ ඒ අනුවයි.
එම නිසා මෙම සාකච්ඡුාවද එවැනි සාකච්ඡුාවක් වූ අතර එහිදී ඔබ පක්ෂය සම්බන්දයෙන් කිසිදු විශේෂයක් සිදු නොකළ අතර එවැනි අවශ්‍යතාවයක්ද අප හට නැත. ඒ සඳහා අපි පදනම් කර ගනු ලැබුවේ එක් එක් පක්ෂ මැතිවරණයේදී ජනතාවට බෙදා හරින ලද ප‍්‍රකාශණ වල මුද්‍රිත හෝ අන්තර්ජාලයේ නිළ වෙබ් අඩවි වලින් බාගත කරන ලද පිටපත්ය. ඔබගේ පක්ෂයේ ප‍්‍රකාශනයද සාකච්ඡුාව සඳහා අප ලබාගන්නේ ඔබගේ නිළ වෙබ් අඩවියෙන් බාගත කර ගනිමිනි. මෙහිදී ප‍්‍රතිපත්තිමය වශයෙන් වෙනස් මැතිවරණ ප‍්‍රකාශන දෙකක් තිබීමක් ගැන අත්දැකීමක් මීට පෙර නොවූ බැවින් අපට මෙම මූලාශ‍්‍ර පිළිබඳ සැක කිරීමටද කිසිදු කරුණක් නොවිනි. එමෙන්ම අධ්‍යාපනය විකිණීමට පක්ෂව එහිදී ඉදිරිපත් කර තිබූ කරුණු ගැන අප හට සැකයක් මතු නොවූයේ අහම්බයෙන් නොවේ. මීට පෙර ආසන්න කාලයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි විකිණීමට අනුමැතිය ලබා ගත් පනත, සාගර විශ්වවිද්‍යාලයේ උපාධි විකිණීමට අනුමැතිය ලබා ගත් පනත, අපරාධ නඩු විධාන සංග‍්‍රහය ආදී පනත් වලදී එවාට විරුද්ධ නොවීම මෙන්ම මෑත කාලීනව අධ්‍යාපනය විකිණීම සඳහා රජයක් ගෙන ආ ප‍්‍රධානතම ප‍්‍රතිසංස්කරණය වූ පසුගිය ජනවාරි 29 ගෙන ආ පාසැල් තුළ මුදල් අය කිරීම නීතිගත කිරීමේ චක‍්‍රලේඛය සම්බන්දව ඔබ අනුගමනය කළ නිහ`ඩ පිළිවෙතද අප දැක තිබූ බැවිනි. එමෙන්ම මෑත කාලයේ ඔබ පක්ෂයේ අපේක්ෂකයින් රූපවාහිනී දේශපාලන සංවාද ආදියේදී එම මතයම දරමින් අදහස් ඉදිරිපත් කරනු අප දැක තිබුණි. එබැවින් අප සාකච්ඡුාවට යොදා ගැණුනු ඔබගේ මැතිවරණ ප‍්‍රකාශනය පිළිබඳව අප හට සැකයක් හෝ ගැටළුවක් පැන නැංගේ නැත. මෙම සාකච්ඡුාවෙන් පසුවද අප ඔබගේ පක්ෂය ඉලක්ක කර ගනිමින් කිසිදු කටයුත්තක් සිදුනොකළ නමුත් (එවැනි අවශ්‍යතාවයක්ද ශිෂ්‍ය ව්‍යාපාරයට නැත.* අපගේ දේශපාලන ස්ථාවරයන් මෙම සාකච්ඡුාව මත පදනම් විය.
නමුත් අප සාකච්ඡුා කළ ඔබගේ මැතිවරණ ප‍්‍රකාශනය වැරදි එකක් බවත්, එවැනිම හැඩහුරුකමක් සහිත තවත් ‘නිවැරදි’ එකක් පවතින බවත් දින කිහිපයක් තුළ සාකච්ඡුාවක් මතුවූ අතර අපි ඉන්පසු ඒ පිළිබඳව සොයා බැලීමක්ද සිදු කරන ලදී. එමෙන්ම මෙම ප‍්‍රකාශන දෙක අතර ප‍්‍රතිපත්තිමය වෙනසක්ද තිබේ. යම් වරදක්, වංචාවක් සිදුවී ඇත්නම් අප විසින් නොව, ඔබ විසින් නිවැරදි කළ යුතු වන මෙවන් ප‍්‍රශ්නයක් වෙනත් තලයකට තල්ලූ වී යන්නේ පසුගිය 12 වනදා ඔබගේ ශිෂ්‍ය අංශයේ එම මාධ්‍ය නිවේදනයත් සමඟිනි. එය අපව පුදුමයට පත්කළ අතර සංවිධානයක් ලෙස අපට ඉතිහාසයේ එල්ල නොවූ නව චෝදනාවක් එල්ල කරන ලද අවස්ථාවක් විය.
ඔබගේ මාධ්‍ය නිවේදනයෙන් පැය 24 ක් ඉක්ම යන්නට පෙර, අගෝස්තු 13 වනදා අප විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මෙම අභූත චෝදනාවට පිළිතුරු ලබා දෙන ලදී. (එහි වීඩියෝ දර්ශන තවමත් සමාජ ජාල වෙබ් අඩවි වල සංසරණය වෙමින් පවතී.* එහිදී මීට අදාළ සමස්ත පසුබිම අප විසින් පැහැදිලි කරන ලදී. සියලූ ප‍්‍රධාන පක්ෂ වල මැතිවරණ ප‍්‍රකාශන පිළිබඳ අප සංවිධානය විසින් සාකච්ඡුා කළ අයුරු මෙන්ම එම ප‍්‍රකාශන අප ලබාගත් අයුරුද එහිදී පැහැදිලිව ප‍්‍රකාශ කරන ලදී. ඒ හරහා ඔබගේ චෝදනාව කරුණු සහිතව, මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කළ අපි අවසානයේ කරුණු දෙකක් ඉදිරිපත් කළෙමු. එනම් අප වෙත ඇඟිල්ල දිගු කිරීම නවතා, එවැනි ඔබ විසින් මුද්‍රණය නොකළ ව්‍යාජ ප‍්‍රකාශනයක් ඇත්නම් වහාම මාධ්‍ය ඉදිරියට පැමිණ එම ව්‍යාජ ප‍්‍රකාශනය හා එහි ව්‍යාජ යැයි ඔබ පවසන කරුණුද පෙන්වමින් ප‍්‍රසිද්ධියේ එම ප‍්‍රකාශනය ප‍්‍රතික්ෂේප කරන ලෙසයි. එවිට කිසිවෙකුට වැරදීමකින් හෝ තව දුරටත් එය ඔබගේ බව කියා සිටීමට නොහැකි වනු ඇත. අප දන්නා පරිදි සාමාන්‍යයෙන් මෙවැනි සිදුවිමකදී අපද ඇතුළු  ඕනෑම සංවිධානයක් අනුගමනය කරන පළමු හා හදිසි පියවර එයයි. 
එමෙන්ම එය කෙසේ වුවත් අපගේ දෙවැනි කරුණ හා අභියෝගය වූයේ ඔබ දැනටමත් අප වෙත චෝදනා එල්ල කර ඇති තත්වයක් තුළ වහාම මෙම චෝදනා මාධ්‍ය නිවේදනයෙන් ඔබ්බට ගොස් තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසයි. හුදු මාධ්‍ය නිවේදනයක් නිකුත් කර, විශ්ව විද්‍යාල තුළ බෙහෝ ස්ථානවල එය අලවමින් ශිෂ්‍යයන්ට එය ප‍්‍රදර්ශනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් දියත් කර, පසුව අපගේ කරුණු දැක්වීමෙන් පසු කිසිත් සිදු නොවූ ලෙස නිශ්ශබ්දව සිටීමට තරම් මෙය සරල චෝදනාවක් නොවේ. මෙය අපගේ සංවිධානයේ විශ්වාසනීයත්වය අභියෝගයට ලක් කර ඇති සිදුවීමකි. එබැවින් එම චෝදනා අපි පැහැදිලිව, කරුණු සහිතව ප‍්‍රතික්ෂේප කර ඇති තත්වයක් තුළ එක්කෝ ඔබ මෙම චෝදනා විධිමත් ලෙස එල්ල කරමින් මෙම කරුණ පැහැදිලිව ඔප්පු කිරිමට කටයුතු කළ යුතුය. එවිට එයට අදාළ සියළු කරුණු දක්වමින් (එම ප‍්‍රකාශන ලබා ගත් ආකාරය, ඔබගේ නිළ වෙබ් අඩවියෙන් බාගත කරගත් ආකාරය හා දිනය හා නිශ්චිත වේලාවන්, එය මුද්‍රණය කිරීම හා කර ඇති ස්ථාන සම්බන්දව අප දන්නා කරුණු ආදී සියල්ල දක්වමින්* අපට එල්ල කර ඇති මෙම අභූත චෝදනාව වැරදි එකක් බවට තහවුරු කිරීමට අපට කටයුතු කළ හැකිය. එසේත් නැතිනම්, එසේ කිරීමට ඔබ කටයුතු කරන්නේ නැතිනම් වහාම අප වෙත එල්ල කර ඇති මෙම චෝදනාව ඉල්ලා අස්කර ගත යුතුය. ඒ මෙය සරල කාරණාවක් නොවන බැවිනි.
අද දිනය වන විට මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වා මෙම කරුණු දෙක ඉදිරිපත් කර දින 20 ක් ඉක්ම ගොසිනි. නමුත් ඔබ පක්ෂයෙන් කිසිදු පියවරක් මෙම ගැටළුව සම්බන්දයෙන් තබා නැත. අපට එල්ල කර ඇති චෝදනාවද තවමත් එසේමය. දැවැන්ත රාජ්‍ය මර්ධනය හා රාජ්‍යයේ අවලාද ව්‍යාපාර හමුවේ ඉතා අසීරුවෙන් දශක ගණනාවක් අඛණ්ඩව අයිතීන් වෙනුවෙන් අරගල කළ ශිෂ්‍ය ව්‍යාපාරය වැනි බහුජන ව්‍යාපාරයක් සම්බන්දව ඔබේ මෙම හැසිරීම ගැටළු සහගතය. එමෙන්ම මීට වඩා අතිශයින් වගකීම් සහගත විය යුතුය. ඔබ එල්ල කරන චෝදනාව සරල නැත. මීට වසරකට පෙරද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වේදිකාවට ගොඩවෙමින්, අප සමඟ සිටි පක්ෂයක් ලෙස මෙවැනි චෝදනාවක් එල්ල කිරීම ශිෂ්‍ය ව්‍යාපාරය පිළිබඳව ශිෂ්‍යයන් මෙන්ම වෙනත් පිරිස් තුළත් සැකයක්, දෙගිඩියාවක් ඇති කිරීමට හේතු වන කරුණක් වන අතර දැවැන්ත රාජ්‍ය මර්දනයක් ඉදිරියේද නොසැලී පැවති ව්‍යාපාරයක් වන අපට ඉන් සිදුවන හානිය සුළුපටු එකක් නොවේ. මෙය බරපතල තත්වයකි.
යළිත් මෙම සිහිකැඳවීම කරන්නේ එබැවිනි. මැතිවරණ ප‍්‍රකාශන දෙකෙන් එකක් ව්‍යාජ නම් ඔබ එය ප‍්‍රසිද්ධියේ ප‍්‍රතික්ෂේප කළ යුතුය. එය ව්‍යාජ එකක් වන්නේ එවිටය. එය කෙසේ වුවත්, ඔබ අප වෙත එල්ල කර ඇති අභූත චෝදනාව ඔප්පු කිරීමට වහාම කටයුතු කළ යුතුය. ව්‍යාජ ෆේස්බක් ගිණුමක් සම්බන්දයෙන් පවා පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් මාධ්‍ය සමඟ ගොස් පැමිණීලි කර දින කිහිපයකින් ඊටත් වඩා බරපතල මෙවැනි සිදුවීමකදී ඔබගේ නිශ්ශබ්දතාවය පුදුම සහගතය. එබැවින් එක්කෝ ඔබ අප වෙත එල්ල කර ඇති චෝදනාව ඔප්පු කිරීමට කටයුතු කළ යුතුය. (ඔබ කැමති  ඕනෑම ආකාරයකට* එවිට අපට අපගේ නිර්දෝශීභාවයද ඒ සමඟ ඔප්පු කළ හැක. එමෙන්ම එසේ නොහැකි නම්, අප වෙත එල්ල කර ඇති චෝදනාව කොන්දේසි විරහිතව, වහාම ඉල්ලා අස්කර ගත යුතුය.
මෙම ගැටළුවේදී සිදුකළ යුතු මේ එකක්වත් සිදු නොකර ඔබ තව දුරටත් මුනිවත රකින්නේ නම් ඉන් අපි සිතාගත යුත්තේ කුමක්ද යන්නත් මේ සමඟම විමසනු කැමැත්තෙමු.
ස්තූතියි.
මෙයට,
නජිත් ඉන්දික
කැඳවුම්කරු.


පිටපත් - සියලූ විශ්වවිද්‍යාල වල මහා ශිෂ්‍ය සංගම්
Share this article :

0 comments:

Post a Comment