මිහින්තලේ රෝහල යනු රෝගීන්ට බෙහෙත් ගන්නට ඇරෙන්නට වෙනත් යමකට ප්‍රයෝජනයට ගත හැකි ස්ථානයකි. බඩදරු අම්මා කෙනෙකු සිය යෙහෙළියගේ ඇත උන් සිඟිති දරුවා දෙස බලා සිනාසුනේ උතුරා යන සතුටකින් බව ඇගේ වල ගැසුණු කම්මුල් වලින් කියා පෑවේය. ඒ සිනහව ස්වකීය කුස තුල සිටින පුංචි පුතු හෝ දියණිය කෙරෙහි සුවිසක් බලාපොරොත්තු සහිත සිනාවකි. කුමන බාධක කම්කටොලු ආවද ඒ බලාපොරොත්තුවේ සිනහව නොවෙනස් වීමේ ලකුණු ඒ තරුණ මවගේ සිනාවේ ගැබ්ව තිබිණ.
අපටද "පුතා" යැයි ආමන්ත්‍රණය කල සිනහවක් පසුගිය වසරේ විශ්වවිද්‍යාල ආචාර්ය අරගලය සමයේ රජරට විශ්වවිද්‍යාල භූමියෙන් මුණ ගැසිණ. නමුත් ඒ සිනහව බලාපොරොත්තු සහගත සිනාවන් රැගත් දහසක් දෙනාගේ බලාපොරොත්තු විනාශ කරන සිනහවක් බව දැන් අපට පසක් වී හමාරය.
එදා සිය වාහනය නවතා අප සමඟ දොඩමලු වූ නුඹ අද අපට ඔරවන්නේ ඔබ සතු වූ කුමන පෞද්ගලික දෙයක් අප පැහර ගත නිසාදැයි අපට වැටහෙන්නේ නැත. නමුත් සමස්ත සමාජයක අයිතියක් වන අධ්‍යාපනය මිල කරන්නට ගිය තැනදී අප ඔබට විරුද්ධ විය. මෙරට බදු ගෙවන දුප්පත් මිනිසාගේ මුදලින් ඔබත් අපත් අකුරු කෙරු බව ඔබට පසුගිය වසරේ මතක තිබුනද මේ වසරේ දී අමතක වීම නිසා අපට එය යලි යලි මතක් කරන්නට සිදු විය. පීඨාධිපති වූ පමණින් ප්‍රතිපත්ති මාරු වේ නම් එය නායකත්වයකට නොගැලපෙන බව අප උගත් දේ තුල ඇත.
අපට වැටහෙන දෙයක් ඇත, බොහෝ දෙනෙකු සිතුවේ රජරට විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයේ සභාපතිවරයාට කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති කම දුන්නේ ඇමක් ලෙස බවයි. කෙනෙකු සිතුවේ එය එසේ සිදු වීම විශ්වවිද්‍යාලයේ වාසනාවක් බවය. ඇත්ත නම් එය ඇමක් නොව ඔබේ සිනහව තුල සඟවාගත් අරමුණක් බව නම් අපට වැටහී ඇත. "වෙන කවුරුත් හිටියේ නැද්ද ඔය පුටුවේ වාඩි කරවන්න " යැයි SB අසු බව ඔබ කියූ කතාව අප රැවටීමට සිතා කල ප්‍රකාශයක් බව අපට සීතිමේ වරදක් නැති බවට මොහොතක් කලපනා කර බලන කල ඔබටද වැටහෙනු ඇත. විශ්වවිද්‍යාලය තුල ස්වාධීනත්වය ගැන කතා කල ඔබතුමන්ලා ඔබේ කාර්යාලයට පැමිණෙන සිසුන්ගේ ඇඳුම ගැන දක්වන ආකල්පයට හේතුව අපට නම් තේරුම් ගත හැකිය. අප සිතා සිටියේ ඔබතුමන්ලාගේ යුග වල සැබෑ විශ්වවිද්‍යාල තිබෙන්නට ඇත කියාය, නමුත් එකල එක්කෝ ඔබ ඒවා දැක නොතිබෙන්නට ඇත, නැතිනම් පරිපාලන පුටුවක් ඉඳගත් විගස අතීතය අමතක වන්නට පහර දෙන මකුණන් ඔය පුටු වල ලැගුම් ගෙන ඉන්නවා වන්නට පිළිවන.
එදා ඔබ ආචාර්යවරයෙකි. අද පරිපාලන නිලධාරියෙකි. අප අදටත් ඔබට සිනාසෙන්නෙමු. ඒ එදා සිනහවමය. එදා ද අපට ඔබ ලවා කරගන්නට දෙයක් තිබුනේ නැත. අද ද අපට ඔබ ලවා කරගන්නට දෙයක් නැත. ඔබට මෙන් අපට රවටන්නට කෙනෙක් නැත. රටට එකක් කියා ඔබට තව එකක් කියන්නට අපට අවැසි නැත. ඒ නිසා අවුරුද්දකට පෙර සිටි ඔබට සේම අද සිටින ඔබටද අප මනුස්සකමට සිනාසෙන්නෙමු,
"රාජ්‍ය අධ්‍යාපනය රකින්නට " ගොස් ඔබලාට වැරදී ඇත. එකතු කල මිනිසුන්ද නැති වී ඇත. නිදහස් අධ්‍යාපනය දිනාගන්නට අපට තව අවංක සිනාවන් එකතු වෙමින් පවතී. ජනක, සිසිත සහෝදරවරු මරා දැමුවේ නියෝජනය කල මතය වෙනුවෙන් අඛණ්ඩව සටන් කල බැවිනි.ඔබලාට මරණ බය ඇති කර ගත යුතු නැත. ඒ ඔබලා දැන් මිනී මරුවන්ගේ පැත්තේ සිට ගෙන ඇති නිසාවෙනි.
පාලකයන් යනු පාලයකන්ම මිසක වෙනත් අර්ථකතනයක් නොමැති බව ඔබ ක්‍රියාවෙන් පසක් කර හමාරය.
කටුස්සාගේ කරේ රත්රන් බැන්දා වගේ යන ප්‍රස්තා පිරුල ද මෙතනට නොගැලපේ, මන්ද අමුතුවෙන් රත්‍රන් බැදීමට දෙයක් නැත, රත්රන් බැඳගෙන නොබැඳ සිටි බව පමණක් ඔබ ලෝකයට පෙන්නුවා පමණකි. දැන් ඒ රත්රන් හැමෝටම පෙනෙන්නට දිලිසෙන බව ඔබේ හෘද සාක්ෂිය තවමත් ඔබට කියා නැත.
කළමනාකරණය අධ්‍යයන පීඨය ඉදිරිපිට උද්ඝෝෂණ කරන විට නිවටයෙකු ලෙස බල ඉන්නට ඔබට බැරි බව සිතෙනවා ඇත, නමුත් ඒ තුල සමාජයක අයිතියක් විකිනෙන තුරු බලා සිටීම නිවට කමක් නොවන්නේද? කලමනාකරණ පීඨය ඔබේ නොව විශ්වවිද්‍යාලය උපකුලපතිගේද නොව, එය මෙරට ජනතාවගේ බව තේරුම් නොගෙන ඔබල සටන් බිමද අපවිත්‍ර කර ඇත.
LTTE සංවිධානයේ සිටි තමිල් චෙල්වම් ව මෙරට මාධ්‍ය හැදින්වුයේ සිනාසෙන නාගයා ලෙසය,
රටේ නායකයා දරු නැලවිල්ල පවා හැල්ලුවට ලක් කර ඇත.
ඔබද සිනහව කෙරෙහි මිනිසාට තිබු විශ්වාසය බිඳ දමා ඇත. ඒ අතින් පාලකයන් ඔක්කොම එක වගේය. අර බඩදරු අම්මගේ අවංක සිනහව ද ඔබලා හෑල්ලු කර ඇත...
0 comments:
Post a Comment