Home » » මොකක්ද මේ?

මොකක්ද මේ?

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Saturday, February 22, 2014 | 4:05 PM

අද දවසේ තුන් වේල කන්න මුදල් හොයා ගන්නේ කොහොමද? දරුවාගේ පාසලට ඉල්ලපු මුදල් හෙට දෙන්නේ කොහොමද? ගෙදර හදන්න ගත්තු ණය ගෙවා ගන්න සල්ලි හොයා ගන්න තව කී දෙනෙකුට වැඳ වැඳ ඉන්න වෙයිද? පෙම්වතා පෙම්වතියගේ උපන්දිනයට හොඳම තෑග්ග අරන් දෙන්නේ කොහොමද? එකටට් සල්ලි හොයා ගන්න බැරි වෙයිද? කැම්පස් ගිය එකා උපාධිය අරගෙන ඇවිත් මේ හැම දෙකින්ම අපිව නිදහස් කර ගනී නේද?

මේ මොහොතේ දී ඔබේ හිතට නැඟෙන විශාල ප්‍රශ්න ප්‍රමාණයක් අතුරෙන් එකක් දෙකක් ඉහත සඳහන් වන්නට ඇත.

ඔබට මේ වගේ පෞද්ගලික ප්‍රශ්න තියෙන අතරේ පිරිසිදු වතුර ඉල්ලපු රතුපස්වල මිනිස්සුන්ට වෙඩි තිබ්බා, තමන්ගේ වැටුප සුරගෙන කන්න හදපු වෙලාවේ පාරට බැහැපු නිදහස් වෙළඳ කලාපේ සහෝදර සහෝදරියන්ට වෙඩි තියලා රොෂේන් චානක සහෝදරයා මරල දැම්මා, ධීවරයන්ගේ ගැටලුවේදී ඇන්ටනි සහෝදරයා මරලා දැම්මා, නිදහසේ ඉගෙන ගන්න දෙන්න කියලා ඉල්ලපු විශ්වවිද්‍යාලයේ ජනක- සිසිත සහෝදරවරු මරලා දැම්මා.

මෑතකදී අපගේ නිදහස් අධ්‍යාපනය විනාශ කරන්න පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක් ගෙනාවා, බීජ පනත කියලා පනතක් ඇවිත් තියෙනවා. එකේ හැටියට වගාවන් වලට බීජ නිෂ්පාදනය කරන්න සාමාන්‍ය ගොවියෙකුට කවදාවත් බැරි වෙනවා.අපි බොන වතුර ටික විකුණන්න ජල කළමනාකරණ පනතක් ගෙනාවා, බඩු මිල, බස් ගාස්තු ටික ටික වැඩි වෙනවා. හැබැයි පහුගිය කාලය ගත්තම මේ බොහෝ ප්‍රශ්න අපිට අදාල උනේ නෑ.

හැබැයි අපිට හිතුනේ නෑ රතුපස්වල මිනිස්සුන්ට වෙඩි තියද්දි හෙට අපේ ප්‍රදේශයේ වතුර විස වෙලා අපි පාරට බැස්සත් අපිට වෙඩි තියනවා කියල. රොෂේන් චානකලගේ විතරක් නෙමෙයි අපි හැමෝගෙම පඩිය මේ වෙද්දී දැකලවත් නැති මිනිස්සුන්ගේ අතට යනවා කියලා, බදු ගෙවල තියෙද්දිත් දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් නැවත නැවත මුදල් ගෙවන්න වෙලා කියලා. ඒ වගේම තමයි අපි හැමෝටම අපේ ජිවිත විඳිනවා වෙනුවට කවුරුහරි අපිව පාලනය කරන්න හදනවා කියල අපිට අමතක වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ හැම ප්‍රශ්නයක්ම අපි හැමෝටම පොදුවේ බලපාන ප්‍රශ්න වෙලා කියලා. මේ හැම ප්‍රශ්නෙකටම එකතු වෙලා විසඳුම් හොයන එක තමයි හොඳ කියල අපිට අමටක වෙලා. එහෙම නොවුනොත් අපේ තනි තනි ප්‍රශ්න විසඳුනාට හෙට වෙද්දී ඒ ප්‍රශ්නෙම තව තැනක තව එක්කෙනෙකුට හරි පිරිසකට හරි වෙනවා. කවදාවත් විසදුමක් ලැබිලා නෑ.

එතකොට කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ?

රජරට විශ්වවිද්‍යාලයේ අපේ ශිෂ්‍යයෝ 27 දෙනෙක් පන්ති තහනම් කළේ අධ්‍යාපනය විකිණෙන එකට එකට විරුද්ධ වෙච්ච නිසා. ඒ කියන්නේ සමාජයේ හැමෝටම ඉගෙන ගන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න කියල ඉල්ලලා. එතකොට ඒ ශිෂ්‍යයෝ විරුද්ධ වුණේ අසාධාරණයකට. හැබැයි ඔබේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මේ පාලකයන් සුදානම් නෑ වගේම තමයි අපේ ප්‍රශ්න වලටත් එයාලා උත්තර දෙන්නේ නෑ. ඒකට හේතුව තමයි අපි ජිවත් වන මේ සමාජ ක්‍රමය. ඒ සමාජ ක්‍රමය කිව්වම කට්ටිය බය වෙනවා මේ ගැන කතා කරන්න. සරලවම කියනවා නම් අපේ රටේ අපි මේ ජිවත් සමාජ ක්‍රමය කියන්නේ විවෘත ආර්ථික ක්‍රමවේදය. මේක අපේ රටට ආවේ 1978 අවුරුද්දෙදි. ඒ වගේම මේකට ඇමරිකාවේදී කිව්වේ රේගන්වාදය කියලා. බ්‍රිතාන්‍යයේදී කිව්වා ත්‍රැචර්වාදය කියලා. පොදුවේ ගත්තම ලෝකය භාවිතා කරන නම තමයි “නව ලිබරල් ධනවාදය ” කියන එක. එකේදී වෙන්නේ ධනපති පාලකයන්ට, බහු ජාතික සමාගම් වලට ලෝකය හුරගෙන කන්න අවසර දෙන එක. අපි මිනිස් සමාජයේ වටිනාකම් කියල හඳුනගෙන හිටපු හැම දේකම වටිනාකම මේ ක්‍රමය ඇතුලේ අහෝසි වෙනවා. ඒ වෙනුවට හැමදේකටම මිලක් ආදේශ වෙනවා. ඒ කියන්නේ මොන දේ කලත් ලාභය මුලික කරගත් සමාජයක තමයි අපි ජිවත් වෙන්නේ. ලාභය මුලික කරගෙන වැඩ කරද්දී පාලකයෝ ඔබ ගැන සලකන්නේ නෑ. ඒ නිසයි ඔබ වැඩ කරන ප්‍රමාණයට සරිලන මුදලක් අතට ලැබෙන්නේ නැත්තේ. ඒ ගාන හොයන්න රෑ තිස්සේ අතිකාල කරන්න වෙන්නෙත්, දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්න වෙන්නෙත් ලාභය මුලික කරගත් මේ සමාජ ක්‍රමය නිසයි.

හැබැයි මේක දරාගන්න පුළුවන් සීමාවක් තියෙනවා. මේ සිමාව ඉක්මවා ගියාම මිනිස්සු මේ ක්‍රමයට විරුද්ධව සටන් කරන්න පටන් ගන්නවා.එතකොට පාලකයෝ කරන්නේ ඒක මර්දනය කරන්න තමන් සතු සියලු බලය යොදා ගන්නවා. ඒක කරන්න ප්‍රජාතන්ත්‍රවාදය කියන රාමුවෙන් පිට පැනල. පොලිසිය, හමුදාව, මාධ්‍යය, අධිකරණය මේ හැමදේම එයාල පාවිච්චි කරනවා ජනතාව මර්දනය කරන්න. ඒ නිසා තමයි සාමකාමිව සත්‍යග්‍රහයක නිරත වෙලා හිටපු රජරට සිසුන්ට විරුද්ධව නොරු පැමිණිලි දාල සත්‍යග්‍රහය නවත්තන්න අධිකරණ නියෝග ගත්තේ. පොලිසිය සත්‍යග්‍රහයට පහර දෙන්න තුන් වතාවක්ම උත්සහ කරන්නෙත් ඒ නිසා. හැබැයි ඒ වෙද්දීත් රජරට අරගලයට වෘත්තීය සමිති, බහුජන සංවිධාන වගේම ආගමික නායකයන් එකතුවෙලා ප්‍රශ්නය ගැන සමාජ මතයක් නිර්මාණය කරලා තිබ්බ නිසා ඒ මර්දනය අද අඩු කරන්න ආණ්ඩුවට සිද්ද වෙලා.

තනි තනිව සටන් කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම මර්දනයට අහුවෙලා විනාශ වෙන්න වෙනවා. උදාහරණයකට ගත්තොත් පාසල් සංවර්ධන සමිතියේදී එක්කෙනෙක් හරි හැමදාම කියනවා නම් අපිට ගෙවන්න බෑ, අපි බදු ගෙවල තියෙන්නේ ඒ නිසා මගේ දරුවන්ගෙන් සල්ලි ඉල්ලන්න එපා කියල, ඒක පාලකයන්ට ලොකු අභියෝගයක් වෙනවා. ඒක හැමදෙනාම කියන්න ගත්තම තනි තනි පුද්ගලයට මර්දනය ගේන්න එයාලට බැරි වෙනවා. ගැටලුව තියන්නේ මේ සමාජ ක්‍රමය ගැන අපට තියෙන දනුවත්භාවෙයේ අඩුකම සහ ඒ වෙනුවෙන් සංවිධානය වීම අපිට ගැටළුවක් වෙලා තියෙන එකයි. මේ සමාජ ක්‍රමය ඒ කියන්නේ නව ලිබරල ධනවාදය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහිව ශිෂ්‍යයන්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ආගමික නායකයින් පෙළගස්වන්න අපි තීරණය කලේ ඒ පරමාර්ථයෙන් තමයි. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ආගමික නායකයින් සියල්ලක්ම එකතු කරලා “අයිතීන් දිනා ගැනීමේ සිසු ජන ව්‍යාපාරය” නිර්මාණය කරන්නට කටයුතු කලේ. ඒ අනුව තමයි මේ සියලු දේ ගැන කතා කරන්න නව ලිබරල් ධනවාදය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය එරෙහි සිසු ජන පෙළගැස්ම නමින් පාගමනක් හා සම්මන්ත්‍රණයක් සංවිධානය කරන්නේ.

පෙබරවාරි මස 23 වනදා සවස 12.00 ට  යාපනය හන්දියෙන් පාගමන ආරම්භ කරන අතර අනුරාධපුර පොළ ඉදිරිපිට ප්‍රජාශාලා භූමියේදී සම්මන්ත්‍රණය පැවැත්වෙනවා. මේ සියලු අසාධාරණයන්ට විරද්ධව නැඟී සිටින්නත් දැනුවත් වෙන්නත් පෙබරවාරි 23 වනදා අපත් සමඟ එක්වන්න ඔබ සියලු දෙනාට අරාධනා කරනවා.

ඔබ සැමට ජය වේවා!

අයිතීන් දිනා ගැනීමේ සිසු ජන ව්‍යාපාරය
Share this article :

0 comments:

Post a Comment