Home » » අපිට අහිමි වීමට දෙයක් නැත. එබැවින් අපි ජයගනිමින් සිටින්නෙමු !

අපිට අහිමි වීමට දෙයක් නැත. එබැවින් අපි ජයගනිමින් සිටින්නෙමු !

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Monday, October 28, 2013 | 1:58 AM

සිහින රැසක් හිස මත පුරෝගෙන අප විශ්වවිද්‍යාලයට පැමිණියේ බොහෝ දේ දිනාගැනීමට සිතාගෙනය. සරසවිය යනු ඉතා මිහිරි අත්දැකීම්වලින් පිරුණු වටපිටාවක් සහිත පරිපුර්ණ මිනිසුන් බිහිකරන ස්ථානයක් බව අප කලින් අසා තිබුනත් අපට ලැබුණු සරසවියෙන් අපට ලැබුණේ කටුක අත්දැකීම් රාශියක් පමණි. පරිපුර්ණ මිනිසුන් කෙසේවෙතත් අපට අප ගෙනා යහපත් ශරීර සෞඛ්‍ය පවා මෙය හැර යන දින වන විට අපට අහිමි වෙන තත්වයේ ඉරණමකට ගොදුරු කර ඇත. එනම් මෙහිදී අපට සරසවි සිසුන් ලෙස  හිමි විය යුතු සියල්ල පාලකයන් විසින් අහිමි කර ඇති අතර මෙහි අවුරුදු 4ක් වාසය කිරීමෙන් වකුගඩු රෝගය ආදී රෝග වලට ගොදුරු වීමෙන් ජීවිතය පවා අහිමි විය හැකි ආකාරයේ අවධානමකට මුහුණ පෑමට සිදුව ඇත.

සරසවිය තුල නිදහස අපට අහිමිය. අපව අනිවාර්ය 80% දේශනා, කෙළවරක් නැති assignments, presentation අතර හිර කර ඇත...
මිනිසෙකු පරිපුර්ණත්වයට ලඟා කරවන සංවාද විවාද සඳහා අපට අවසර නැත...
කළා උළෙල වලට අවසර නැත...
පුස්තකාලයට යාමටවත් වෙලාවක් ඔවුන් අපට දෙන්නේ නැත...
මහපොළ, ශිෂ්‍යාධාර ලෙස ලැබෙන මුදල දිනෙන් දින ඉහල යන ජිවන වියදම හමුවේ සොච්චමක් බවට පත්ව ඇත. එබැවින් මුදල් හෙවීමට නොයෙක් වෙළෙන්දන් ඉදිරියේ නොයෙක් ස්වරූප වලින් අපව විකිණීමට අපට සිදුව ඇත...
මහාචාර්යවරුන්, ප්‍රමාණවත් තරම් ආචාර්යවරුන් අපට අහිමිය...
යම් මට්ටමකට හෝ රසවත් ගුණවත් ආහාරයක්වත් අපට හිමි නැත...
විශ්වවිද්‍යාලයකට ගැලපෙන මට්ටමේ දේශන ශාලා, විභාග ශාලා, විද්‍යාගාර, පුස්තකාල, ක්‍රීඩාගාර, ශ්‍රවනාගාර ආදී වූ කිසිඳු භෞතික සම්පතක් අපට හිමි නැත. ඔවුන් අපට යන්තම් එම පෙනුම ලැබෙන පරිදි සකස් කල ගොඩනැගිලි පෙන්වා ඒවා දේශන ශාලා, විභාග ශාලා, විද්‍යාගාර, පුස්තකාල, ක්‍රීඩාගාර, ශ්‍රවනාගාර ආදී වූ නම් වලින් ඇමතීමට පුරුදු කර ඇත...
අපට ආදරය කිරීමට, ක්‍රීඩා කිරීමට තබා  කිසිවක් ගැන සිතීමටවත් නිදහසක්, විවේකයක් ඉතිරි  කර නොමැත.
අපට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවා අහිමිය. එසේ කල විට අවුරුදු ගණන් වලට බලපැවැත්වෙන දඬුවම් වලට යටත් වීමට සිදුව තිබේ...
සියල්ල අහිමි කල අවසානයේ දැන් ඔවුන් අපට ස්වයංව අප ගැන තීරණයක් ගැනීමේ අයිතිය පවා අහිමි කර ඇත. ඒ වෙනුවට දාමරික පාලකයන්ගේ  න්‍යාය පත්‍රයන්ට යටත්ව ඔවුනට අවැසි ලෙස සියලු කටයුතු සිදු කිරීමට සිදුව තිබේ...

එබැවින් ඔවුන් අපට මේ වන විට අපගේ පන කෙන්ද ඇරෙන්නට අන් සියල්ල අහිමි කර ඇත. තවත් අපට අහිමි වීමට දෙයක් නැත.

නමුත් පාලකයන්ට අහිමි වීමට බොහෝ දේ ඇත. ඔවුන් අපගේ සියල්ල අහිමි කර ඇත්තේ ඔවුන්ට එසේ අහිමි වියහැකි දේ ආරක්ෂා කරගැනීම සඳහාය.

ඔවුනට මහජන මුදලින් නඩත්තුවන සුඛෝපභෝගී යාන වාහන ඇත...
වැරදි සමාජ ක්‍රමය විසින් බිහිකළ ව්‍යාජ සමාජ තත්වයන් ඇත...
මහජන මුදලින් ලැබෙන රට සවාරි ඇත...
මුදල් වරප්‍රසාද ඇත...
මවාගත් කීර්තිනාමයන් ඇත...

ඒ ආකාරයට ඔවුන්ට අහිමි වීමට තව බොහෝ දේ ඇත. ගැටලුව වන්නේ  ඒ සියල්ල ඔවුනට වර්තමානයේ ලැබී ඇත්තේ රටම පීඩාවට පත් කරන වැරදි ක්‍රමයක් බලෙන් පවත්වාගැනීමට සිදු කරන වැරදි ක්‍රියාකලාපයකට රුකුල් දීම හේතුවෙනි. ඒ හේතුවෙන් ඔවුන් අපට අයිති සියල්ල අහිමි කරමින් පවතී...

මේ අවස්ථාව වනවිට අප රජරට සිසුන් ලෙස මෙම ක්‍රියාවලියට තිත තැබිය යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ඒ සඳහා වූ අරගලයකට පිවිස සිටින්නෙමු. ආණ්ඩුවේ ජනතා විරෝධී ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම උදෙසා අපව එකිනෙකාගෙන් වෙන් කිරීමට උත්සාහ ගනිමින් සිටින රූකඩ පරිපාලනයට එරෙහිව එකා මෙන් එකමුතුව එක පෙළක සිටගෙන සිටින්නෙමු. අපව වෙන් කර අපෙන් උදුරා ගත් සියල්ල මේ වන විට එක්ව දිනා ගනිමින් සිටින්නෙමු. එම එකමුතුව හමුවේ දැන් ඔවුන්ට පරාජයේ අඳුරු සේයාවන් මැවෙමින් පවතී.

තමා කරන්නේ අහස පොලොව නුහුලන අපරාධ බව දන්නා පාලකයන් පේන මානයේ ඇති පරාජය හමුවේ වියරු වැටී ඇත. එයින් තමාට අහිමි වන දේවල් පිලිබඳ සිහිවන විට එම වියරුව උත්සන්න අවස්ථාවට පැමිණෙන බැවින් සියල්ල රැකගැනීම සඳහා වූ නින්දිත අරගලයක යෙදී සිටියි. ඒ වෙනුවෙන් සිසු ජිවිත ඕනෑම ගණනක් විනාශ කිරීමටත් අහිංසක දෙමාපිය සිහින ඕනෑම ප්‍රමාණයක් වුවත් වනසා දැමීමටත්, වෙනත් ඕනෑම නින්දිත ක්‍රියාවක් සිදුකිරීමටත් ඔවුන් සුදානම්ය. 

ඔවුන් කලින් සූදානම් කරගත් කැමරා සහිතව බීමතින් සිසුන් සාමකාමිව කටයුතු කරමින් සිටින ස්ථාන වලට පැමිණ ගැටළු ඇතිකරගැනීමට උත්සාහ දරයි. ඔවුන්ම ගැටළු ඇතිකර ඔවුන්ම අහිංසක සිසුන්ගේ ඡායාරූප ගෙන ඔවුන්ගේම අත්සන්වලින් යුත් ජිවිත විනාශ කරන ලිපි සිසුනට එවීම ඔවුන්ගේ අරමුණයි.
තමන්ද ආචාර්යවරුන් ලෙස පවසන ඔවුන් දාමරික ක්‍රියාකලාපයන්ගේ යෙදෙන අතර "ආචාර්යවරයා" යන නාමයට නිග්‍රහ කරමින්ද, එම නාමය භාවිත කරමින් සැබෑ ආචාර්යවරුන් හා සිසුන් අතර භේදයක් ඇති කරවීමේ නින්දිත උත්සාහයකද යෙදී සිටි. නමුත් අප අපට උගන්වන, අපට ආදරය කරන අප වෙනුවෙන් කැපවන සැබෑ ආචාර්යවරයා හා "ආචාර්යවරයා" යන නාමයට මුවාවී තම පෞද්ගලික පටු අරමුණු උදෙසා අප සතු සියල්ල විනාශ කරමින් සිටින පුද්ගලයා අතර වෙනස හඳුනාගැනීමට නොහැකි තරම් මන්දබුද්ධිකයන් නොවන්නෙමු. සැබෑ අචාර්යවරුනට අප ගෞරව කරන අතර දාමරිකයන්ට යටත් වීමට අප සූදානම් නැත. පුජකවරයෙකු වූ පමණින් එම නාමය භාවිතා කර අපට ලිංගික බලහත්කාරකම් කරන්නට පැමිණෙන පුද්ගලයෙකු තවදුරටත් පුජකවරයෙකු ලෙස සලකා ඔහුට අවැසි දේ දීම කෙතරම් නම් යුක්ති යුක්තදැයි සිතා බලන්න. ඔහුගේ නොමනා ක්‍රියාකලාපය සාධාරණිකරණය කිරීම උදෙසා අනෙකුත් පුජකවරුනුත් ඔහු හා එක් වන්නේනම් එය සාධාරණද?

මෙසේ සිදුවන මෙවන් ක්‍රියාකලාපයන්ගෙන් අපටනම් පැහැදිලිවන්නේ ඔවුන් පරාජය වෙමින් පවතින බවය.
සිංහයන් සේ AC කාමරයෙන් AC වාහනයටත් වාහනයෙන් කාමරයටත් මාරු වෙමින් සිටි ඇතැම් පුද්ගලයන්ගේ සිංහ හම ගැලවී මහමගට බැස අපට දඬුවම් දීම සඳහා කැමරා මානමින්  වැරදි සෙවීමට සිදුව ඇත්තේ එම පරාජය හමුවේ වෙව්ලා ගොස් ඇති බැවිනි. සිසුන්ගේ කිසිඳු ප්‍රශ්නයකට පිළිතුරු නොදී ගිරවුන් සේ  අදාළ නොවන වැල්  වටාරම් කියවමින්, සිසු සිසුවියන් පිලිබඳ අසත්‍ය මඩ ප්‍රචාර මතුරමින් ඔවුන් උන්මන්තකයන් සේ හැසිරෙන්නේ එබැවිනි. ඔවුන්ට කිසිඳු ගැටලුවකට පිළිතුරු නැත. ඒ වෙනුවට හමුවෙන ඕනෑම අයෙකුට සිසුන් පිලිබඳ අප්‍රසාදයක් ඇතිවන ආකාරයේ කිසි සේත් අරගලයේ ඉල්ලීම් සඳහා  අදාළ  නොවන කටපාඩම් කරගත් අසත්‍ය මඩ ප්‍රචාරයන් රාශියක් හරහා සිසු චරිත ඝාතනය කිරීමට උත්සාහ කරයි. ඔවුන් කිනම් අකාරයේ අසත්පුරුෂයන්දැයි ඔවුන්ට හමුවෙන සියලු දෙනා දන්නා බවවත් ඔවුන් කියන කරන දේ වලින් ඔවුන්ටම අප්‍රසාදය හිමිවන බවවත්, තව දුරටත් එම ක්‍රියාවල යෙදීමෙන් සිදුවන්නේ තමන්ගේ වල තමන්ම කපා ගැනීම බවවත් තේරුම්ගැනීමට තරම් මොළයක් නැති එවැන්නන් පිළිබඳව විටෙක අපට දැනෙනුයේ අනුකම්පාවකි. නමුත් මෙවර එම අනුකම්පාව අමතක කර දමා ඔවුන්ව හෙළි කර ඔවුන්ව හීලෑ කිරීමට අප ස්ථිර ලෙස අදිටන් කරගත්තේ එසේ අප විසින් අනුකම්පාව දක්වන සෑම අවස්තාවකදීම එම අනුකම්පාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුන් අපට භූමිකම්පා ඇතිකරවන බැවිනි. එවන් පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වය සමස්ථ සරසවියටම බරපතල තර්ජනයක් වන බැවිනි. 

නමුත් ඔවුනට මෙන් අපට කලබලයක් නැත. කල් යන්නට යන්න සිදු වන්නේ ඔවුනටම අවාසියක් බවත් ඔවුන්ව සමාජය ඉදිරියේ නිරුවත් වීම වන බවත් ඔවුන්ගේ නියත පරාජයෙන් ඔවුනට වන හානියේ තරම තවත් වැඩි වන බවත් අප හොඳින්ම දනිමු. දවසින් ගැටලුව විසඳුවේනම් ඔවුන්ගේ පරාජය පිළිබඳව දන්නේ ඔවුන් ඇතුළු කිහිප දෙනෙක් පමණි. සතියක් ප්‍රමාද වීමෙන් දැන් රජරට ප්‍රදේශයේ ජනතාවද ඔවුන් පිළිබඳව දැනගන්නේය. තව තවත් ප්‍රමාද වීමෙන් කෙමෙන් කෙමෙන්  මුළු රටම පරිපාලනයේ උන්මන්තක ස්වභාවය පිළිබඳව මහජන පෙත්සම් හරහා අත්පත්‍රිකා හා පෝස්ටර්, පුවත් පත්, විවිධ මාධ්‍යයන් හා විකල්ප මාධ්‍යයන් හරහා දැනුවත් වනු ඇත. පන්ති තහනම් 8 කින් නැවතුනේ නම් පරිපාලනයේ අසාධාරණ ක්‍රියාකලාපය පිළිබඳව වැඩි දෙනෙකුට නොතේරෙන්නට තිබුණි. තවත් 13ක් දීමෙන් එම ක්‍රියාකලාපය හෙලිවුනි. නැවත තවත් 6 ක් දීමෙන් ඒ බව සියලු දෙනාම තේරුම් ගත්තෝය. තව තවත් දඬුවම් දෙන්නේනම් එයින් වනුයේ අන් කිසිවක් නොව එම අත්තනෝමතික මුග්ධ ක්‍රියාකලාපය සමාජය ඉදිරියේ සපථ වීම හැරෙන්නට අන් කිසිවක් නොවන බව අමන පාලකයන්ට නොතේරෙන මුත් අපට හොඳින් වැටහේ. අසාධාරණයන් සිදු කරන්නට කරන්නට සිදුවන්නේ එයට ලක්වන්නන් බිය වී අතපය හකුලා ගැනීම නොව තව තවත් පිරිස වැඩිවෙමින් සටන්කාමීව තමන්ට එරෙහි වූ බලවේගයක් ලෙස තව තවත් ශක්තිමත්ව ඔවුන්ට එරෙහිව ඉදිරියට ඒම බව ඔප්පු වී හමාරය. ඒ බව  නොතේරෙන ඔවුන් පිළිබඳව අප කනගාටු වන්නෙමු!

අපට අහිමි වීමට දෙයක් නැත...
ඇත්තේ දිනා ගැනීමට දේවල් පමණි...
ඔවුනට අහිමි වීමට බොහෝ දේ ඇත..
එමනිසා අප ජය ගනිමින් සිටින්නෙමු!

 


 


Share this article :

1 comments:

  1. කෙලවරක් නොදැනම
    අතරින් පතර රටා මැවු
    මකුළු දැල............
    plz remove di moderation of blog

    ReplyDelete