Home » » අචාර්යවරුනි, ඔබලා ආචාර්යවරුන්ද? ෂුවර්ද?

අචාර්යවරුනි, ඔබලා ආචාර්යවරුන්ද? ෂුවර්ද?

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Friday, January 10, 2014 | 4:06 PM

මෙම ලිපිය මා විසින් 2013/11/13 වන දින මා සිටි පීඨය වන ව්‍යවහාරික විද්‍යා පීඨයේ අචාර්ය වරුන් වෙත e-mail මඟින් යොමු කල ලිපියකි. ආචාර්යවරුන් පිලිබඳ මා දකින ආකාරය විවේචනාත්මකව ඉදිරිපත්  කර ඇති මෙයින් මා බලාපොරොත්තු වූයේ වත්මන වන විට අප විශ්වවිද්‍යාලය තුල පවතින උග්‍ර අර්බුධකාරී තත්වය හමුවේ නිද්‍රාශිලීව මුනිවත රකිමින් සිටින අප ආචාර්යවරුන්ගෙන් එක් අයෙකු හෝ අවදි කිරීමය. එසේ අවදි වී අචාර්ය බලවේගය තුළින්  කුමක් හෝ  හඬක් මතු වනු දැකීමය. එම හඬ පෞද්ගලික වශයෙන් මට බනිමින් පටන්ගන්න හඬක් වුවද කම් නැතැයි මා සිතුවෙමි. මට අවශ්‍ය වූයේ මුලපිරීමක් පමණි. මා ශිෂ්‍යයෙකු බැවින් ආචාර්යවරුන්ට කලයුතු දේ පිලිබඳ පියවරෙන් පියවර උපදෙස් දීම මා හට සිදු කල නොහැකි බව මා සිතමි. එසේ නමුදු කුමක් හෝ  යමක් කළයුතුයැයි මට සිතුනි. මෙම ලියුම යනු මා ඒ කල කුමක් හෝ දෙයයි. 

මෙය මා අප පීඨයේ සියලුම ආචාර්යවරුන්ට යැවුවෙමි. එසේ කලේ ඔවුනුත් මාත් පමණක් මෙය දැනගැනීම ප්‍රමාණවත් යයි සිතූ නිසාය. එම පෞද්ගලිකත්වය තුළ ඔවුන්ගෙන් මට කුමක්හෝ ප්‍රතිචාරයක් ලැබේවිය යන විශ්වාසය උඩය. එම ප්‍රතිචාරයන් උඩ ඔවුන් සමඟ සංවාදයක් ගොඩනගා ගැනීමට මා බලාපොරොත්තු වුනෙමි. නමුත් එය එසේ සිදු නොවිණි. ඒ වෙනුවට සිදු වූයේ මා නොසිතූ දෙයකි. මා විසින් මෙය යැවූ කිසිඳු ආචාර්යවරයෙකුගෙන් හෝ අචාර්යවරියකගෙන් මට සැලකිය යුතු ප්‍රතිචාරයක් නොලැබිණි.  දැනට පීඨය හැර ගොස් ඇති ඇදුරන් දෙදෙනෙකු පමණක් මෙම ලිපිය කියවූ බව කෙටියෙන් දන්වා ඒවා තිබිණි. නමුත් මීට සතියකට පමණ පසු මා නොසිතූ අන්දමේ දෙයක් සිදුවිණි. එනම් මා වෙත නොදන්නා අංක වලින්  දුරකථන ඇමතුම් ගලා එන්නට වීමයි. ඒවායෙන් කතාකලේ පේරාදෙණිය, රුහුණ, සබරගමුව ආදී විශ්වවිද්‍යාලවල අචාර්යවරුන්ය. ඔවුන් පැවසුයේ මා විසින් යැවූ ලිපිය රටේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අතින් අතට මාරු වෙමින් පවතින බවයි. කතා කල බොහෝ දෙනාගෙන් මට ප්‍රශංසා හිමි වූ අතර එම සියලු දෙනාම පාහේ මා හට යම් යම් උපදෙස් ලබා දුන්හ, ලිපිය ගැන විචාරාත්මකව කතා කල ඔවුහු එහි ඇති අඩු පාඩු පිළිබඳවත් ඔවුන් සිතන ආකාරයට වෙනස් විය යුතු මාගේ අදහස් පිළිබඳවත් මා සමඟ කතා කලෝය. ඒ ආකාරයට මෙම ලිපිය නිසා ගොඩනැඟුණු සම්බන්ධතාවක් නිසා මට ජිවිතේ සහභාගී වූ ඉතා වැදගත් අවස්ථාවකට පවා සහභාගී වීමේ භාග්‍ය උදාවිණි. එනම් පසුගිය දිනෙක කොළඹ පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී එළිදැක්වුණු සුමින්ද කිත්සිරි ගුණරත්නයන්ගේ "ලංකා පොකුණ" කාව්‍ය සංග්‍රහය එලි දැක්වීමේ අවස්ථාවට සහභාගී වීමේ අවස්තාව උදා වීමයි. රජරට සිටින  මට එසේ සබරගමු සරසවියේ සේවය කරන සුමින්ද මහතා වැනි බුද්ධිමතෙකුගේ  ඇසුර ලැබීමට පවා වාසනාව උදාවුයේ මෙම ලිපිය නිසා බව කිව යුතුය. එබැවින් ඒ ආකාරයට මෙම ලිපිය හරහා මා සමඟ සම්බන්ධවූ හා මා හට අවවාද උපදෙස් ලබා දුන් සියලු දෙනාට මා ඉතාමත් ගෞරවපූර්වක ස්තුතිවන්ත වෙමි.

මේ ලිපිය පිළිබඳව මා වෙත අදහස් දැක්වූ බොහෝ දෙනෙකු පැවසූයේ මෙය ප්‍රසිද්දියට පත් කරන ලෙසයි. සැබවින්ම මා මෙම ලිපිය ලියා රහසේ ආචාර්යවරුන්ට යැවීමේ  අරමුණ වූයේ එසේ ප්‍රසිද්දියට පත් කිරීම හෝ එතුලින් පෞද්ගලික වාසි ලබා ගැනීම නොව මා ඉහත සඳහන් කල කාරණා වුවද බොහෝ දෙනාගේ  ඉල්ලීම පරිදි එය මෙසේ මාගේ facebook ගිණුම හරහා අන්තර්ජාලයට මුදාහරිමි. එහි ගත හැකි යමක් තිබේනම් ඒවා ගන්නා ලෙස ඔබට ආරාධනය කරන අතර ඔබට හැඟෙන දැනෙන දේ යෝජනා චෝදනා සියල්ල මා වෙත යොමු කරන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි.

එම ලිපිය පහතින් දැක්වේ...
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

මම ටික කලකට පෙර ඔබ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන්ගේ නායකයා ව සිටි අනුරාධ ඉසුරු බණ්ඩාර වෙමි.

මෙම ලිපිය ආන්දෝලනාත්මක විය හැකි බව මම දනිමි. මෙය මාගේ ආදරණීය ආචාර්යවරුන් වන ඔබ හැමටම ලැබෙනු ඇති අතර මෙසේ ලිපි ගනුදෙනුවක් වූ බවට ශිෂ්‍යයෙකු වශයෙන් දන්නේ මා පමණක් බව සහතික කරමි. මෙහි ඇති සියලුම කරුණු ඔබ සියලු දෙනාටම අදාළ නොවන බව පැවසිය යුතු අතර ඔබටද අදාළ වන කරුණු මෙහි තිබිය හැකි බවත් සමහර කරුණු පොදුවේ ඔබ සියලුම දෙනාට අදාළ වනු ඇති බවත් දන්වා සිටිමි. එමෙන්ම මෙම ලිපිය, ඔබෙන් කිහිප දෙනෙකු  මා විසින් ඔබ කෙරෙහි වූ වෛරයකින්  එවූ ලිපියක් සේ දකිනු ඇත, එසේ සිතා මෙය කියවන ඔබ බොහෝ දෙනෙකු මා පිළිබඳව අප්‍රසාදජනක හැගීමකට එනු ඇති බව මම දනිමි. එය මට පෞද්ගලික වශයෙන් බොහෝ අවාසි අත්පත් කරදෙනූ ඇති බවද මම දනිමි. නමුත් *** වැනි වූ ඇදුරුතුමෙකුට මෙය යැවුයේ නම් එවැන්නකු මෙය මැදහත් සිතින් බලනු ඇති අතර *** ඇදුරුතුමා වැන්නෙකු නම් මා හට ඔහු සමග සංවාදයකට ප්‍රවේශවීම පිළිබඳව ස්තුතිවන්ත වනු ඇතැයි මා සිතමි. ඒ අකාරයන්ගෙන් ඔබ කෙලෙස මෙයට ප්‍රතිචාර දක්වාවිද යන්න මම නොදනිමි.නමුත්  ප්‍රතිචාරය කෙසේ වුවද කිව යුතු දේ කිවයුත්තන්න්ට කිව යුතුමය. සත්‍ය කෙතරම් කටුක වුවද එය සත්‍යයම වේ, අසත්‍ය කෙතරම් සුන්දර වුවද එය අසත්‍යයම වේ. මම කටුක සත්‍ය අගය කරමි.

 මෙසේ ඔබ ආමන්ත්‍රණය කිරීමට සිතුවේ ඔබ ඉදිරියේ පවසා නිරාකරණය කරගත යුතු කරුණු බොහෝ ප්‍රමාණයක් ඇතත් දැන් ඒ සඳහා මෙම ක්‍රමය හැරෙන්නට වෙන කිසිඳු ක්‍රමයක් නොමැති බැවිනි. නමුත් මෙසේ මෙම කරුණු පවසනවාට වඩා මුහුණට මුහුණ පැවසිය හැකිනම් එය වඩාත්ම හොඳ ක්‍රමයයි.නමුත් කුමන හෝ අවාසනාවකට මා මේ වන විට ඔබගේ විශ්වවිද්‍යාලයෙන් පන්නා ඇත. ඒ පිළිබඳව මා කිසි සේත් දුක් හෝ පසුතැවිලි නොවන්නෙමි. මන්දයත් මා මාගේ දෙමවුපියන් විසින් SLIIT ආයතනයට යැවීමට සැරසෙන විට එයට දැඩි ලෙස විරුද්ද වී රජයේ විශ්වවිද්‍යාලයකට පැමිණියේ උපාධියකට වඩා මා අසා තිබූ විශ්වවිද්‍යාල ජිවිතයක් ගතකිරීමටය. මට එය අන් කිසිවෙකුට වඩා හොදින්ම ලැබුණි. ඔබ අතරින් බොහෝ දෙනෙකුට ඔබලාගේ  විශ්වවිද්‍යාල දිවියේදී ලබුවාට වඩා බොහෝ අත්දැකීම් ප්‍රමාණයක් මට මගේ විශ්වවිද්‍යාල දිවියේදී ලැබූ බව පවසන්නේ නම් ඔබ පිළිගැනීමට කැමති වුවද අකමැති වුවද  සත්‍ය එයයි.

මෙහිදී මම අවංක බවේ උපරිමය ඇති මිනිසුන් දුටුවෙමි, තම ජිවිතයට පරදුවට තබා පොලිසියේ බැටන් පොලු ගුටි කාගෙන තම සහෝදරයන් බේරා ගන්නා පරාර්තකාමින් දුටුවෙමි, තමාගේ විභාගය හෙට කියා තිබියදී එය පසෙක තබා වෙනකෙකු ගොඩ දමන්නට උත්සාහ කරන සත්පුරුෂයන් දුටුවෙමි, සාධාරණය ඉදිරියේ මඳ පවනක් සේ නම්‍යශීලී වූත්, අසාධාරණය ඉදිරියේ චණ්ඩ මාරුතයක් සේ දරදඬු වූත් මිනිසුන් දුටිමි, අනුන්ගේ සුබසිද්දිය උදෙසා අසීමිත කැපකිරීම් කරන්නන් දුටුවෙමි. ඒ සමගම කාමරයේ අනිකාගේ අම්ම මලා වුවත් මල ගෙදර නොගොස් assignments කරන්නන්ද දුටුවෙමි, ඇස පනා පිට අයුක්තිය පෙනී පෙනී ගොළුවන් බිහිරන් අන්ධයන් සේ හැසිරෙන්නන්ද දුටුවෙමි, සියලුම දෙයින් ඇග බේරාගෙන සිටින පිරිසය මෙහි බහුතරය. තවද පුද්ගලික වාසි උදෙසා ඕනෑම නින්දිත දෙයක් කරන්නන්ද මෙහි සිටිති. පිට කොඳු බිදගත් පිරිස වැඩිය. නිවටයන් රාශියකි, සිංහ හම පොරොවා ගත් කොටළුවන් ගෙන් අඩුවක් නැත. සියළු දෙනා පාහේ බොහෝ දෙනා සමග මතුපිටින් සිනා වී සිටිති, නමුත් යටි හිතේ ඇත්තේ වෛරය, ද්වේශය, ඉරිසියාව වැනි හැගීමය. මේ ආකාරයට විශාල විවිධත්වයක් තිබෙන තැනකි සරසවිය. මෙම වර්ගීකරනයන්ගෙන් ඔබට අයත් වර්ගය තෝරා ගැනීම ඔබම කල යුතුය. මට තේරෙන ආකාරයට මා සිටිය යුතු වර්ගය මා තෝරා ගත්තෙමි. ඒ අනුව මම ක්‍රියාත්මක වෙමින් සිටිමි.

මට දැනෙන ආකාරයට ඔබලාට ඉදිරිපත් කිරීමට මට විවේචනයන් කිහිපයක් ඇත. මේවා මෙසේ කෙලින්ම කීමෙන් ඔබ කාට හෝ අපහසුතාවයක් සිදුවන්නේනම් ඒ පිළිබඳව කනගාටු වෙමි. මෙම කරුණු ඔබට අදාළ නොවේනම් ගැටළුවක් නැත, මට අනුකම්පාකර  ඒ පිළිබඳව පහසුවෙන් අමතක කර දැමීමට ඔබට හැකිය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යනු බොහෝ උගත් බුද්ධිමත් පිරිසක් බව මා අසා තිබුනෙමි. නමුත් ඔබ අතරින් බොහෝ දෙනෙකුගේ ක්‍රියා කලාපය දුටු මට හිතෙන්නේ බොහෝ දෙනෙකු උගත් හෝ බුද්ධිමත් හෝ නොවන බවයි. උගත් බව යනුවෙන් ඔබ අදහස් කරන්නේ විෂය කරුණු රාශියක් මතකයට රැස් කර ගැනීම නම් මා එයට "ඉගෙනගන්නවා" යයි කීමට අකමැතිය. මා එය හදුන්වන්නේ "රැස් කරනවා" යනුවෙනි. ඉගෙන ගැනීම යනු මිනිසා අසාවෙන් කරන දෙයකි, රැස් කිරීම සිදු කරන්නේ වෙනත් අසාවක් උදෙසා වෙනත් දෙයක් අමාරුවෙන් එක්කාසු කර ගැනීමය. සමහරුන් ජිවිතයේ එක් දවසක් වූ මගුල් දිනය උජාරුවට ගැනීමේ සිහිනය උදෙසා අවුරුදු ගානක් අනේක දුක් විඳ මුදල් රැස් කරති. ඔබ අප අතරින් බොහෝ දෙනෙකුද ඒ ලෙසම "ඉගෙනීම" යනුවෙන් කර ඇත්තේ ජිවිතයේ ඔබට ලබා දී ඇති සිහින සැබෑ කරගැනීම උදෙසා අනේක දුෂ්කරතා මැද අනවශ්‍ය නීරස  විෂය කරුණු මොළය තුළ රැස් කරගැනීමය. ඔබ උගන්වන විෂයන් කිහිපයක් හැරෙන්නට ඉතිරි බහුතරයක් ඔබ ඉගෙනගත් විෂය කරුණු දැන් ඔබට මතක නැතුවාට සැක නැත. එසේ වී ඇත්තේ ඔබ ඉගෙන ගනු වෙනුවට රැස් කර ඇති නිසාය. විද්‍යාව ඉගෙන ගන්නේනම් එය කල යුත්තේ විද්‍යාව පිලිබඳ දැඩි ආසාව නිසා ඒ තුලින් නව නිපැයුම් නව සොයාගැනීම්  කර සමාජයට දායාද කිරීමට විනා 1st class එකක් ගෙන අධ්‍යන කාර්ය මණ්ඩලයට බැදීමේ සිහිනයෙන් නොවේ. නමුත් ඔබේ ඉගෙනීමේ අරමුණු එසේ විය, ඔබ අපටද එසේ කරන ලෙසට උපදෙස් දෙයි. ආකිමිඩිස් පරිමාව පිලිබඳ සංකල්පයන් ඉගෙනගත්තේ දිය නාන විටය, ඔහු එය ඉගෙනගෙන හෙළුවෙන් දිවීමට තරම් උද්දාමයට පත්වුයේ ඒ තුලින් lecturer post එකක් ගත හැකිවනු ඇති නිසා නොවේ. නමුත් ඔබේ චින්තනය ඇත්තේ කොතැනද? ඔබ බොහෝ දෙනෙක් අපට 80% අනිවාර්ය කර ඔබ රැස් කරගෙන සිටින  විෂය කරුණු අපගේ මොලයන්ටද ඒ ආකාරයෙන්ම එබ්බවීමට කටයුතු කරමින් සිටිති. ඒ හදන්නේ උගන්නන්නද? මා හට ICT හි විභාග වලට මුහුණ දීමට  බොහෝ විෂයන් සඳහා notes ඉල්ලා ගත්තේ අවුරුදු කිහිපයකට වැඩිමල් ජෙෂ්ටයන්ගෙනි. බොහෝ ප්‍රශ්න පත්‍ර අවුරුදු කිහිපයක සිට එකම ප්‍රශ්න අසා එකම උත්තර බලාපොරොත්තු වූ ඒවාය. බොහෝ වැඩ රාජකාරීන් අස්සේ ඉදහිට පාඩම් කර වුවද 80% ක් තබා 10% ක් වත් පැමිණීමේ ප්‍රතිශතයක් නැති මට දෙවන වසර අවසන් වන විට 2.86 ක GPA අගයක් ලබා ගත හැකිවුයේ එලෙසය. අවසන් අවුරුදු එක හමාරක කාලය තුළ මා සහභාගි වී ඇත්තේ එකම එක විෂයක දේශනයකට පමණක් බව මම පිලිගනිමි. එහෙත් ඒ විෂයන් බොහෝ ප්‍රමාණයකට ඔබ පවසන ආකාරයේ "හොද ප්‍රථිපල" මටද ඇත. කිසිඳු දේශනයකට සහභාගී නොවන මා සැමදා ඔබේ දේශනා වලට සහභාගී වූවනට විභාගයට කලින් කුප්පිද දමා ඔබ නොතේරෙන්නට ඔවුනට කියා දී ඇති දෙය තේරුම් කරදී ඇත්තෙමි. ඔබ කියන ආකාරයට "හොදින් වැඩ කරන්නේනම්" මටද 1st class එකක් ගැනීම අමාරු කාරියක් නොවිය. නමුත් මා එය ඉගෙනීම ලෙස නොදුටුවෙමි. මා එම අධ්‍යන ක්‍රියාවලිය තුළ සුවිශාල "බොරුවක් ව්‍යාජයක් " දුටිමි. විද්‍යා පීඨයක සිදු විය යුත්තේ එයද? ලොව වේගයෙන්ම දියුණු වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විශයේත් එසේ ඉපැරණි දැනුම තාමත් කටපාඩම් කරන සේ බලකරන්නේනම් අනෙක් විෂයන් ගැන කවර කතාද. ගිරවෙකුට මෙන් මිනිසෙකුට බලෙන් විෂය කරුණු කටපාඩම් කරවිය හැක, නමුත් කිසිදා බලෙන් ඉගැන්විය නොහැක, කල හැක්කේ ඉගෙනගැනීමේ මග පෙන්වීම පමණි. ඒ සඳහා 80% ක් තබා 1% ක් වත් අවශ්‍ය නැත. සිසුනට තම ශක්‍යතාවයන් හා දුර්වලතාවයන් අදුනාගැනීමේ ක්‍රමවේදයක් සැකසීම පමණක් ප්‍රමාණවත්ය.

අපගේ පීඨාධිපති තුමා මා "ඉගෙනගන්නෙකු" නොවන බවත් අනිත් අයටද ඉගෙනගන්නට නොදෙන්නෙකු බවටත් මාගේ මවුපියන්ට පවසා ඇත. ඒ ඉහත කී ඔබේ අර්ථයෙන් විය යුතුය. නමුත් මට පැවසීමට ඇත්තේ විශ්වවිද්‍යාලයක දී වැඩිපුර ඉගෙන ගැනීමට ඇත්තේ පන්ති කාමරයෙන් පිටත බවයි. කැටයක් අරන් ගෙන් ගෙට යාමෙන් මට මුණගැසුණු මිනිසුන්ගෙන් මම බොහෝ දේ ඉගෙන ගතිමි. සමාජ යතාර්ථයන් පිලිබඳ හොද අවබෝදයක් ඉන් මට ලැබිණි. ශිෂ්‍ය සංගම් නියෝජිතයෙකු ලෙස නොයෙක් දෙනා සමග ගනුදෙනු කිරීමෙන් මම බොහෝ මිනිසුන්ගේ හැසිරීම් හා ක්‍රියාවන් තේරුම් ගැනීමට ඉගෙන ගත්තෙමි. මහා රෑ හෝ ගිනි දවාල නොතකා ඕනෑම වෙලාවක ඕනෑම අභියෝගයකට මුහුණ දෙන හැටි ඉගෙන ගන්නට හැකිවිය. බොහෝ ගැටලු විග්‍රහ කරගැනීමට හා ඒවාට මුලයන් සෙවීමටත් ඒවා විසදාගත හැකි මාර්ගය තෝරා ගැනීමටත් ඉගෙන ගත්තෙමි. සාමාන්‍ය ආචාර්යවරයෙකුව සිටි අවධියේ සිසුන් සමඟ ඉතාම ලෙන්ගතුව හිඳ පීඨාධිපති වූ සැනින් අවස්ථාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන පීඨාධිපතිවරයාගෙන් මා, ධනේශ්වරය තුල මිනිස් සබඳතාවන්ගේ ව්‍යාජ භාවය ආදී කරුණු පිළිබඳව ඉගෙනගත්තෙමි. ගෙදරින් car එකේ office එකටත් නැවත ගෙදරටත් ලෙස ඒකාකාරී රාමුවක සිරවී සිටින පීඨාධිපති තුමා ගේ "සංවෘත" මනස හැසිරෙන ආකාරය හා ඔහු සතු මානසික තත්වය ඔබ බොහෝ දෙනෙකුට වඩා හොදින් විග්‍රහ කිරීමට මට හැකියාවක් ඇත. ඒ මා ඉගෙනගත් දේ අනුවය. එසේ විග්‍රහ කරගත් විට එවැනි සාම්ප්‍රදායික රාමුවක සිරගතව එයින් තම හිස මුදවාගත නොහැකි වූ පුද්ගලයන්ට අප වැනි "කොටුවෙන් පිට" සිතන්නන්ව පෙනෙන්නේ ඉගෙනගන්නෙත් නැති ඉගෙනගන්න දෙන්නෙත් නැති විනාශකාරයන් ලෙස වීම පුදුම වෙන්න දෙයක් නොවන බව පැහැදිලිවනු ඇත. ඔවුන්ට අපව පෙනෙන්නේ ඔවුන්ගේ ලෝකය වනසන්නට දත කන නරුමයන් මෙනි. අප ඔවුනට අනුකම්පා කරන්නෙමු. සොක්‍රටීස්ට වස දුන්නේ එදා සමාජයේ ඔවුන් වැනි පිරිසය. මෙදා සමාජයේද ඔවුන් වැනි පිරිස කරන්නේ ඉපදෙන්න තනන නූතන සොක්‍රටීස්ලට වස දී මරා පැරණි සොක්‍රටීස්ලා කියූ දේ කටපාඩම් කරගෙන ඒවා ගිරවුන් සේ නූතන සිසුන්ටද කටපාඩම් කරවා තම බඩ වියත රැකගැනීම පමණි. ඔවුන් නව අදහස් ඉපදෙන සැනින් මරා දමති. ඔවුන්ට අනුකම්පා කිරීම හැර වෙන කුමක් කරමුද?

පීඨාධිපතිතුමා පමණක් නොව ඔබ බහුතරයද මා දකින ආකාරයට ඒකාකාරී චින්තන රටාවක සිරවී සිටිති. ඔබලා අඳින පලඳින විදිය, ඔබලාගේ ආහාර රටාව, ගෙදර දොර ජීවන රටාව, විශ්වවිද්‍යාලයේ ජීවන රටාව, උදේ නැගිටින වේලාවන්ගේ රටාව, නිවාඩු ගතකරන ආකාරයන්ගෙ රටාව, විවේක වේලාවන් ගතකරන ආකාරයේ රටාව ආදී ඔබේ ජිවිතයේ එදිනෙදා ක්‍රියාකාරකම් පිලිබඳව ඔබ මඳක් සිතන්න. එවායේ ඉතා දැඩි ඒකාකාරී බවක් නොදැනේද? ඔබ අවුරුදු 5 කට කලින් ගත්තද සිදු කළේ ඔය ටිකම නොවේද? දැනගෙන සිටියේ අද ඔබ දන්නා ටිකම නොවේද? සෑම අවුරුදු 4 කට වරක් ලොව සතු දැනුම දෙගුණ වනවා යයි පවසන ලෝකයේ විශ්වවිද්‍යාලයක විද්‍යාපීඨයක ආචාර්යවරයෙකුට එසේ විය හැකිද? අවම වශයෙන් ඔබ නිවසේ ඔබ නිදියන ඇඳ, ගෙදර පුටු සෙටිය, වැඩකරන මේසය ආදිය හෝ ඒ තියෙන ස්ථාන වළ ඒ ආකාරයට තිබෙන්නේ කොපමණ කලක සිටදැයි මතක් කර බලන්න. ඔබ කෙතරම් ඒකාකාරී දැයි ඔබටම වැටහෙනවා ඇත. ඔබ පවසන ආකාරයට ජේෂ්ඨ වන්නට වන්නට තත්වය කෙතරම් නම් බියකරුවනවාදැයි මට වැටහුනේ ඔබ සමහරෙකුගේ මළ ගෙවල් දැකීමෙන්ය. මිනිස් ඇසුර ඔබට අමතක වී ඇති සෙයකි. ජේෂ්ඨ අචාර්යවරුන්යයි කියනා බොහෝ පිරිසගේ මල ගෙවල් වලට අල්ලපු ගෙදර මනුස්සයා පවා සහබාගි නොවේ. කොහේ හෝ වරදක් ඇතැයි නොසිතේද? ඒවාගේ ඇඩීම පවා ක්‍රමවත්ය, පිලිවෙලය. මට අනුවනම් ඒකාකාරීය. එබැවින් අන් සියලුම දේ ඒකාකාරී වන ඔබේ චින්තන රටාව පමනක් එම ඒකාකාරීත්වයෙන් මිදී තියෙවිද? නුඹලා අචාර්යවරුන්ද? ෂුවර්ද? කියා මා මෙම ලිපියට මුල පිරුවේ එබැවිනි. ( මදකට මෙය කියවීම නවත්වා මේ මොහොතේ ඔබගේ චෛතසික තත්වය  පිලිබඳ මොහොතක් සිතා බලන්න, මෙම ලිපිය කියවාගෙන යන අනුක්‍රමයෙන් ඔබගේ සිතට මා කෙරෙහි වූ වෛරයක් ඇති වීගෙන එනවා නොවන්නේද? "පොඩි කොල්ලෙක් පොර ටෝක් දෙනවා යයි නොසිතෙන්නේද?" :) එසේ සිදු වන්නේද අන් කිසිවක් නිසා නොව මා සඳහන් කල ඔබේ ඒකාකාරිත්වය නිසාය, මැදහත් සිතින් විවේචනයක් බාරගැනීමට තරම් ඔබට විවෘත මනසක් නැති බැවින් නොවේද?)

නුඹලා බොහෝ එකාකාරීය. මා දකින ආකාරයට එම දැඩි එකාකාරීත්වය තුළ ඔබ බහුතරයක් මෙම ජරා සමාජ ක්‍රමයේ මූලික කොන්දේසියක් වූ නරුමත්වය තුළ ගිලෙමින් සිටිති. අවංකවම සිතා බලන්න, ඔබලා විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ය. එසේ වුවද විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් යනු කවුදැයි නිර්වචනය කරන්න යයි මා ඇසුවොත් ඔබගෙන් කී දෙනෙකුට ඒ සඳහා නිර්වචයක් ඇත්ද? විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් සතු සමාජ වගකීම් කුමක්දැයි මා ඇසුවහොත් ඔබට දීමට පිළිතුරු තිබේද? ඔබ මිනිසුන්ගේ බදු මුදල් වලින් ඉගෙනගත්තකු ලෙස එම මිනිසුන්ට කරනා සේවය කුමක්දැයි ඇසුවොත් ඔබට පිළිතුරු තිබේද? මේ ගඳගහන ජරා ක්‍රමය පවත්වාගෙන යාම උදෙසා ශ්‍රමය හෙලිය හැකි ශ්‍රම වහලුන් නිර්මාණය කිරීම උදෙසා ඔබ කටපාඩන් කරගත් කරුණු ගිරවුන් සේ සිසුන්ටද ඒ අකාරයෙන්ම කටපාඩන් කරවීම ඇරෙන්නට ඔබ කරනා සේවය කුමක්ද? ඔබලා මහන්සි නොවන බව මම නොකියමි, නමුත් ඔබලා මහන්සි වන්නේ වහල් ක්‍රමය පවත්වාගෙන යාමට එකල වහල් වෙළඳුන් මහන්සි වූ ආකාරයට වඩා නොවෙනස් අන්දමකට නොවන්නේදැයි මදක් සිතා බලන මෙන් මා ආරාධනා කර සිටිමි. ඔවුන්ද දිවා රෑ නොබලා තම අරමුණු වෙනුවෙන් මහන්සි වූවෝය. නමුත් ඒ මහන්සියෙන් සමාජ සංවර්ධනයක් සිදු නොවිණි.

නුඹලා බොහෝ කම්මැලිය. නුඹලා බොහෝ ආත්මාර්ථකාමිය. කම්මැලි යනුවෙන් මා අදහස් කලේ දේශණ වලට පරක්කු වී පැමිණෙන බව හෝ ඒ ආකාරයේ දෙයක් නොව නුඹලා සිතීමට පවා කම්මැලි බවයි. නුඹලාට කුඩාකල සිටම තිබු සිහිනයන් වූයේ කෙසේ හෝ තනියෙන් ගොඩ යාමටය. එබැවින් තමාට වාසියක් වන්නාවූ දේ සඳහා පමණක් වෙහෙසෙන ඔබ තමාට වාසියක් නොවන්නාවූ දේ කිරීම සඳහා අසීමිත කම්මැලි කමක් දක්වයි. ඔබගේම පඩි පත වෙනුවෙන් වූ පසුගිය අරගලයට පවා සම්බන්ද වූයේ ඔබ අතරින් අතලොස්සකි. ඔබට පඩි වැඩි කරදීමට මම ඔබට වඩා වෙහෙසුනෙමි. නමුත් ඔබ බොහෝ දෙනා "අනිත් අය කරලා දෙනකන්" බලා සිටියහ. මා පුදුම නොවන්නෙමි. අද සිසුන් වන අප අතරද "වෙන අය කරලා දෙනකන්" බලා සිටින්නන් සිටිති. අප විවිද ඉල්ලීම් ඉල්ලා අරගල කරන විට ඔවුහු කාමරයට වී පාඩම් කරති. නමුත් අරගලයන්ගෙන් ලැබෙන ජයග්‍රහණ ඔවුන්ද බුක්ති විඳිති. ඔවුන්ට අනෙක් අයට වඩා හොඳ results ලැබේ, සැබවින්ම එසේ විය යුතුය, මන්ද ඔවුන් කරන්නේ කටපාඩම් කිරීම පමණක් වන බැවිනි. ඔවුන් අවසානයේ class දමා staff එකට  join වෙති. නුඹලාද ඔවුන්ගේ පරම්පරාවේ විය යුතුය. එබැවින් නුබලාගෙන් බොහෝ දෙනෙක් අරගල කරන්න එපා යයි පැවසීම පිළිබඳව මා පුදුම නොවන්නෙමි. නුඹලාට පුරුදු වෙන අය අරගල කර ලැබෙන දේ බුක්ති විඳීමය. නුඹලා අද වැඩ කරන්නේ පැය 8 කි. එසේ පැය 8ක් පමණක් වැඩ කරන්නේ වසර ගණනක් තිස්සේ දහස් ගණනක් ජිවිත පුජා කරමින් කල අරගලයක ප්‍රතිපලයක් ලෙසය (http://www.marxists.org/subject/mayday/articles/tracht.html) නුඹලා අද සිටින්නේ ධනේශ්වර යුගයේය. එසේ නුඹලා අද සෘජු ලෙසම වහලුන් නොවුයේ අතීතයේ අප වැනි මිනිසුන්ගේ නොසැලෙන ධෛර්යයෙන් කල අරගල නිසාය. නුඹලාට අද ඉන්න තැනට  එනතුරු ඉගෙනගැනීමට ලැබුනේ හුදෙක් කන්නන්ගර මහතාගේ හොඳ කම නිසා පමණක් නොව එකල ජනයාගේ සංවිධිත හා අසංවිධිත අරගල වල ප්‍රතිපලයක් ලෙසය. නුඹලාට අද එංගලන්තයේ සුද්දන්ගේ බැලමෙහෙවර කිරීමට සිදු වී නොමැත්තේ එකල වීර පුරන් අප්පුලා ගොන්ගාලේ ගොඩ බණ්ඩලා කල අරගල නිසාය. මෙසේ මා ගත් උදාහරණ දෙස බලන්න, ඒවාගෙන් තේරුම් ගත යුතු දෙයක් තිබේ. එනම් කිනම් රටක වුවද කිනම් කාලයක වුවද පාලකයන් සෑම විටම ජනතා විරෝදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇති බවත්, ජනතාවට අරගලයන්ගෙන් තොරව කිසිත් ලැබී නොමැති බවත් ය. එසේනම් නුඹලා අපට අරගල නවතන්න කියන්නේ කුමන හේතුවකටද කියා අපට නොවැටහේ. කෙසේ නමුත් නුඹලාට පඩිය මදි වන විට පමණක් නුඹලාටද අරගල හොඳය. ඊටද සහබාගි වන්නේ ස්වල්ප දෙනෙකි. බහුතරය අරගල වලට අකුල් හෙලමින් සිට ජයග්‍රහණ බුක්ති විඳිති. නුඹලාට ඇත්තේ කම්මැලිකම හා ආත්මාර්ථකාමී කම යයි පැවසීම වැරදිද?

නුඹලා ව්‍යාජ වටිනාකම් පසු පස හඹා යමින් සිටිති. නුඹලා "අචාර්යවරයා" යන නාමය භාවිතා කරනු ලබන්නේ නුඹලාට වටිනාකමක් අන් අයගෙන් ලබාගැනීම සඳහාත් ඒ තුලින් වරප්‍රසාදයන් ලබා ගැනීම සඳහාත් පමණි. නුඹලා බොහෝ දෙනෙකු කුඩා කල දුප්පත් පවුල් වල ය විය යුතුය. මන්ද ලාංකීය සමාජයේ බහුතරය දුප්පත් පවුල් වන බැවිනි. නමුත් නුඹලා ආචාර්යවරුන් වූ පසු නුඹලාට ඒ සියල්ල අමතක වී යයි. "දුප්පතෙකු" යන වචනය ඇසෙන විට ඔබලාට මතක් වන්නේ "අපෙන් එකෙක්" කියා නොව නුඹලාට වඩා පහත් පුද්ගලයෙකු ලෙසය. (මෙය මාගේ පියාටද තිබෙන මා නිතර ඔහුට දෝශාරෝපනය එල්ල කරන කරුණකි.) නොමිලේ ඉගෙනගත් ඔබට online හරහා උපාධිය විකිණීම පිළිබඳව දෙගිඩියාවක් නොසිතෙන්නේ එබැවිනි. අධ්‍යාපනය  මිල කිරීම කෙතරම් "පාහර" ක්‍රියාවක්ද යන්න ඔබට නොවැටහෙන්නේ එබැවිනි. ඒකාකාරී චින්තන රටාවක් තුල ව්‍යාජයන් තුල පමණක් සැරිසැරීම හේතුවෙන් ව්‍යාජයන් කුමක්ද අව්‍යාජයන් කුමක්ද යන්නවත් තේරුම් බේරුම් කරගැනීමට නුඹලාට නොහැකිය. ආචාර්යවරුන් යනු දෙමාපියන් හා සමාන පිරිසක් බව නුබලා නිතරම පවසති. එතුලින්ද ඔබ බලාපොරොත්තු වන්නේ "දෙමාපියන්" යන වචනය ව්‍යාජ ලෙස භාවිතා කරමින් නුඹලාටම වාසියක් ලබා ගැනීම පමණි. දරුවන් ජරා වතුර බොන විට ජරා කෑම කන විට අහක බලා සිටින දෙමවුපියන් සිටින්නේ කොහෙද? රට සවාරි මුදල් වරප්‍රසාද වලට ලොබින් අමන පාලකයන් විසින් අමු අමුවේ දරුවන්ගේ ජිවිත විනාශ කරන විට අහක බලා සිටින දෙමුපියන් සිටින්නේ කොහෙද? නුඹලා දරුවන්ට විභාග ප්‍රථිපල පවා නිසි කලට දෙන්නේ නැත. දරුවන්ගේ කිසිඳු ගැටළුවක් ඉදිරියේ ඇස් කන් අරින්නේ නැත. පුදුමාකාර දෙමවුපියන්ය. දරුවන්ගේ විභාගයට වඩා දෙමවුපියන්ට TT මේසයෙන් පීඨයට සිදු වී ඇති අවලස්සන මකා දැමීම වැදගත් විය. දරුවෙක් දෙමාපියන්ගේ හිරිහැරයක් ඉවසා ගත නොහැකිව වෙනයම් සරණක් පතන්නේනම් පමණක් නුඹලාට නුඹලා දෙමාපියන් හා සමාන බව මතක් වෙයි. අප පමණක් දරුවන් ලෙස යුතුකම් හා වගකීම් අකුරටම ඉටු කල යුතු අතර දෙමාපියන්ගේ වාසියට සියල්ල සිදුවිය යුතුය. අම්ම තාත්තා යන අති උතුම් පදවියන්ගේ ගෞරවය පවා ඔබ ව්‍යාජයක් බවට පත්කර නොමැත්තේද? ඒ ආකාරයටම පෙර කල සිටි ආචාර්යවරුන් මහාචාර්යවරුන්  සමාජය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කිරීම හේතුවෙන් සමාජයෙන් ඔවුනට ලැබුණ "ආචාර්යවරයා" යන්නෙහි වටිනාකම ඔබ විසින් වරප්‍රසාද ලබා ගැනීම උදෙසා ව්‍යාජ භාවිතයක යොදාගනිමින් සිටි. අද දවසේ අවම වශයෙන් පුවත්පතකට හෝ ලිපියක් ලියන ආචාර්යවරුන් ඇත්තේ කීයෙන් කී දෙනෙකුද? නුඹව මෙතෙක් දුරට පෝෂණය කළ සමාජයේ පොදු ප්‍රශ්න කීයක් වෙනුවෙන් කී පාරක්නම් ඔබ ඔබේ කටහඬ අවදි කර ඇත්ද? ඔබේ තෙළි තුඩ මෙහෙයවා ඇත්ද? එසේනම් නුඹලා ආචාර්යවරුන්ද? ෂුවර්ද?

මේ මට ඔබ පිළිබඳව පොදුවේ දැනෙන හැඟෙන ආකාරය වේ. නුඹලාට සාපේක්ෂව මා "පොඩි එකෙකි". එබැවින් මම වැරදියි විය හැකිය. එසේනම් සිදුවියයුත්තේ මා නිවැරදි කිරීමය. නමුත් මා ඔබ බොහෝ දෙනෙකු පිලිබඳ තේරුම් ගෙන ඇති ආකාරයටනම් සිදුවන්නේ මෙතැන් පටන් මට ඔබ බොහෝ දෙනෙකුගේ ඇනුම් බැනුම් රැවුම් ගෙරවුම් වලට යටත් වීමට සිදු වීම බව මා දනිමි. ලොවෙන් අඩක් යටත් කරගෙන සිටි චණ්ඩාශෝක මහා රාජයා කුඩා සාමණේරයන් වහන්සේ කෙනෙකු කියන දේ පිළිගැනීමට සූදානම් වුවද නුඹලාගෙන් බහුතරය මට දක්වන ප්‍රතිචාරය වනුයේ මාගේ වදන් අබ මල් රේණුවක් තරම්වත් නොසලකා හැර නුබලාගේ එදිනෙදා දිවිපෙවෙතම ගත කිරීම බව මා දනිමි. ඒ වෙනුවට මින් පසු ඔබ බොහෝ දෙනෙකු උපකුලපතිවරගා ඇතුළු පාලක හරකුන්ට මා වැනි වුන් පිටමං කිරීමට උදවු දෙනු ඇත. මට අයහපත් ප්‍රතිපල අත් කිරීමට උත්සහ කරනු ඇත. නමුත් මා හට අයහපත් දේ කිරීමට උපකුලපතිවරයාට හෝ කාටවත් නොහැකිය. මන්ද මා බිය වන්නේ ගරු කල යුතු තැනැත්තන්ට පමණක් වන බැවිනි, එනම් සැබෑ මානුෂීය ගුණාංගයන් ඇත්තන්ට පමණි. මම උපකුලපතිට හෝ පීඨාධිපතිට හෝ විනය පාලකට හෝ SB ට හෝ ජනාධිපතිට අබ මල් රේණුවක් බය නැත. ඔවුන් අමනුස්ස ගති දක්වන බැවිනි. මා ඊට වඩා ඔබ පීඨයේ වැසිකිළි පවිත්‍ර කරන අම්මලාට බයය. ඒ ඔවුන් තුල මනුස්ස ගුණාංග ඇති බැවිනි. රෑ දවල් නොතකා අප අනිත් උන් වෙනුවෙන් වැඩ කරන බව හිතනා ඒ අම්මලා අපට ඔවුන්ට හැකි පමණින් ඔවුන් හම්බකරන සොච්චම් මුදලින් ඔවුන්ගේ දවල් ආහාරය සඳහා ගෙනෙන කෑම පැකට්ටුව දී කුසගින්නේ ගෙදර යන අවස්ථා ඇත. එබැවින් ඒ මනුස්සකම ඉදිරියේ ඔවුන්ගේ හිත් රිදවීමට මා බය වෙමි. මාගේ පන්ති තහනම දවසේ මා බදාගෙන අඬන ලද කෙනෙක් වෙත්නම් ඒ ඔවුන් පමණකි. ඒ මනුස්සකමට මා ගරු කරමි. ඒ ආකාරයට අප ගරු කරන ආචාර්යවරුන්ද නැත්තේ නොවේ. මනුස්සකමින් මා හා කතා කරන ආචාර්යවරුන්ට එම ගරුත්වය ලබා දෙන අතර යටි අරමුණු ඇත්තන්ට හෝ අමනුස්ස හැසිරීම් දක්වන්නන්ට ඊට අදාළ ප්‍රතිචාර දක්වමි. මාගේ ගරු කිරීම ඇත්තේ ඔවුනගේ මනුස්සකමට විනා "ආචාර්යකමට" නොවේ. ඉතිරි අයට ඇත්තේ බියයි. බිය යනු ත්‍රස්තවාදීන් විසින් පාලනය කිරීම සඳහා යොදා ගන්නා හැගීමයි. බිය දිනෙක නැති වන අතර ගෞරවය කිසිදා නැති නොවේ. බිය නැති වන දිනදී බිය කරගෙන සිටි උන්ද නැති වී යයි.

මේ ආකාරයේ ලිපියක් ඔබ කිසිවෙකුට කිසි දිනක ලැබී නැතුවාට සැකයක් නැත. මේ ලිපිය තේරුම්ගත යුතු ආකාරයද මා ඔබට තේරුම් කරණු කැමැත්තෙමි. මෙය යනු ඔබ පිළිබඳව ඔබේ ක්‍රියාකලාපය පිළිබඳව දැන් දැන් සිසුන්ට තේරීමට පටන්ගෙන ඇති බවටත්, සිසුන් ඔබව ප්‍රශ්න කිරීම ආරම්භවීගෙන එන බවටත් ඉඟියකි. එනම් එක්තරා ආකාරයකින් නිදාගෙන සිටින සමාජය අවදිවෙමින් පවතින බවටත් එහිදී ව්‍යාජයන් ප්‍රශ්න වනු ඇති බවට වූ පෙර දැනුම්දීමකි. අප වෙත සරසවි පාලකයන් මුදා හල මර්ධනයෙන් සිදුවුයේ කුමක්ද? ඔවුන්ම නිරුවත් විය. උපකුලපති හා පීඨාධිපතිවරු යනු පෙරේත රූකඩ බව රටම දැනගත්තේය. ඔවුනට අපගේ ඇපයට තබා ගත හැකි වූ එකම දෙය වුයේ අපගේ උපාධිය පමණි. නමුත් කටපාඩන් කර අච්චු ගසා ගන්නා නොවැදගත් උපාධියේ සැබෑ හරය අප අදුනාගෙන ඇති නිසා  දැන් ඔවුන් පිස්සු බල්ලන් සේ හති වැටී සිටිති. මෙම ලිපිය ඔබට රහසේ ලැබෙනු ඇති වුවද ඒ ආකාරයට නුදුරු අනාගතයේ දවසක එළිපිට දහස් ගණන් සිසුන් ඔබවද ප්‍රශ්න කරනු ඇත. එසේ සිදු වීම ඔබට හෝ මට හෝ නැවතිය නොහැක. එහි ආරම්බය  TT  අරගලයෙන් පසු සිදුවූ නොවුයේද? එය නැවැත්විය හැකි එකම ක්‍රමයක් ඇත එනම් ඔබ සංවිධානාත්මකව නිවැරදි න්‍යායාත්මක භාවිතයකට යොමු වීම පමණි. ඒ හැරෙන්නට ඔබෙන් බොහෝ දෙනා අනුගමනය කල exam වලදී "කෙලවීම" ආදී ක්‍රම නුදුරෙදීම වලංගු නොවනු ඇත. මන්ද ක්‍රමය ප්‍රශ්න කරන සිසුන්ට උපාධිය හෝ exam ලකුණු අදාළ නොවන බැවිනි. ඒ ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබම නිරුවත් විය හැකි බැවිනි. මා දන්නා ආකාරයට ඔබෙන් අයෙකු වූ උත්පල ඒකනායක මහතා වැනි අය චතුරංග වැනි අයව පුදුම සහගත ලෙස staff  ගැනීම ආදී වූ තොරතුරු ළඟදීම සමාජය හමුවේ හෙළි වනු ඇත. එසේ වන්නේ අව්‍යාජය අසාධාරණයට සමාජයේ තිබූ වලංගු තාවය  කෙමෙන් අහෝසි වී යන බැවිනි. ඒ බව මේ දිනවල විශ්වවිද්‍යාලය අධ්‍යන කළහොත් ඔබට වැටහෙනු ඇත. සිසු සංගම් මර්ධනය කිරීමේ අරමුණින් රජරට ඉතිහාසයේ කුරිරුතම මර්ධනය දියත් කර ඇති මේ මොහොතේ සිසු සංගම් වලින් සිසුන් ඈත් වනු වෙනුවට තවත් සිසුන් එකාවන්ව එක්වෙමින් සිටිති. නවක කණ්ඩායම් සිසු සංගම් නියෝජිතයින් වීමට බිය වනු වෙනුවට ඒ වගකීම් ගැනීමට පොරකමින් සිටිති. ඉතිහාසයේ පළමු වතාවට කළමනාකරණ අධ්‍යන පීඨයේ සිසු සංගමයේ ලේකම් ලෙස වර්තමානයේ වැඩ කරනුයේ සිසුවියකි. ඇය ස්ව කැමැත්තෙන් ඒ සඳහා ඉදිරිපත් වී තිබිණි. එයින් පැහැදිලි වන්නේ කුමක්දැයි කියා සිතා බලන්න. අසාධාරණය ඉවසා ගත නොහැකිව කෙල්ලන් පවා කෙලිකම අත හැර සටනට එක්වෙමින් ඇත. පාලකයන්ට වැරදෙමින් ඇත. නිවටයන්ට වැරදෙමින් ඇත, කම්මැලියන්ව ප්‍රශ්න වෙමින් ඇත, ආත්මාර්තකාමින්ව ප්‍රශ්න වෙමින් ඔවුන් කොන් වෙමින් ඇත, ව්‍යාජයන් විනාශ වෙමින් පවතී. ඉදිරියේදී තව තවත් මර්ධනය අපට ඔවුන් මුදා හරින බව අප දනිමු. අප ඒ සඳහා සූදානම්ය. මාසයකින් සරසවි ජීවිතය හැර යාමට සිටි මා සදා කල් වූ සටනකට අද දැමූ පාලකයන්ට මා ස්තුතිවන්ත වෙමි. මා මෙයින් නවතිමි. අවසාන වශයෙන් මා හට කුමන හෝ මාර්ගයකින් මේ සඳහා ප්‍රතිචාරයක් දැක්වීමට හැකිනම් මා ඔබට ගෞරවපුර්වකව ස්තුතිවන්ත වෙමි. එම ප්‍රතිචාරය කුමන අකාරයේ එකක් වුවද කම් නැත. මන්ද මා ඔබ බොහෝ දෙනෙකු ගැන දන්නා ආකාරයට එය යහපත් වනු නොමැති බව මා හොඳින්ම වටහා ගෙන ඇති බැවිනි. ඔබ බොහෝ දෙනා අප ඔබට දුන් ලිපි වලට කලේ ඒවායේ හරය පිලිබඳ විමසා සංවාදයකට පැමිණීම නොව ඒ වෙනුවට ඒවායේ ව්‍යාකරණ දෝෂ හා වචනවල සැර ගුණ අගුණ පිළිබඳව අපට දෝෂාරෝපණය කර නිකන් සිටීම හෝ තමාගේ e-mail ලිපිනයට මෙවන් ලිපි නොඑවන ලෙස දන්වා සිටීමයි. ඒ ආකාරයේ බාලාංශ ප්‍රතිචාර විශ්වවිද්‍යාලයකට නොගැලපේ. සරසවිය අදහස් ගැටී නිවැරදි අදහස ජයගත යුතු තැනක් ලෙස මා දකිමි. නැවතත්  මෙම ලිපියේ මුල් චේදය කියවා මෙම ලිපිය කියවීම අවසන් කරන මෙන් ඔබෙන් ගෞරවයෙන් ආදරයෙන් යුතුව ඉල්ලා සිටිමි. ඔබේ පහසුව තකා මම එය මෙසේ උපුටා දක්වමි.

"මෙම ලිපිය ආන්දෝලනාත්මක විය හැකි බව මම දනිමි. මෙය මාගේ ආදරණීය ආචාර්යවරුන් වන ඔබ හැමටම ලැබෙනු ඇති අතර මෙසේ ලිපි ගනුදෙනුවක් වූ බවට ශිෂ්‍යයෙකු වශයෙන් දන්නේ මා පමණක් බව සහතික කරමි. මෙහි ඇති සියලුම කරුණු ඔබ සියලු දෙනාටම අදාළ නොවන බව පැවසිය යුතු අතර ඔබටද අදාළ වන කරුණු මෙහි තිබිය හැකි බවත් සමහර කරුණු පොදුවේ ඔබ සියලුම දෙනාට අදාළ වනු ඇති බවත් දන්වා සිටිමි. එමෙන්ම මෙම ලිපිය, ඔබෙන් කිහිප දෙනෙකු  මා විසින් ඔබ කෙරෙහි වූ වෛරයකින්  එවූ ලිපියක් සේ දකිනු ඇත, එසේ සිතා මෙය කියවන ඔබ බොහෝ දෙනෙකු මා පිළිබඳව අප්‍රසාදජනක හැගීමකට එනු ඇති බව මම දනිමි. එය මට පෞද්ගලික වශයෙන් බොහෝ අවාසි අත්පත් කරදෙනූ ඇති බවද මම දනිමි. නමුත් සේන නානායක්කරයන් වැනි වූ ඇදුරුතුමෙකුට මෙය යැවුයේ නම් එවැන්නකු මෙය මැදහත් සිතින් බලනු ඇති අතර ලියනගේ අමරකීර්ති ඇදුරුතුමා වැන්නෙකු නම් මා හට ඔහු සමග සංවාදයකට ප්‍රවේශවීම පිළිබඳව ස්තුතිවන්ත වනු ඇතැයි මා සිතමි. ඒ අකාරයන්ගෙන් ඔබ කෙලෙස මෙයට ප්‍රතිචාර දක්වාවිද යන්න මම නොදනිමි.නමුත්  ප්‍රතිචාරය කෙසේ වුවද කිව යුතු දේ කිවයුත්තන්න්ට කිව යුතුමය. සත්‍ය කෙතරම් කටුක වුවද එය සත්‍යයම වේ, අසත්‍ය කෙතරම් සුන්දර වුවද එය අසත්‍යයම වේ. මම කටුක සත්‍ය අගය කරමි."

ස්තුතියි.

මෙයට සිසුවකුව සිටි,
අනුරාධ ඉසුරු බණ්ඩාර.
0712230066

ප.ලි - ඔබේ අධ්‍යාපන ක්‍රමය මැනවින් නිරුපණය කර ඇති වීඩියෝවක්.
http://www.youtube.com/watch?v=GqPwffptR-E

*** මෙහි මා ඉතාමත් ගරුකරන ආචාර්යවරුන් දෙදෙනෙකුගේ නම් සඳහන්ව තිබු අතර බොහෝ දෙනාගේ අදහස වූයේ එසේ නම් සඳහන් නොවුයේනම් වඩා යහපත් බවයි. එසේ හෙයින් එම නම් ඉවත් කර ලිපිය ඉදිරිපත් කලෙමි.
Share this article :

1 comments:

  1. අයියේ නියම ලියුම. පුලුවන්නම් මේක campus එකේ හැමෝටම කියවන්න ලැබෙන්න සලස්වන්න. ගොඩාක් අයගේ ආකල්ප වෙනස් කරන්න පුලුවන් වෙයි.

    ReplyDelete