Home » » වරදට දඬුවම නොව දඬුවම උදෙසා වරද නිර්මාණය කිරීම

වරදට දඬුවම නොව දඬුවම උදෙසා වරද නිර්මාණය කිරීම

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Friday, August 16, 2013 | 6:37 PM

වරදට දඬුවම නොව දඬුවම උදෙසා වරද නිර්මාණය කිරීම 



ජුනි 20 දිනයට "ගමයි සරසවියයි - 2013" වැඩසටහන සඳහා තෝරාගන්නා ලෙස ඉහලින් බල කල බව උපකුලපතිතුමා විසින් පන්ති තහනම් කල සිසුන්ගේ දෙමාපිය හමුවේදී පවසා ඇත. සිතන ආකාරයට එම කරුණ පරිපාලනය විසින් මෙතෙක් කල් සඟවාගෙන සිටියේ එම ප්‍රකාශය තුලින් "ගමයි - සරසවියයි 2013" කඩාකප්පල් කල බව කියමින් අප වෙත ලබා දී ඇති පන්ති තහනමේ සැබෑ අරමුණ හා ඒ තුල සැඟවී ඇති දේශපාලනය සමාජය ඉදිරියේ හෙළිදරව් වන බැවිනි. එය මෙසේ තේරුම් ගනිමු. 
ජුනි 20 යනු සරසවි සිසුන් විසින් තම අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් කර ජීවිත පුජා කල ශිෂ්‍ය වීරයන් සමරන දිනය බව උපකුලපතිවරයාට හෝ මෙම වැඩසටහන සංවිධානය කල කිසිවෙකුට අමුතුවෙන් කිව යුතු නොවේ. මන්ද යත් සිසු විරු දිනය සෑම අවුරුද්දකම ජුනි 20 ට යෙදෙන බව ඔවුන් නොදැන සිටියේ වුවද ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස මෙම වසරේ ජුනි 20 ශිෂ්‍ය වීර දින උත්සවය පිලිබඳව දැනුවත් කිරීමේ පෝස්ටර් රට පුරා ඇලවූයේ ඊට මාසයකටත් අධික කාලයකට පෙර බැවිනි. උපකුලපති කාර්යාලය අසල ද  එම දැන්වීම් ප්‍රදර්ශනය වී තිබෙනු අදටද දැකිය හැකි වනු ඇත. එබැවින් එවැනි දිනයකදීම විශ්වවිද්‍යාලය තුල තවත් වැඩසටහනක් සංවිධානය කිරීම යනු ඒ සඳහා සිසුන් සහභාගී නොවන බව දැන දැනම හිතා මතාම සිදු කරන ලද්දකි. එසේ අනිවාර්යෙන් අසාර්ථක වන බව දැන දැනම සංවිධානය කිරීමේ අරමුණ කුමක්ද? මදක් විමසා බලමු.
නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීම සඳහා පෙලගැසෙමු යන සටන් පාඨය පෙරදැරිව සරසවි සිසුන් ලෙස අප සුවහසක් වූ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අයිතියක් ලෙස දිනා ගැනීම සඳහා අරගලයක යෙදී සිටින්නෙමු. ප්‍රතිවාදී පසෙන් රටේ පාලක පන්තිය විසින් එම අධ්‍යාපන අයිතියට මිලක් නියම කිරීම සඳහා එම අයිතිය සුළුතරයක් වූ ධනපති පන්තියේ වරප්‍රසාදයක් බවට පත් කර ගැනීම සඳහා අපට එරෙහි අරගලය නිරත වී සිටිති. එබැවින් අප හා ඔවුන් අතර ගැටුමක් නිර්මාණය වී ඇත. එම ගැටුමෙන් ජය ගැනීම සඳහා ඔවුන් විසින් විවිධාකාර වූ උපාය උපක්‍රමයන් යොදමින් සිටින අතර ඔවුනට එරෙහි බලවේගයන් මර්දනයෙන් යටපත් කිරීම  ප්‍රධාන වශයෙන් සිදු කරමින් සිටී. ඔවුන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීමෙහිලා විශාලතම බාධකය වී ඇත්තේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය බැවින් අධ්‍යාපන අයිතීන් උදෙසා සටන් වදින ශිෂ්‍යයන්  කෙසේ හෝ මර්දනය කිරීම ආණ්ඩුවේ නිල ප්‍රතිපත්තිය බවට පත් වී ඇත. සබරගමුව, කැලණිය, ජ'පුර, යාපනය ආදී සියලු විශ්වවිද්‍යාලයන්ට අදාලව සිදු වූ පන්ති තහනම් කිරීම්, පහරදීම්, ශිෂ්‍යභාවය අහෝසි කිරීම් හා ඝාතනයන් ආදී සියල්ලම සිදු වන්නේ අහම්බයකින් නොවන අතර රජරට විශ්වවිද්‍යාලය සැලකු විට අප විශ්වවිද්‍යාලයට අදාලව ද ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින්නේ එම ප්‍රතිපත්තියම වේ. රජරට සිසුන් ද අධ්‍යාපන අයිතිය දින ගැනීමේ සටනේ පුරෝගාමී මෙහෙවරක් සිදු කරමින් සිටින අතර ආණ්ඩුවට රජරට මර්දනය කිරීමේ අවශ්‍යතාවක් නෑ කිවහොත් එය පුදුමයකි. මෙම දඬුවම දීමේ උවමනාව ඇති වන්නේ ඒ අකාරයටය.
රැස්වීම් වලට ආරක්ෂක අංශ එවීම හා පෝස්ටර ඉවත් කිරීම හරහා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීම ආදී සිසුන් කුපිතවන අකාරයේ තීරණ රාශියක් ගැනීම තුලින් ගැටළු නිර්මාණය කර ඉහත කී දඬුවම් කිරීමේ උවමනාව තෘප්ත කිරීමට ආණ්ඩුවේ මෙහෙයවීම මත පාලනයේ යෙදෙන රූකඩ පාලකයන් උත්සාහ දැරුවත් අප විසින් බුද්ධිමත්ව කටයුතු කල බැවින් එම උත්සාහයන් සියල්ල අසාර්ථක විය. අධ්‍යාපන සටනට නායකත්වය  දෙන්නන් ඉවත් කර දැමීම හරහා සටන මොට කිරීමට විවිධ උපක්‍රම යෙදුවද එම සියල්ල අසාර්ථකත්වයෙන් කෙලවර වන විට දඬුවම් දීමේ උවමනාව වඩ වඩාත් උග්‍ර වන්නට විය.
බලධාරීන්ගේ ටිකිරි මොලේ තුල "ගමයි - සරසවියයි" නිර්මාණය වන්නේ එම වටපිටාව තුලය. සිසුන් සහභාගී නොවන දිනයක වැඩසටහනක් සංවිධානය කිරීමෙන් එය අනිවාර්යෙන් අසාර්ථක වේ. සිසු විරුවන් සමරන දිනයේ විනෝද උත්සවයක් සංවිධානය කිරීමෙන් එය අසාර්ථක වනවාට අමතරව සිසුන් කෝප වීමද සිදු විය හැක. එසේ වන්නේ නම් එය තවත් වාසියකි. සිසුන් සහභාගී නොවීම නිසා ආචාර්යවරුන් හා පීඨාධිපතිවරුන් ආදීන් අපහසුතාවට පත් වීම වැලැක්විය නොහැක. එසේ වීමෙන් ඔවුන්ගේද සහයෝගය සිසුන්ට එරෙහි මර්දනය පහසු කිරීම සඳහා යොදා ගත හැක. අසාර්ථක  උත්සවයකට අනෙකුත් විශ්වවිද්‍යාල හරහා එම විශ්වවිද්‍යාල ඉදිරියේ අප විශ්වවිද්‍යාලය පත්විය යන චෝදනාව ද එල්ල කල හැකි වනු ඇත. දඬුවමක් දීමට කදිමට ගැලපෙන චෝදනා නිර්මාණය වන්නේ ඒ ආකාරයටය.

ලිපියේ මුලින් මා සඳහන් කල අකාරයට උපකුලපතිතුමාගේ මුවින් පිට වූ "20 ම තියන්න ඉහලින් බල කලා "  යන වදන් පෙළ තුල ඇති දේශපාලනය දැන් ඔබට වැටහෙනවා යැයි සිතමි. මෙහෙදී පැවසිය යුතුම දෙයක් තිබේ. එනම් මේවා අපට අමුතු දේවල් හෝ විග්‍රහ කරගත නොහැකි ගැටළු නොවේ. අප මෙවන් සිදුවීම් හමුවේ සැලෙන්නේද නැත්තේ ඒවා අපට දේශපාලනිකව විග්‍රහ කර ගැනීමට හැකියාව ඇති බැවිනි. එබැවින් අප අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවී ද නැත. අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇත්තේ උපකුලපතිවරයා,පීඨාධිපතිවරුන් ඇතුළු පරිපාලනයයි. සුළුතර ධනපතීනට අධ්‍යාපනයේ අයිතිය වරප්‍රසාදයක් කර දීමේ කොන්ත්‍රාත්තුව ඉටු කිරීම සඳහා ආචාර්ය මහාචාර්ය පට්ටම් ඇති බුද්ධිමත් යැයි කියන ඔවුන්ට නූල් රූකඩ මෙන් හැසිරීමට සිදු වී තිබීම අවාසනාවක් නොවේද? තමන් විසින් මේ සිදු කරමින් සිටින්නේ රජගෙදර බෙබිලාට සැප දීම උදෙසා තමන්ගේම පන්තියේ,තමන්ගේම ලෙයින් ජාතක කල දරුවන්ගේ ගෙල සිර කර මරා දැමී බව නොවැටහීම තරම් තවත් අවාසනාවක් තිබිය හැකි ද?
     -අනුරාධ ඉසුරු බණ්ඩාර-

  
Share this article :

1 comments:

  1. ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා

    ReplyDelete