Home » » දෙමාපියන් අබියසදීත් පාලකයින් පරදී

දෙමාපියන් අබියසදීත් පාලකයින් පරදී

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Wednesday, July 30, 2014 | 5:41 PM

සුවහසක් මානව අයිතීන් වූ අධ්‍යාපනය ලැබීමේ අයිතිය සුළු පිරිසකගේ පමණක් වරප්‍රසාදයක් බවට පත් වීමටත් සමස්ත මිනිසුන්ගෙන් එය අහිමි වී යාමටත් යන බවටත් දුටු ශිෂ්‍ය ව්‍යාපාරය, අනතුරුට එරෙහිව නැගී සිටියහ. පාලකයින් බිය විය. මාධ්‍ය අයිතීන් වෙනුවෙන් වූ සටන් කෙසේ හෝ මර්දනය කිරීමට ඔවුන් ඉටා ගත්තෝය. දෘෂ්ඨිවාදී මර්දනය මෙන්ම සෘජු රාජ්‍ය මර්දනය ශිෂ්‍ය ව්‍යාපාරය වෙත එල්ල කරන ලදී.සමාජයේ සෑම ක්ෂේත්‍රයකම එය එසේම සිදුවිය. බොහෝ තැන්වල ආණ්ඩුව ජය ලැබුවේය. මහජනතාව පරාජය විය. නමුත් කොට්ටෝරුවාට වැරදිනි. ශිෂ්‍ය ව්‍යාපාරය සටන් ජය ගනිමින් සිටී.

අසාධාරණ ලෙස සිසුන්ගේ පන්ති තහනම් කර රජරට විශ්වවිද්‍යාලය තුළ ද ආණ්ඩුවේ දේශපාලනයට අවනත පිරිසක් බිහිකර ගැනීමේ මුලාරම්භය ගන්නට විය. නමුත් පළමු පහරේ සිටම රජරට සිසුන් ඉතාමත් නිවැරදි ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට විය. ඔවුන් නැවතත් පහර දුන්හ. ප්‍රතිප්‍රහාර එල්ල විනි. තුන් වරක් පිටපිට දුන් පන්ති තහනම් වලින් අනතුරුව තවදුරටත් පන්ති තහනම් හරහා මර්දනය කිරීමේ ක්‍රියාපිළිවෙත අතහැර දැමුවෝය. පන්ති තහනම් ක්‍රියාවලිය අඩපණ විය. පන්ති තහනම් වලට එරෙහිව සටන ඉතිරි විය. ඔවුහු එයට පහර දීමට පටන් ගත්තෝය. නමුත් ශිෂ්‍යයින්ගේ නිවැරදි හා ප්‍රගතිශීලි සටන ඉදිරියේ ඔවුන්ගේ සියලු මර්දන ක්ෂේත්‍රයන් පරාජය විය.

අට්ටාලය පොලිසිය දමා දෙවරක් බලෙන් ගලවා සිසුන් පැහැරගෙන ගොස් බැලුහ. නැවත අට්ටාලය ඉදිවිණි. තවත් සිසුන් එක්විය. ඔවුන් අට්ටාලය ගැලවීම සහ සිසුන් පැහැරගෙන යාම නැවැත්වූහ. ඉන්පසු තෙවරක් අට්ටාලයට ගිනි තැබුහ. නැවත නැවතත් අට්ටාලය ඉදිවිණි. ඔවුන් ගිනි තැබීම නැවැත්වූහ. ඔවුන් සිසු සිසුවියන් 32නෙකු බන්ධනාගාර ගත කළහ. කිසිදු වෙනසක් නොවිය. සටන තව තවත් තිව්ර විය.

මේ ආකාරයට ගහන ගහන ‘වල්ලාසි’ කැපී ගියහ. සටන ජයග්‍රාහි මාවතේ ඉදිරියට ඇදෙන්නට විය. මහජනතාව එක්විය. අන් සරසවි සහෝදරත්වය එක්විය. මුළු මහත් ලංකාවත් රජරට සමඟ එක් වී අවසානය. ඔවුන්ගේ ක්‍රියාමාර්ග අවසන් වෙමින් පැවතුනි. වස්ත්‍ර සියල්ල ගැලවී ගියහ. එබැවින් අතේ ඉතුරු කරගෙන සිටි තුරුම්පු 7 කොළයත් යාන්තමින් හැලීය. දෙමාපියන් ගෙන්වා “ළමයි වෙනුවෙන් සමාව ගන්න” යනුවෙන් එක්වරම දේවාත්මයක් දක්වා ප්‍රාධූර්භූත වෙන්නට සිතුවෝය. නමුත් දෙමාපියන් එක්වරම ඔවුන්ගෙන් ඇසුවේ එක් පැනයකි. “දරුවෝ මොන වරදක් කළා කියලද සමාව ගන්න ඕන”. මෙතෙක් කල් දුන් talks සියල්ල ඔවුන්ටම අමතක විය. “සමාව” යන වචනය පවා ඔවුන්ගේ සියලු ශබ්දකෝෂ වලින් ඉවත් කෙරින. දැන් තව තව ඔවුන් කල්පනා කරමින් සිටිති. සමහරු බඩු මුට්ටු පාග පාගා කල්පනා කරන බවත් තවත් සමහරු ප්‍රසිද්ධ ස්ථාන වල උඩ පැන පැන කල්පනා කරන බවටත් ආරංචි පැමිණ ඇත. ගැලවුණු රෙදි ඇඳගන්නා ආකාරය, අවඥාවට ලක් නොවී පන්ති තහනම් ඉවත් කරන ආකාරය, ළමයින්ට මුහුණ දෙන ආකාරය, රටට මුහුණ දෙන ආකාරය, තව දුරටත් කළහැකි කපටිකම්, ලැජ්ජා නැතිකම් ආදිය ලෙස ඔවුනට කල්පනා කරන්නට දෑ බොහෝය.

නමුත් අපට පැවසීමට ඇත්තේ මෙපමණකි. කෙතරම් කල්පනා කළත් පලක් නැත. අපව පරාජය කිරීමට නොහැක්කේ එකම එක හේතුවක් නිසා පමණි. එනම් අප “සත්‍යය” ම පවසන බැවිනි. “සත්‍යය” වෙනුවෙන් පෙනී සිටින බැවිනි. එබැවින් අපව පරාජය කිරීම සඳහා වූ සියලු උත්සාහයන් අත හරින ලෙස ඇරයුම් කරන්නෙමු. ඒ වෙනුවට ඔබද අප සමඟ මෙම “මනුෂ්‍යත්වය” සඳහා වූ අරගලයට එක්වන්නට ඇරයුම් කරන්නෙමු. විශ්වවිද්‍යාලයක විය යුත්තේ එයයි.
Share this article :

0 comments:

Post a Comment