Home » » ගලපා ගත නොහැක (මාතලන්, ටොක්කා සහෘදයන් වෙත....)

ගලපා ගත නොහැක (මාතලන්, ටොක්කා සහෘදයන් වෙත....)

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Thursday, September 26, 2013 | 7:52 PM

නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දින ගැනීමේ සටනේදී අපෙන් උදුරාගත් ආදරණීය මාතලන්, ටොක්කා සහෝදරයින් මරා දමා වසරක් ගෙවෙන මොහොතේ වසරකට පෙර අවසන් රැයේ මතක සමගින් මේ සටහන් තබනෙමි.



මා නුබේ කතා අසා නැත. නුඹගෙන් ශිෂ්‍ය ව්‍යාපාරය ගැන දේශනා අසා නැත. නුඹ සමඟ සටන් පාඨ කියා නැත. නුඹ සමඟ විහිළු කතාවක් වත නැත. කොටින්ම නුඹේ හැඩරුවවත් මා දන සිටියේ නැත. කැලණියේදී නුඹ මට මුණ ගැසීද නැත.



දින තුනක් පා ගමනට යන්නට සිතා ආ නුඹ එක දවසින් එය නතර කරන්නට සිදු වේ යැයි නොදැන සිටියෙමි. Screen Print එකට නුඹට ලැබුණු අලුත්ම සෙරප්පු කපා දුන්බව නොදැන සිටියෙමි. “සෙරප්පුව දැම්මොත් මට විතරයි, හැබැයි පොස්ටරෙන් දහස් ගානක් දැනුවත් වෙනවා.” යි නුඹ කී බව නොදැන සිටියෙමි. ඔබේ පන්ති තහනම ඉදිරියේ නොනැමුණු ඔබ සගයන්ගේ පන්ති තහනම් ඉවත් කර ගැනීමට වෙහෙස වූ බව නොදන්නෙමි.
නුඹේ ගමට යන්නට නම් රාත්‍රී 7 ට පෙර යා යුතු බවත් නැත්නම් අලි කරදර සිදුවන බවත් නොදැන සිටියෙමි. කබරවට යන පාරේ හරි හැටි වාහනයකටවත්  යන්නට බැරි බව නොදැන සිටියෙමි. ඔබේ ගමෙන් පාසලෙන්  විශ්වවිද්‍යාලයට ගිය එකම දරුවා නුඹ බවත්, ගෙදර ගොස් නැවත සරසවියට එනවිට ගෙදරින් ඇත තැබූ මුදලින් කොටසක් යලි ගෙදරට දෙන බව නොදැන සිටියෙමි.

සියල්ල දන ගන්න විට නුඹ ගොසින්ය....

මගේ සරසවියේ ජේෂ්ඨයින් මාතලන් අයියා යැයි සහෝදරත්වයෙන්  නුඹ ඒ මාතලන අයියාම බව එදා බස් එකට ගොඩවන්නට හන්දියට පැමිණෙන තුරු නොදැන සිටියෙමි. එදා අප ලුහුබැඳ ආ දඩ බල්ලන් ගැන ඉඟි කරමින් නුඹ කතා කල හැටි මට මතක් වුයේ නුඹ ගිය පසුය.

විනාඩි කිහිපයකට කලින් හමු වූ මටද පෙර මිතුරන්ට මෙන් සිනා සී කතා කල බව මට මතකය,

පහුවදා පා ගමනේ ගෙනයන්නට සටන් පාඨ රැගත් පුවරු වල එන ගසන්නට නුඹ ද අප සමඟම නිදි වැරූ බව මට මතකය.
නිදාගන්න යයි කියද්දී නුඹ අප සමඟම සිටි බව මට දැනුදු මතකය,

අප නිදි අතරේ නුඹ ගිය බව මා නොදැන සිටියෙමි.

මේ අර මාතලන් අයියා යයි මගේ සිතේ නුඹ සමඟ කතා කරන්නට තිබු ආසාව සංසිඳුව ගන්නට නුඹ පහුවදා වන විට නොසිටිතැයි මා දන සිටියේ නැත.

කඳුළු ගෑස්, බටන් පොලු, වෙඩි උණ්ඩ, වලට නැවතිය හැකි නම් නිදහස් අධ්‍යාපනය විනාශ වී හුගක් කල් බව අඟුරු කැබැල්ලක නුබේ කුඩා නිවසේ බිත්තියේ සටහන් තැබූ බව මා දන සිටියේ නැත. නමුත් එදා කඳුලු ගෑස්, ජල ප්‍රහාර හමුවේ නුඹ ඉදිරියට පා තැබූ බව මතකය.කාල වර්ණ නුඹ ඉදිරිපෙළ සිට සටන් පාඨ කියමින් කා ගැසූ බව මට මතකය. පොලිස් මාර්ග බාධකය උඩට නැඟුණු නුඹ නැගු හඬ මට මතකය. කොටුව දුම්රිය පොළ ඉදිරිපිට  ගුවන් පාලමේදී එහා මෙහා මාරු වන විට නුඹ එදා සහෝදරත්වයෙන් සිනා සුනු බව මට මතක් වුයේ පසුවය.


පසුව පා ගමනේදී නුඹ දුටු විට මට ඒවා මතක් විය. නුඹද දවස් තුනක් පා ගමන යන්නට පැමිණ එක දවසින් අප වෙනුවෙන් වෙන ගමනක් යන බව මා දැන සිටියේ නැත. මා කුමක් කියන්නද?

මාළු නොකෑ මාගේ රාත්‍රී කම පාර්සලයේ මාළු කෑල්ල නුඹේ බත් පතේ තැබූ බව කියන්නද? කෑමට පෙර නුඹ දෙවියන් සිහි කල බව කියන්නද?

මාතලන් අයියා සමඟ ඇත පත්‍රිකා ගේන්නට යන ගමන ගැන නොසිතා අප සමඟ වැඩ කල බව කියන්නද?
නුඹේ මල ගෙදර දී නුඹව මට හඳුනා ගැනීමට නොහැකි වූ බව මම කාට කියන්නද?

නුඹ රුහුණේ මගේ සමකාලීන කණ්ඩායමක බව මා නොදැන සිටි බව මා කට කියන්නද?
නමුත් මා සිතා සිටියා නිවැරදිය නුඹ මට සැම අතින්ම ජේෂ්ඨයෙකි.

නුඹ දෙදෙනාගේ ලේ පල්ලම් මතින් නුඹ පතු සටන කරා අපි එදා පා ගමන අවසන් කළෙමු.
facebook, බ්ලොග් සටහන්  අතර නුඹලා නිතර රැදෙනු දුටුවෙමි.
දහස් ගණනින් ඒවා share වනවා දුටුවෙමි,

එසේ කල වුන් නුඹේ මඟ ගමන් ගන්නට පටන් ගත් දා නුඹලාගේ මරණ අරුත් ගැන්වෙනු ඇත,
නුඹලා මර දැමුවන්ගේ දරුවන්, දරුවන්ගේ දරුවන් නිදහස් අධ්‍යාපන වරම ලබන විට මීනිමරුවන්ගේ හෘද සාක්ෂිය වෙවුලා යනු ඇත, මේ සමාජය අසාධාරණයෙන් මිදී , සත්‍ය රජයන යුගයක නුඹේ සැබෑ මිනීමරුවා සුදු කබා ඇදගත් රජෙකු යැයි තමන් වරදවා වටහා ගත කෙනෙකු නොවේදැයි මේ සමාජය තේරුම් ගනු ඇත. එදාට නුඹ පා තැබූ සටන් බිමට තව තවත් එක වනු ඇත.


අප දීර්ඝ කාලීන මිතුරන් වුයේ නැත. නමුත් මේ සටන් බිම පුර නුඹලා හමු වූ පය කිහිපය අදටත් මට දිරි දෙන බව නොරහසකි.
නමුදු යතුරු පැදියකට ගොඩවන වාරයක් පාසා මගේ හිතට දැනෙන අමුත්ත දිවි තියෙන තුරු මැකී නොයනු ඇත.

ආදරණීය විරු සොයුරනි නුඹට අපගේ විප්ලවීය ආචාරය!!!!!

-ලහිරු චතුරංග-
Share this article :

0 comments:

Post a Comment