Home » » විශ්වවිද්‍යාලයක් නැති තැනක ශිෂ්‍යභාවයක් කුමටද?

විශ්වවිද්‍යාලයක් නැති තැනක ශිෂ්‍යභාවයක් කුමටද?

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Wednesday, September 25, 2013 | 6:01 PM

“විශ්වවිද්‍යාලයක් යනු උසස් අධ්‍යාපන හා පර්යේෂණ කරනා ආයතනයක් වන අතර සියලුම ශාස්ත්‍රාලීය උපාධීන් ප්‍රධානය කිරීමේ හැකියාව ඇත.”

මෙම නිර්වචනය හමු වන්නේ අන්තර්ජාලය හරහා විශ්වවිද්‍යාලයක් යනු කුමක්ද? යන්න සෙවූ විට විකිපීඩියා වෙබ් පිටුවෙනි.


“විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාලයක් වන්නේ එය විශ්වීය හා සමස්ත දැනුම ප්‍රදානය කරන අධ්‍යාපන ආයතනයක් වන හෙයිනි.  universitas යනුවෙන් (අර්ථය විශ්වය නැත්නම් සමස්තය යන්නය) ලෝකයේ බිහි වූ පළමු විශ්වවිද්‍යාලය වූ ඉතාලියේ Bologna හි (1080) ආදර්ශෝක්තිය වුයේ alma mater studiorum” හෙවත් “අධ්‍යයන මාතාව පෝෂණය කරගැනීම ” යන්නය. බොහොමයක් බටහිර සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයන්හි ආද්ර්ශෝක්තීන්ද සියලු ක්ෂේත්‍රයක්ම ආවෘතවන පරිදි නිර්මාණය කර ඇත. විශ්වවිද්‍යාල යන වචනය නිර්වචනය වුයේ ලිබරල්, කලා, විද්‍යා,සමාජීය, සහ මානවශාස්ත්‍ර විෂයයන් වලින් අනුයුක්තව උසස් මට්ටමින් අධ්‍යාපනය ප්‍රදානය කරන ආයතනක් ලෙසය....”




ඉහත වෙබ් පිටුවට ගිය විට විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වූ ඉහත විස්තරය ලබා ගත හැකිය.
කලා, සෞන්දර්ය, නීති, වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ, කෘෂිකර්ම, ඇතුළු මෙකී නොකී පීඨ ගණනාවකින් සමන්විත අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය විශ්වවිද්‍යාල මට්ටමෙහිලා සැලකිය හැකිද යන්න ගැටළු සහගතය.

ලාභය ඉලක්ක කරගත්, වෙළඳපල රැකියා අවස්ථා උදෙසා විශ්වවිද්‍යාල ශිෂ්‍යා නිර්මාණය කිරීම සඳහා අද වන විට විශ්වවිද්‍යාල තුල අධ්‍යාපනය කොටු කරගෙන යන අතරම බොහෝ විශ්වවිද්‍යාල ඊට ගොදුරු වී හමාරය. කලා, සෞන්දර්ය පීඨය වගකීම රටේ ගුරු හිගයට විසදුම් දීමද? කලා ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනය සඳහා අවශ්‍ය පර්යේෂණ, නිබන්ධන, සංවාද, විවාද වලින් ගහන පරිසරයක් අද කලා සෞන්දරය පීඨ වල දැකිය හැක්කේ ඉතාමත් කලාතුරකිනි. එදිරිවීර සරත්චන්ද්‍රයන් වැනි අද්විතීය කලාකරුවන් යැයි හැඳින්විය හැකි කලාකරුවන් බිහිකල සැබෑ විශ්වවිද්‍යාල පද්ධතියක උරුමක්කරුවන් ලෙස කලෙක අප සිටි බව බොහෝ දෙනෙකුට අමතකය.
එදා “කලාව කන්නදැයි ” ඇසු පාලකයෝ කලාකරුවන්ට කානු පල්ලේ වැටෙන්නට ගැසුවේය. ඒ එදා පවතී ක්‍රමය විවේචනය කරන්නට තරම් නිර්භීත කලාකරුවන් විශ්වවිද්‍යාල තුලින් බිහි වූ බැවිනි. අද ද බොහෝ කලාකරුවන් නිහඬව ඉද්දී හෝ නඟන හඬ බොහෝ දෙනෙකුට නොඇසෙද්දී තමන් කලාකරුවන් යයි හඳුන්වාගන්නා අය සාටකයේ එල්ලී ඔන්චිලි පදිනා බව එලිපිටම ඇති සත්‍යකි. කලාවේ උන්නතිය උදෙසායැයි කියාගනිමින්  සිය දිවිය තනි පුද්ගලයෙකු වෙනුවෙන් කැප කර ඇති ඔවුන්ට විශ්වවිද්‍යාල හරහා කලාවේ උන්නතියට කෙරෙන පර්යේෂණ, සංවාද නංවාලීම සඳහා සැකසිය යුතු වැඩපිළිවෙලක යෝජනා අදටත් එලියට නොඑන්නේ එය ස්වකීය ස්වාමියාගේ පැවැත්මට අයහපත් ලෙස හේතු වන නිසා බව දන්නෝ දනිති. සාටකය වැටුණු කල ඔවුන්ටත් නොදනිම පස්ස බිම ඇනෙන බව ඔවුන් දන්නා නිසා සාටකයේ සමබර බව රැකීම කලාව කරනවාට වඩා පහසු බව තේරුම් ගෙන ඇත. “කවීතා” වැනි වැඩසටහන් හරහා බාහිර සමාජයේ බොළඳ තරු සිහින තුල ගිලෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යා අද කලාව යනු මෙය යැයි හඳුනා ගනිමින් සිටිනවා හෝ පැවැත්ම ඇත්තේ විකල්ප තුල නොව පවත්නා ක්‍රමය අනුමත කිරීම තුල බව වැරදි ලෙස වටහා ගනිමින් සිටීම ඛේදනීයය.
මිනිසුන්ට අලුත් අලුත් විවිධ දරුණු ලෙඩ රෝග සැදෙන්නේ ඇයි දැයි පර්යේෂණ කිරීමට වෛද්‍ය පීඨයක සිසුන්ට වෙලාවක් නැත. විශේෂඥ වෛද්‍යවරුන්ට වෙලාවක් නැත.  උනන්දුවක් ඇත්තේද නැත. කිසිවෙකු උනන්දු කරන්නේද නැත.  ඇතැම් විට දරුණු ලෙඩ සෑදෙන තරමට තමන්ගේ මල්ල පිරෙන බව විශේෂඥ වෛද්‍යවරයට සිතෙනවා වන්නට පිළිවන. අප ජිවත වන්නේ එවන් දේවල් හිතෙන සමාජයකය. ලෙඩ හැදෙන්නට විෂ දෙන සමාගම ම විෂ නසන්නට ඖෂධ සාදන බව කියන්නට දන්නා නමුත් දිව ඊට අවනත නොවනවා විය හැකිය, එය දිවේ ලෙඩක් වන්නටද පිළිවන.


මහාචාර්ය සේනක බිබිලේට එවන් ලෙඩ නොතිබීම වාසනාවකි. නමුත් එය ඔහුගේ අවාසනාව විය. කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් බිහිවූ මහාචාර්ය සේනක බිබිලේ මෙරටට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හඳුන්වා දෙමින් ඖෂධ මාෆියාවට එරෙහිව ජාත්‍යන්තර සමඟ සටන් කල අයෙකි. ඒ නිසා රටින් පිටතදී ස්වකීය ජීවිතය පූජා කරන්නට ඔහුට සිදු විය. ඒ ඔහුද ක්‍රම විරෝදීව යමින් හෘද සාක්ෂියට එකඟව සිය මතය මෙහෙය වූ නිසාවෙනි. අපේ රටේ අදටත් ක්‍රියාත්මක නොවන ජාතික ඖෂධ ප්‍රතිපත්තිය බොහෝ විදෙස් රටවල්වල ක්‍රියාත්මක වන අතර බොහෝ විදෙස් රටවල් පිළිගෙන ඇත. එවන් වෛද්‍ය පරපුරක අද පුරුක් වෙතින් මේ කාර්ය භාරය ඉටු වේද යන්න ප්ප්‍රශ්න කළයුතුව ඇත. වෛද්‍ය ශිෂ්‍ය 100 % ක් වැරදි යයි නොකියමු, ආචාර්යවරයද එසේමය. නමුත් ගුරු සිසු එකතුවක් නැති තැනක පර්යේෂණ කරන්නටවත් එය නිරීක්ෂණය කරන්නටවත් ඇගයීමක් කරන්නටවත් නොහැකි බැව් සිහි බුද්ධියෙන් වටහා ගත යුතුය.

රටේ ජාතික ප්‍රශ්නය ගැන මතය කියන්නට, රටට අවැසි දේශපාලන ප්‍රතිපත්තිය මෙය යයි ද, අධ්‍යාපන ප්‍රතිපත්තිය මෙය යයි කියන්නටද ඒ වෙනුවෙන් රට තුල සංවාදයකට මුල පුරන්නට විශ්වවිද්‍යාල ආචාර්යවරයාට හැකි විය යුතුය, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හැකි විය යුතුය. මෙරට දේශපාලන ඉතිහාසයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යා යනු දේශපාලනය තුල හැරවුම් ලක්ෂ නිර්මාණය කල පරපුරකි. මැයි දිනය තහනම් කරද්දී මැයි දිනය පවත්වන්නට අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලය පෙරමුණ ගත්තේය. ස්වකීය අධ්‍යාපනය උදෙසා රටේ දුප්පත් අහිංසක ජනයාගේ  මුදල් යට කරනවා දකින විට එදා විශ්වවිද්‍යල ශිෂ්‍ය ගත්තේ හිඟන්නාට බත් පැකට් දීමේ මාවත නොව දුප්පත්කම තුරන් කිරීමේ මාවතයි.

රජරට වකුගඩු අර්බුදයට විසඳුම් දෙන්නට  ආචාර්යවරුන් සිසුන් එක්ව සමීක්ෂණයක් කිරීමට අප දුන් යෝජනාවට තවමත් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව නොකැමැත්තෙන් මතක් කරන්නෙමු.

ආචාර්යවරුන්ට තමන් දේශනා පවත්වන විෂය ගැන පවා හදාරන්නට වෙලාවක් නැත.

අද විශ්වවිද්‍යාල  ශිෂ්‍ය දේශන ශාලාවේ ඉන්න දන්නේ නෑ, සංවාදශීලී නෑ, විචාරශීලී නෑ, කියන භෝ දෙනෙකුගෙන් අපට ඇසීමට ඇත්තේ නවක අනුරුපිතා වැඩසටහන් වල ගුණාත්මක ලක්ෂණ පවා නොසලකා හරිමින් ඒවා ඉවත්  කිරීමට කටයුතු කලේ කවුද?

අද වන විට අධ්‍යාපනයේ නිදහස ගැන, විශ්වවිද්‍යාල උපසංස්කෘතිය හා රටේ දේශපාලන තත්ත්වය ගැන සංවාද කරන විට සිසු සංගම් නියෝගිත්යින්ගේ පන්ති තහනම් කලේ කවුද?

නාට්‍යක් පෙන්නවන්න, චිත්‍රපටි ප්‍රදර්ශනයක් කරන්න අවසර නොදුන්නේ කවුද?

විද්‍යා පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විද්‍යා පරීක්ෂණ නොකර විද්‍යා පීඨය අතහැර බැංකු රැකියාවට යද්දී විද්‍යා සොයාගැනීමකට, පර්යේෂණයකට ඇත ගැසුවේ කවුද?

දැනුම සොයා යා යුතු විශ්වවිද්‍යාල තුල විභාගයට, නිබන්ධනයට, සමාසිකයට සිසුවා හිර කලේ කවුද?

විභාගය වදයක් කියමින්, ලැබෙන දැනුමක් නැති බව දැන දැනම ඊට මුහුණ දෙමින්, ආර්ථික අපහසුතාවට විසදුම ලෙස මහපොළ වැඩිකර ඉල්ලන සටන අතහැර ප්‍රොමෝෂන් යාම හොඳයැයි අනුමත කලේ කවුද?

විශ්වවිද්‍යාල තුල ස්වාධීනත්වය ඉල්ලා සටන් කලමුත් අද විශ්වවිද්‍යාල වල පටු දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්නේ කවුද?

යාපනය සරසවි සිසුන්ට පහරදීපු වෙලාවේ ඊට එරෙහි හඬක් නගන්න, රතුපස්වල සිද්ධියට අපේ මතය කියන්න යද්දී දේශපාලන අතකොලු කියලා හංවඩු ගැහුවේ කවුද?

එකට බත් එක අනාගෙන කාපු, උළුදු වැඩේ ගේනකන් බලාගෙන ඉදලා, ඉටිලි වල රස බලපු දමිල, මුස්ලිම් සහෝදර සහෝදරියන් අන්තවාදීන් විදියට දැක්කේ කවුද?

පාලකයාගේ වුවමනාවට එළියේ පත්තුවෙන ආගමවාදී, ජාතිවාදී ගින්න නිවන සංවාදය වෙනුවට ඒ ගින්න තව අවුලන සංවාදේ ඇතුලට ගෙනාවේ කවුද?

විශ්වවිද්‍යාල විදියට, පීඨ විදියට, කණ්ඩායම් විදියට බෙදුනේ කවුද?

එහෙම බෙදෙන්න අනුබල දුන්නේ කවුද?

පිට සමාජයේ ආදරය, විවාහය ගැන තියෙන අදුරු මත විශ්වවිද්‍යාල වලට ගෙනාවේ කවුද?

පන්ති සමාර්ථය දෙන්න තමන්ගේ සිසුවියන් ඇඳට අරගෙන අවසානයේ විශ්වවිද්‍යාලෙ ඇතුලෙම ගණිකාවන් නිර්මාණය වෙන්න දුන්නේ කවුද?

හරි විදිය කියලා දෙන්න තිබුන වැඩසටහන් ඉවත් කලේ කවුද?

එදා විශ්වවිද්‍යාල ශිෂ්‍යාට ගමේ තිබ්බ පිළිගැනීම අද නැති වුනේ කොහොමද?

එතකොට එදා කෙනා හොඳයි, අද එවුන් මහා එපා කරපු එවුන් කියන එකද හරිම තීරණය?
එදා අයට තිබුන නිදහස අප නෑ කියන එකද හරිම තීරණය?

මේ හැමදේම මෙහෙම වෙනකන් නිහඬව හිටියේ කවුද?

ඉතින් විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාලයක් ලෙස පවතින්නේ නැති තැනක අපි හැමෝගෙම ශිෂ්‍යභාවය අහෝසියි!!!

ශිෂ්‍යභාවය තහවුරු කරලා පරිපාලනෙන්  ලිපියක්  ගන්න යද්දී,
විශ්වවිද්‍යාලයක් නැති තැනක ශිෂ්‍යභාවයක් කුමටද? කියලත් හිතලා බලන්න....






Share this article :

0 comments:

Post a Comment