Home » » රජරට සරසවි අරගලය සිසුන් ජයගනී. දින 238ක අඛණ්ඩ සත්‍යග්‍රහය අවසන්.

රජරට සරසවි අරගලය සිසුන් ජයගනී. දින 238ක අඛණ්ඩ සත්‍යග්‍රහය අවසන්.

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Monday, August 4, 2014 | 5:14 PM

දින 238ක් තිස්සේ රජරට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පවත්වාගෙන ගිය අඛණ්ඩ සත්‍යග්‍රහය අද අවසන් කෙරිණ. ඒ සත්‍යග්‍රහයේ මූලික ඉල්ලීම වූ අසාධාරණ පන්ති තහනම් 28 ඉවත් කළ බවට ලිඛිතව පරිපාලනය මගින් දැනුම් දීමෙන් අනතුරුවයි. විශ්වවිද්‍යාලය තුළ සිට උද්ඝෝෂණයකින් සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට පැමිණි සිසුසිසුවියන් එහිදී ජයග්‍රාහී සටන් පාඨ කියමින් අට්ටාලය අසළට පැමිණියහ. ඉන් අනතුරුව සත්‍යග්‍රහයේ නිරත සිසුන් අත්පොළසන් හඬ මධ්‍යයේ සත්‍යග්‍රහය අවසන් කරමින් ඉවත් වූ අතර ඉන්පසු අට්ටාලය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණ. 

අනතුරුව විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විශේෂ විරු සිසු සැමරුමක් සහ අරගලය පිලිබඳ විශේෂ වැඩසටහනක් පැවැත්විණ. මේ සඳහා අරගලයට සහය දැක්වූ වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ආගමික නායකයින් ගම්වාසීන්, විශ්වවිද්‍යාල සේවකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ජනරජ සෞඛ්‍ය සේවක සංගමයේ අනුරාධපුර ශාඛා සභාපති ටෙරන්ස් ගාමිණී, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්වරුද අන්තර් විශ්වවිද්‍යාලයිය භික්ෂු බලමණ්ඩලය නියෝජනය කරමින් ටැම්පිටියේ සුගතානන්ද ස්වාමීන්වහන්සේ, අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමින් සරත් ද සිල්වා සහෝදරයා සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා ද එහිදී අදහස් දැක්විය. 
පන්ති තහනම් 28ක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් ආරම්භ කළ අරගලය වසරක පමණ කාලයක් ගත වී ඇත. සාකච්ඡා, උද්ඝෝෂණ, පාගමන් මගින් අදාළ ගැටළු වලට විසඳුම් ලබාදීමට පරිපාලනය අපොහොසත් වීම හේතුවෙන් සිසුන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කිරීමට තීරණය කෙරිණ.

ඒ අනුව මෙසේ ආරම්භ කළ සත්‍යග්‍රහයට එරෙහිව දෙවතාවක් අධිකරණ නියෝග ලබාගත් අතර සිසුන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණ. එසේම තෙවතාවක් සත්‍යග්‍රහ අට්ටාලය ගිනිතැබීමට පාලකයන් කටයුතු කළ අතර විසඳුම් ලබා දීම වෙනුවට සිසුන් දිගින් දිගටම මර්දනය කිරීමේ නින්දිත ක්‍රියාමාර්ගයක නිරත විය. අධ්‍යාපනය විකිනීමට එරෙහි වීම, සිසුන්ගේ අධ්‍යයන හා සුභසාධන ගැටළු වෙනුවෙන් පෙනී සිටීම යන්න වරදක් බවට පත් කරමින් අත් පත්‍රිකා බෙදීමේ සිද්ධියකට පවා වසර 5ක පන්ති තහනම් ලබාදීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කළේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වන අධ්‍යාපනය විකිණීම විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණෙනි. 

මෙසේ දින 200කට ආසන්න කාලයක් යනතුරුවත් අදාළ ප්‍රශ්න වලට විසඳුම් ලබා නොදීමට එරෙහි වෙමින් සිසුන් උපකුලපතිවරයා වැටලීමට තීරණය කල අතර එම සිද්ධියේදී ලබා දුන් ලිඛිත පොරොන්දු සියල්ල එළිපිටම කඩකිරීමට උපකුලපතිවරයා කටයුතු කල අතර එහිදී සිසුවියන් තිදෙනෙකු ඇතුළු 31 දෙනෙකු බන්ධනාගාරගත කරනු ලබන්නේ ඉතා නින්දිත ආකාරයෙනි. එවන් තත්ත්වයක් තුළදී පන්ති තහනම් ඉවත් කිරීමට සමාව ගන්නැයි ජනාධිපතිවරයා පවා මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කරන තත්ත්වයකට පත්ව තිබුනද සිසුන් සමාව ගැනීම ප්‍රතික්ෂේප කළේ සමාව ගැනීමට වරදක් කළ ඇත්තේ සිසුන් නොව පරිපාලනයයි.
ඒ අනුව අවසානයේ නිවැරදිව හා ප්‍රගතිශීලි ලෙස, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වය යටතේ ගෙනගිය එම අරගලයට විසඳුම් ලබා දීමට පාලකයන්ට සිදුවිය.


Share this article :

0 comments:

Post a Comment