Home » » ''ගමයි සරසවියයි" , "ගමත් නෑ - සරසවියත් නෑ"

''ගමයි සරසවියයි" , "ගමත් නෑ - සරසවියත් නෑ"

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Sunday, July 21, 2013 | 10:00 PM

ආචාර්යතුමණි , ආචාර්යතුමියනි,

''ගමයි සරසවියයි" , "ගමත් නෑ - සරසවියත් නෑ"

2013/06/20 දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කිහිපදෙනෙකු හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ විසින් සංවිධානය කර අප විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්, අනධ්‍යන සේවකයන් හා සිසුන් ලවා ක්‍රියාත්මක කරවීමට ඒවා තිබු “ගමයි සරසවියයි - 2013
” නම් වැඩසටහනට සහභාගී නොවීමට මහා ශිෂ්‍ය සංගමය ලෙස අප තීරණය කළෙමු. එසේ තීරණය කිරීමට හේතු වූ කරුණු කාරණා කිහිපයකි.

1984 වර්ෂයේ ජුනි මස 19 වන දින එවකට සිටි පාලකයන් විසින් පද්මසිරි අබේසේකර සහෝදරයා ඝාතනයත් ජුනි 21 දින රෝහණ රත්නායක සහෝදරයා ඝාතනයත් සමඟ අනාගත පරපුරක අයිතීන් වෙනුවෙන් තම වර්තමානය කැප කර ජීවිත පරිත්‍යාගයෙන් සටන් කල ශිෂ්‍ය වීරයන් සැමරීමට ජුනි 20 දිනය විශ්වවිද්‍යාල සිසුන් වෙන් කරගෙන සිටිති. මුදල, බලය, කිර්ති ප්‍රසංශා, නම්බු නාම ,වරදාන වරප්‍රසාද වලට ලොබින් මුළු සමාජයක් විසින් තම හෘද සාක්ෂිය විකුණා ඇති සමයක තම සුඛ විහරණය , තම ජීවිතය පැත්තකින් තබා තමාට අත් විඳීමට නොලැබෙන සුන්දර අනාගතයක් තමන් නොදුටු පරපුරකට උරුම කර දීමට තම දිවි කුසුම කැප කල විරුවන් සැමරීම  විශ්වවිද්‍යාල පද්ධතිය  තුල සංස්කෘතියක් වී ඇත. දශක තුනකට ආසන්න ඉතිහාසයක්  ඇති ශිෂ්‍ය වීර දිනයේදීම විශ්වවිද්‍යාල තුල බනිස් කා , කබ ඇද නටා ගයා විනෝද වන උත්සවයක් සංවිධානය කරවීම හා එයට සහභාගී වීමට උපකුලපති ඇතුළු පරිපාලනය අපට බල කිරීම අප දකින්නේ අපගේ මානුෂීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙසය. ආචාර්යතුමණි, ආචාර්යතුමියනි ඔබ ජීවන ආදර්ශයන් ගත ඔබේ පියාගේ දානයක වැනි දිනයක  ඔබේ ගෙදර පිරිසට ගෙදර තුල කා බී විනෝද වන සංගීත සාජ්ජයක් සංවිධානය කිරීමට හා එහි විනෝද වන ලෙස බල කිරීම සැබවින්ම ඔබගේ මානුෂීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවන්නේද? එපරිද්දෙන්ම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සැබෑ මානව හිතවාදී මාවතක මෙහෙයවීමට  අප විසින් ජීවන ආදර්ශයන් ගන්නා ශිෂ්‍ය වීරයන් සමරන දිනයේ ඇති ශ්‍රේෂ්ඨත්වය මෙසේ දිය කර හැරීමට උත්සාහ කිරීම එහි වත්මන් සාමාජිකයන් ලෙස අපටත් අපට පෙර එහි සාමාජිකයන් වූ ඔබටත් අනුමත කල හැකිද? මුලුමහත් සමාජයක ඉතිහාසයට හා අනාගතයට වගකීමක් හා වගවීමක් සහිත ව්‍යාපාරයක් ලෙස එය අපට අනුමත කිරීමට නොහැක.

කොළඹ වෛද්‍ය පීඨයේ වෙනුර සහෝදරයා තම ඇටකටු තලා කපා දැමු ඇඟිලි තුඩු වලින් වෑස්සෙන රුධිරයෙන් වදකාගාර බිත්තියේ ලියුවේ “අනේ මට යන්න දෙන්න” කියා නොව “මතු පරපුරේ නිදහස් අධ්‍යාපනය උදෙසා අපි සටන් වැදුනෙමු , නිදහස් අධ්‍යාපනය දිනේවා ” යන්නයි. කන්වල පරාල ඇණ ගසා එම ඇණ වලට ගැට ගැසූ කබයකින් ත්‍රිමා විතාරණ සහෝදරයාව ජීප්රියට ගැටගසා නගරය පුරා ඇදගෙන යනවිට ත්‍රිමාගේ මුහුණේ තිබුනේ මරණයට බිය හැගීමක් නොව මඳ සිනහවකි. අවසාන මොහොතේ වේදනාවන් තම ශ්‍රේෂ්ඨ අරමුණු වෙනුවෙන් දරාගෙන එම මඳ සිනහවෙන් සංකේතවත් කලේ ඔහු ඔබට දැක්වූ අසීමාන්තික ආදරය නොවේද? අපට ජීවන ආදර්ශයන් ගත හැක්කේ එවන් විරුවන්ගෙනි. එසේ නොමැතිව “රටේ එවුන් ඔක්කොම ඉගෙන ගත්තාම කුඩා අපේ වත්තේ පොල් කඩන්නවත් ඉතුරු වෙන්නේ ”  කියූ ජාතික වීරයන් යැයි කියනා ඩී.එස්. සේනානායක ආදීන්ගේ අපට ගන්නට ආදර්ශයක් නැත. එවන් මනෝභාවයක් සහිත වත්මන් පාලකයන්ගෙන් ත්‍රිමාලා ,වෙනුරලා,නිෂ්මිලා , බාලසුරියලා ඔබට අපට නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර නොදෙන්නට අද ඔබද අපද උන්ගේ වතුවල  පොල් ගස් උඩය. උපකුලපතිතුමා පවා අසල පොල්ගසක ඉන්නට ඉඩ තිබිණ. එවැනි තත්ත්වයක් උදා වීම වලක්වා අපට හා අනාගත පරපුරට අධ්‍යාපන අයිතීන් දිනා දුන් ඔවුන් ස්මරණය කරන එකම දිනය “ගොන් පාට් ” කිරීමට බලධාරීන් ඉඩ දීමට අපගේ හෘද සාක්ෂීන් ඉඩ නොදුනි.

වර්තමානයේ පාලකයන් හා පාලන ක්‍රමය විසින් සමාජයේ බහුතරයට හෘදය සාක්ෂියකට එකඟව දෙපයින් නැගී සිටීම වෙනුවට ස්වයං මර්දනය වීම හෝ නිවට වීම තෝරාගෙන ඇත.පොලිස් නිලධාරීන් , විනිසුරුවන්, රාජ්‍ය  ආයතන ප්‍රධානීන් බහුතරයකට ඔවුන්ගේ හෘදය සාක්‍ෂියට එකඟව වැඩ කිරීමට නොහැකි වන අකාරයේ අවාසනාවන්ත ඉරණමකට ගොදුරු කර ඇත. ධනය හා බලය යොදාගනිමින් පාලකයන් එම මර්දනීය ක්‍රමය පවත්වාගෙන යති. අමු අමුවේ මිනිසුන් රූකඩ හා වහලුන් වෙමින් සමාජය ඉදිරියට ඇදෙයි. සියලු අයිතීන් ධනය හා බලය හිමි පන්තියේ වරප්‍රසාදයන් බවට පත්වෙමින් තිබේ.

එවැනි සමාජයක මේ සියලු බාදක කම්කටොලු ඉදිරියේ අන් සියලු බලවේගන් මර්දනය වුවද ආණ්ඩුවට මෙල්ල කල නොහැකි ව්‍යාපාරයකි ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය. පාලකයන්ගේ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කර විකුණා තම පන්තියට පමණක් අයිති කර ගත හැකි වරප්‍රසාදයක් බවට පත්කර ගැනීමට දරන උත්සාහයට එරෙහිව සියලු දෙනාට අධ්‍යාපනයේ සම අයිතිය දිනා දීමට අප සටන් වදිමින් සිටින්නෙමු. එම සටනේ කෙලවර අප අරමුණ ජයග්‍රහණය කළහොත් රටේ බහුතර දරුවන් උගතුන් බුද්ධිමතුන් වී පාලකයන් හා පාලන ක්‍රමය ප්‍රශ්න කිරීම වැළක්විය නොහැකි බව හොඳාකාර වටහාගෙන සිටින පාලකයන් එම අරමුණු පරාජය කිරීමට නොගන්න උත්සාහයක් නොමැති බව අප ඇස් පනාපිටම ඔප්පු වී හමාරය. එබැවින් වර්තමානයේ අප ඉදිරියේ ඇති අභියෝගයන් අප කියවා ගත යුත්තේ ඒවා හටගෙන ඇත්තේ අධ්‍යාපනය වරප්‍රසාදයක් කිරීමේ පාලක උවමනාවන් , අයිතියක් ලෙස රැක ගැනීමේ අප වැනි පීඩිතයන්ගේ උවමනාවන් අතර ගැටුම නිසා හටගන්නා ඒවා ලෙසය. සිසු එකමුතුව ශක්‌තිමත් කරන , සමාජය සවිඥානික කරන විශ්වවිද්‍යාලයීය කලා උළෙලවල් වලට අකුල් හෙලා සිසුන්ට තාවකාලික ආශ්වාදයක් ලබා දෙන “තරු” මානසිකත්වයක් ආරෝපණය කරන කවීතා සංවිධානය වන්නේ එම පාලක අරමුණු වෙනුවෙනි. සිසුන් හට විශ්වවිද්‍යාල ජීවිතයට ආසාව ඇති කරවන , දැනුම් පිපාසය ඇති කරවන , සහයෝගීතාව , සමානාත්මතාව හා එකමුතුකම ඇති කරවන නවක නම්‍යකරන වැඩසටහන වෙනුවට හමුදා කඳවුරු වලට ගාල් කර අණට යටත් පිරිසක් බිහි කිරීමට උත්සහා කරන හමුදා පුහුණු සංවිධානය වන්නේ එම අරමුණ වෙනුවෙනි. 6% අධ්‍යපනටය ඉල්ලා  ආචාර්යවරුන් අරගල කරන විට ඔවුන්ට දේශද්‍රෝහීන් ත්‍රස්තවාදී ලේබල් අලවන්නේ ඒ අරමුණ වෙනුවෙනි, අධ්‍යාපන අයිතීන් ඉල්ලා සටන් කරන්නන් සිරගත් කරන්නේ ඒ වෙනුවෙනි. පන්ති තහනම් කිරීමේ අරමුණ එයයි. සාධාරණ ඉල්ලීම් සහිත සටන් පාඨ දැරූ පෝස්ටර ඉර දමන්නේ, Cut Out ඉරා දමන්නේ ඒ අරමුණ වෙනුවෙනි. සිසුන්ට බාහිර  කිසිවක් ගැන අවධානය යොමු කිරීමට නොහැකි ලෙස සමාසික ක්‍රම , Mid , Aassignments අතර හිර කරන අධ්‍යාපන ක්‍රමයක් සැකසෙන්නේ ඒ අරමුණ වෙනුවෙනි. මේ සියලු පීඩාවන් මැද සිරවී සිටින සිසුන්ගේ පුපුරා යන පීඩනය වෙඩි උණ්ඩයෙන් පිළිතුරු දෙන්නේ එම පාලක පන්තියේ අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙනි.
එබැවින් 2013/07/11 දින ශිෂ්‍ය නියෝගිතයින් 8 දෙනෙකුට සහ තවත් සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකුට විරුද්ධව පැවැත්වීමට නියමිත විනය පරීක්ෂණයේ අරමුණද අප තේරුම් ගත යුත්තේ එවැනි සංයුක්ත අදහසක සිටය. විරුද්ධව ඇති චෝදනා ලෙස දක්වා ඇත්තේ “ගමයි සරසවියයි ” කඩාකප්පල් කිරීම, සිසුන් බලහත්කාරයෙන් සහභාගී වීම වැලැක්වීම හා විශ්වවිද්‍යාලයේ කීර්තිනාමයට හානි කිරීම වැනි කරුණුය. එම කරුණු එකින් එක ගෙන බැලුවහොත් ඒවායේ ඇති “බෝල් බව ” මානව පැහැදිලි වේ. “ගමයි සරසවියයි ” පිළිබඳව අපට තිබුනේ කඩාකප්පල්කාරී හැගීමක් නොව අනුකම්පාවකි. එවන් වැදගත් දිනයක් ඒ සඳහා යොදා ගැනීම කරන්නේ නිදහස් අධ්‍යාපනය ඔස්සේම හැදී වැඩුණු පිරිසක් අවාසනාවට තම සැබෑ ඉතිහාසය පිළිබඳව නොදන්නා කම නිසා බැවිනුත් කාගේ හෝ පටු දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරවා ගැනීම උදෙසා විශ්වවිද්‍යාල උපකුලපති වරයෙකු යොදා ගෙන තිබීම නිසාත්, ඒ තුලින් ආචාර්යවරුන්ට , පීඨාධිපතිවරුන්ට අනවශ්‍ය පීඩනයක් එල්ල කර තිබෙන ආකාරයත් ඉතාමත් පැහැදිලිව පෙනෙන බැවින් අපට ඒ පිලිබඳ තිබුනේ සංවේගයකි. එය කඩාකප්පල් කරනවා තබා ඊට විරුද්ධ පොස්ටරක් හෝ නොගැසුවේ එම අනුකම්පාව නිසාය. අපට කිසි ලෙසකවත් කඩාකප්පල්කාරී වීමට අවශ්‍යතාවක් නොමැති අතර අපට විරෝධතාවක් ඇත්නම් එය නොබියව පවසා සාමකාමී විරෝධතාවක් මඟින් එය දැනුම් දෙන්නෙමු. එසේ කිරීමට හෝ උවමනාවක් නොවීය.

සිසුන් බලහත්කාරයෙන් නැවැත්වීම තවත් චෝදනාවකි. ප්‍රජාතන්ත්‍රවාදී අදහස් හා නිදහස් මත වාදයන් සෑම විට ගරු කරන පිරිසක් ලෙස අපට කිසි විටෙකුගේ පුද්ගල නිදහසට බලපෑම් ඇති කිරීමට වුවමනාවක් නැත. ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස අපගේ පැවැත්ම ඇත්තේ බලහත්කාරය තුල නොව නිවැරදි න්‍යායාත්මක භාවිතයක් තුල බව අප මැනවින් පසක් කරගෙන සිටිමු. අප වැරදි නොකරන්නෙමු , හෘද සාක්ෂියට පිටු නොපන්නෙමු. එම නිසා අපට අන් අයගේ වැරදි හා මෝඩකම් ඉදිරියේ කිපෙන්නට අවශ්‍ය නැත. උපකුලපතිතුමා හමුවනවිට එතුමා කෙතරම් උස් හඬින් කතා කලද කොතරම් තර්ජනය කිරීම් කලද අප සිනාමුසු මුහුණින්  සෙමෙන් උත්තර දී පැමිණෙන්නේ එබැවිනි. ලේඛකාධිකාරී තුමා අපගේ ජිවීත අලලා කොතරම් නරක විහිළු සපයා උස් හඬින් සිනා වුවද වෛර නොබැඳ අපි ඔහු සමඟත් හිනා වී එලියට එන්නේ එබැවිනි. සැබවින්ම අපගේ විශ්වවිද්‍යාලයෙන්ද සහෝරද සහෝදරියන් පිරිසක් එම අවස්ථාවට සහභාගී වී තිබිණ. ඔවුනට කිසිවෙකුගෙන් කිසිඳු බලපෑමක් එල්ල වුයේ නැත. පුද්ගල නිදහස අප අගය කරන අතර බහුතර තීරණයට එකඟ වන්නෙමු. අප දන්නා තරමින් මේ සඳහා ගමෙන්ද කිසිඳු කෙනෙකු සහභාගී වී නැත. අපට අසන්නට තිබෙන්නේ ගමේ මිනිසුන් නවත්තන්නට ඇත්තේ අපිද? යන්නයි. “ගමයි සරසවියයි”  “ගමෙනුත් නෑ - සරසවියෙනුත් නෑ ” උනේ අපේ බලහත්කාරය නිසා නොව සංවිධායකයන්ගේ සංවිධාන ශක්තියේ දුර්වලකමක් නිසා බව කිව යුතුය. කල යුත්තේ අවනම්බුවක් වී ඒ තමන්ගේම වරදක් නිසා බව වටහාගෙන මින් පසු දුරදර්ශි තීරණ ගැනීම සඳහා අත්දැකීමක් එක් කරනු විනා අහිංසක සිසුන් පිට පටවා කැකිල්ලේ නඩු තීන්දුවක් දීම නොවේ.

විශ්වවිද්‍යාලයේ කිර්ති නාමයට හානි වී ඇතැයිද පැවසේ . ඊට කලින් විශ්වවිද්‍යාලයේ කිර්ති නාමයේ දිග පළල පිලිබඳ අපට අදහසක් අවශ්‍යය. එම නාමය දින ඇත්තේ රටට හොඳ ගත කතුවරුන් , නාට්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයන් , සමාජ විද්‍යාඥයන් , දාර්ශනිකයන් බිහි කිරීමෙන්ද? නැතිනම් දිනෙන් දින කඩ වැටෙමින් පවතින ලාංකීය ආර්ථිකයට ලෝක ආර්ථිකයට විකල්ප විග්‍රහයක් දිය හැකි ආර්ථික විද්‍යාඥයන් බිහි කිරීමෙන්ද? ශ්‍රේෂ්ඨ ගණිතඥයන් , ජීව විද්‍යාඥයන්, පර්යේෂකයන් , ගවේෂකයන් බිහි කිරීමෙන්ද? විශ්වවිද්‍යාලයක් යනු එවැන්නන් බිහි කරන ස්ථානයක් බව අප දන්නා දෙයයි. අද වන විට මෙය රැකියා ඉලක්ක කර ගත් යටහත් ශ්‍රමිකයන් පිරිසක් පමණක් බිහි කරන ස්ථානයක් බැවින් විශ්වවිද්‍යාලයේ කීර්තියට පෙර මෙය විශ්වවිද්‍යාලයක්දැයි සිතා බැලිය යුතුව ඇත. අප උර මතමතට ගෙන කටයුතු කරනු ලබන්නේ මෙම විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාලයක් කර ගැනීම වෙනුවෙන් වූ වගකීමක්ය. අප එම වගකීම පැහැරහැරියහොත් මෙය අප ප්‍රධාන නාම පුවරුවේ කොට ඇති පරිදිම “ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය වනු ඇත.” එහි තේරුම නම් මෙය “විශ්වවිද්‍යාලයක්” නොව  “විශ්ව” නම් විද්‍යාලයක් (පාසලක් ) බවයි. කාරණා එසේ බැවින් අධ්‍යාපනයේ සම අයිතිය දිනා ගැනීමේ පළල් අරමුණකින් නඟන අභූත චෝදනා ප්‍රතික්ෂේප කරමු! එමෙන්ම අධ්‍යාපනය වරප්‍රසාදයක් කර ගැනීමේ පාලක පන්ති උවමනාව තෘප්ත කරන මෙවන් තීරණ දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු!


Share this article :

0 comments:

Post a Comment